අක්කේ මට සමාවෙන්න…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පෙර කල පව්.. එහෙම නැත්නම් කරපු නොසන්ඩාල වැඩ වලට කාලයකට පස්සේ හරි දඬුවම් ලැබෙනවා කියලා කියන කතාව ඔප්පු කරන්න වගේම දුරදිග නොබලා කරපු වැරැද්දකට කාලකට පස්සේ සමාව ඉල්ලන්න තමා මේ යන්නේ…
ඉස්සලරෙලාම අවුරුදු 25ක් විතර අතීතයෙන් තමා කතාව පටන් ගන්නේ….
මගේ පොඩි අක්කා, අපි කියනේ මධු අක්කා… එහෙම නැත්නම් ගරු නම්බු ඇතුව, තනතුරු නාමත් එක්කම කිව්වොත් සංගීත විශාරද, ලලිතකලාවේදී අධ්යාපන අධක්ෂ ( සංගීත ) ගයාලි මාරසිංහ මැතිණිය, විශාරද විභාගයට පාඩම් කරන කාලේ,
අපේ මහගෙදර සර්පිනාවක් වයමින් පිස්සු බල්ලෙක් දෂ්ඨ කරා වගේ එක දිගට ආ..ආ..ආආ……කියලා රාග තාල කියපු අපේ මේ අක්කා ඒ දවස්වල මට පෙනුනේ පිටසක්වල ජීවියෙක් වගේ..අහන දේකට උත්තර දෙන්නේ නෑ, කන්නේ බොන්නේ නෑ එක දිගට බෙරිහන්දෙනවා…..ඒ මදිවට ප්රේමදාස මහත්තයා මැරිච්ච කාලේ රේඩියෝ එකේ ගියපු මියුසික් වගේ සසර කලකිරෙන විදිහට තමා සර්පිනාවත් වයන්නේ….ඉතින් ඒ දේවල් වලින් චිත්ත පිඩාවට පත් වෙච්ච අසරණ පුංචි මම කරන්නේ ඒ මියුසික් එකට ගැලපෙන විදිහට මහා හයියෙන් හූ කියන එක…මගෙන් වෙන මේ අඩන්තේට්ටම් ඉවසන්න බැරි උන අපේ අක්කා කරේ, අපේ තාත්තට …
” තාත්තේ මූ මට පාඩම් කරන්න දෙන්නේ නෑ “
කියලා මම ගැන පැමිණිල්ලක් කරන එක…වැරැද්දක් දැක්කම ඒකට දඬුවම් දෙන්න පැකිලෙන්නේ නැති අපේ තාත්තා මට ගැහුවේ බැන්නේ නෑ …කිව්වේ
“පුතේ අපි අක්කට පාඩම් කරන්න දීලා වත්ත පහලට යමු කියලා”
එහෙම කියලා තාත්තත් වත්තට ගියා ( සමහර විට ඒ සංගීතේ රසවිදින්න තාත්තටත් අමාරු වෙන්න ඇති ..) කොහොමින් කොහොමින් හරි මගේ කරදර භාදක නොසලකා අපේ අක්කා විශාරද විභාගේ ඉහලින්ම සමත් උනා විතරක් නෙමේ, කැම්පස් ගිහින් හොදට ඉගෙන ගෙන , තාත්තා වගේ විදුහල්පති වරියක් වගේම අද ඉන්න තනතුර දක්වා ඉහලට ගියේ එයා සංගීතෙට උපන් හපන් කම් තිබ්බ හින්දා…
දැන් බලමු අක්කට හූ කියපු මගේ සංගීත ජිවිතේ කොහොමද කියලා.. කොටින්ම කිව්වොත් අපේ ගෙදර, වයලින් එකක්, සර්පිනාවක්, තබ්ලාවක්, ගිටාර් එකක් ආදී බොහෝ සංගීත භාණ්ඩ තිබ්බට මට තාලෙකට බඩට තට්ටු කරන්නවත් බෑ… සින්දු කිවිල්ලත් එච්චර තමා හැබැයි කොහේ ගියත් තිනර් බෝතලයකට දෙහි ගෙඩියක් දාගෙන හරි අනුමත වෙන යාළුවො සෙට් එකක් ඉන්න මට සින්දු කියන්න පුළුවන් කියලා තමා යාළුවො කියන්නේ…. නාග සලං වෙන්න ගසලා ගාථාවක්, ඔරසමක් ඇහුනත් අප්පුඩියක් ගහලා ඒකට එකතුවෙන අපේ උන්ට නම් මම අසහාය ගායකයෙන් කොටින්ම මුල් පෙලේ ගායකයෙක්…( ඕනෙම සින්දුවක පලවෙනි පද ටික හරි දන්න ) හැබැයි හොඳ සිහියෙන් ඉන්න මිනිස්සු ලඟදි මම සින්දු කියන්න යන්නේ නෑ .. සද්ද වහල ඉන්නේ….
දැන් ඉතින් වර්තමානෙට ආයෙත් එමු .. අවුරුදු විසිපහකට පස්සේ විභාගෙට සින්දු කියපු අක්කට හු කියපු මට ඒ පවට දඬුවම් ලැබෙන්න පටන් අරන්… දෙවියන්ගෙන්ද..? නෑ අසල්වැසියන්ගෙන්, පාර්ටි බොක්ස් එකක් දාගෙන අහල පහල සින්දුවක් කියනවා ඇහෙනවා……
” පුන්සඳ රෑට ඇවිදින් හේනේ …ආ ආ ආ “
දවසට හතලිස් අට පාරක් විතර එකම සින්දුව ඇහෙන්න…හැබැයි එක එක විදිහට.. සින්දුව ස්රුතියෙන්ද මොකෙන්ද කොච්චර බැහැර වෙනවද කිව්වොත් වොයිස් එක අලිමංකඩ යද්දී මියුසික් යන්නේ පාමංකඩ… තවත් සරලව කිව්වොත් ” පුන්සඳ රෑට ඇවිදින්” කියලා කියද්දී – මියුසික් එකේ රන්කඳ පැල් රැකලා ගෙදරත් එනවා….. හිතපල්ලකො උදේ ඉඳන් රෑ වෙනකල් මෙහෙම වෙද්දී….😜කමක් නෑ කියලා ඒකට හුරුවෙද්දී දැන් ඇහෙන්නේ
” කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්රේම වසන්තය මේ “..
හැබැයි මට කියවෙන්නේ “
කෝකිලයා කෙවිලිය හා හැ#නෙන ප්රේම වසන්තය මේ ” කියලා….. එච්චර කොන්පියුස් වෙලා ඉන්නේ
මේ කතාව ලිව්වේ පව් සමා කරගන්න, මගෙන් ඒ දවස් වල නොදැන වෙච්ච වැරැද්දට අක්කාගෙන සමාව ඉල්ලන්න, ඒ වගේම මේක බලන කියවන හැමෝම දැනුවත් කරන්න..ඉගෙන ගන්න කෙනෙක්ට කරදර කරොත් දඬුවම් එන්නේ හැරෙන තැපෑලෙන් නෙමෙයි සාමාන්ය තැපෑලෙන්, ඒ පව් අහෝසි වෙන්නේ නෑ අවුරුදු ගානකට පස්සේ හරි පල දෙනවා…..
හෝව් හෝව් තවත් ලියන්න බෑ .. අහල පහල කරදරයක්…කාගේ හරි ඇඟට උණුවතුර එකක් වැටිලද..? කාට හරි නයෙක් පොළගෙක් ගහලද ….? නෑ සින්දුවක් කියනවා
“ජුලි…….ලී …ලී .ලිහ්හ්හ්හ්හ්හ් – ජුලි ලව් යු…….හාහ් හ…හාහ්……..ආ ආ ආආආ- ” 🙄🙄🙄🙄
උපුටා ගැනීම:  Suranga Marasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!