ඕනම ලමයෙක් ඒලවෙල් විභාගයට මුහුණ දෙන්නෙ හීන අරමුණු බලාපොරොත්තු ගොඩාක් එක්ක. අවුරුදු දෙකක් තුනක් විතර දිවා රෑ නොබලා වුන මහන්සියෙ ප්‍රතිඵල ලැබෙන දවස කියන්නෙ ජීවිතයෙ අපිට අමතක කරන්න බැරිම දවසක්. ඉතින් මේ ඒලවෙල් ප්‍රතිඵල ආව දවසෙ ඉදන් ලමයින්ට ජය පැරදුම ඔස්සෙ විවිධ මානසික තත්ත්වයන් අත්විදින්නට සිදුවෙනවා.
ඒලවෙල් ප්‍රතිඵල අනුව ලමයින් වර්ග තුනකට වෙන් කරන්න පුලුවන්.
1- තමන් බලාපොරොත්තු වුන ප්‍රතිඵලය තියන අය.
2- තව වතාවක් කරන්න බලාපොරොත්තු වෙන අය.
3- අනාගතය ගැන හිතාගන්න බැරි අය.
අපි දැන් වෙන වෙනම මේ අය ගැන කතා කරමු.
(1) තමන් බලාපොරොත්තු වුන ප්‍රතිඵලය තියන අය.
ගොඩාක් වෙලාවට මේ කොටසට එකතු කරන්න පුලුවන් වෙන්නෙ.හොද රෑන්ක් එකක් තියන එහෙමත් නැත්තම් සැලකිය යුතු ඉසෙඩ් අගයක් සහිත අය. කැම්පස් යන්න සෑහෙන තරම් ප්‍රතිඵල තියන අය. ඉතින් ඉස්සෙල්ලම මේ අයට අපි සුබ පතන්න ඕන.මොකද අවුරුදු ගණනක් වුන මහන්සිය කැපකිරීම් වල ප්‍රතිඵලය ඔයාට අද අත්විදින්නට ලැබෙන එක ගැන. මේ දැන් ඔයාට ලැබිලා තියන විවේක කාලය හරිම ඵලදායී විදියට ගත කරන්නයි ඕන.
- වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි හදාගන්න එක.ඊලගට ඔයාට උසස් අධ්‍යාපනය හදාරන්න වෙන්නෙ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සෙයි.ඉතින් ඉංග්‍රීසි කියන්නෙ අනිවාර්යය දෙයක්.
- ගෙදරට බරක් නොවී උසස් අධ්‍යාපනය හදාරන්න ඔයාට කැමැත්තක් තියනවනම් දැන්ම පොඩි රැකියාවකට යන්න.කිසියම් මුදලක් එකතු කරගන්න.
- මේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කටයුතු කරන්න. යාලුවොත් එක්ක අලුත් අත්දැකීම් ගන්න, කෑම්ප් යන්න, ඇවිදින්න යන්න, ෆිල්ම්ස් බලන්න, පොත් කියවන්න. කලින් විභාග නිසා අතපසු වුන සුන්දර අත්දැකීම් මේ කාලයෙ ගන්න.

(2) තව වතාවක් කරන්න බලාපොරොත්තු වෙන අය.
මේ කොටස ගැන කියන්න නම් ටිකක් අමාරුයි.මොකද සමහර අයගෙ ප්‍රතිඵල වලින් හිතාගන්න අමාරුයි කැම්පස් එකකට යන්න පුලුවන් වෙයිද කියලා. ඒ වුනාට ඔයාගෙ ඒකායන අරමුණක් තියනවනම් අනිවාර්යයෙන්ම කැම්පස් යන්න ඕන කියලා, එහෙනම් ආයෙත් පාරක් ලියන්න හිතනවනම් කල් නොයවා දැන් ඉදන්ම හොදට වැඩ කරන්න පටන් ගන්න. කලින් ඔයාගෙ අතින් සිදුවුන වැරදි අවබෝධ කරගෙන ආයෙත් ඒ වැරදි නොවෙන විදියට වැඩ පටන් ගන්න.
ඔයා මේ වතාවේ ගත්ත ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වෙන්න.ඔයාට මේ තරම් හරි ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වුන එක ගැන ඔයා ගැනම ඉහල ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න. හොදින් කාලය කළමනාකරණය කරගන්න , ඔයාගෙ දුර්වලතා හදුනගන්න , ඔයා වඩාත්ම දක්ෂ මොනවටද කියලා දැනගන්න.කැපවීමෙන් වැඩ කරන්න.

(3) අනාගතය ගැන හිතාගන්න බැරි අය.
සමහර අයට තම ප්‍රතිඵල ඔස්සෙ අනාගතය ගැන පැහැදිලි වුනත් සමහර අයට මින් ඉදිරියට කරන දෙයක් ගැන හිතාගන්නවත් බැරි වෙනවා. මම දැන් කතා කරන්න යන්නෙ ඒ අය ගැනයි.
මම හොදටම දන්නවා ඔයා දැන් ඉන්නෙ ටිකක් මානසිකව වැටිලයි.ඔයාට ඔයා ගැන තියෙන්නෙ හරිම පහත් හැගීමක්. ඔයා දන්නවද මේ ලෝකයෙ හරිම බලවත් දෙයක් තියනවනම් ඒ අපෙ මනස කියලා.මේ ලෝකයෙ අපිට දකින්න ලැබෙන පුදුම හිතෙන හැම දෙයක්ම අපි වගෙම සාමාන්‍ය මිනිසුන් විසින් නිර්මාණය කරපු ඒවයි. ඔයා නොදන්නවා වුනාට අපෙ යටිහිත කියන දේ නිදාගෙන යෝධයෙක් වගෙ කෙනෙක්. අවදිකරගත්තොත් මේ ලෝකයෙ කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඉස්සෙල්ලම මේ දේ තේරුම් අරගෙන ඔයා ගැන විශ්වාස කරන්න පටන් ගන්න.

දැන් නිදහසෙ හිතන්න පටන් ගන්න ඔයා සහජයෙන්ම කැමැත්තක් තියෙන්නෙ මොන දේටද කියලා.දැන් ඒ ඔස්සෙ ඔයාට මේ ලෝකයෙ ඉහලම තැනකට යන්න පුලුවන් විදිය කල්පනා කරන්න.සැලසුම් කරන්න.ඒලවෙල් වලින් ඔයාට වුන පසුබෑමෙන් හොද ගැම්මක් අරගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න. මතක තියාගන්න මේ අසීමිත ලෝකයෙ අදවනවිට ඔයාට යන්න බැරි දුරක් නැහැ කියලා. මේ වගෙ පසුබෑම් වලින් හොද අභිප්‍රේරණයක් අරගෙන ඉහලටම ගියපු අයගෙ චරිත කතා මේ කාලයෙ අධ්‍යයනය කරන්න. හිතට ලොකු අභිප්‍රේරණයක් අරගන්න. තමන්ගෙ ජීවිතය ඉහලම තැනකට අරගෙන යන්න කැපවීමෙන් වැඩ කරන්න අද පටන් ගන්න.ඔබට ජය.