ආලංගා / Ipomea alba / Moonflower / Alanga … (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පැරැණි සිංහල ජන සමාජයේ එළවළුවක් ලෙස භාවිත ව වර්තමානය වනවිට වඳ වී යන දුර්ලභ එළවළුවක් ලෙසට ආලංගා ලතාව හැදින්විය හැකිය. ලංකාවට බෝංචි හඳුන්වා දුන්නේ බටහිර රටවලිනි එසේ බෝංචි ලංකාවට ලැබීමට පෙර බෝංචි වැනි එළළුවක් ලෙස ලාංකේයයන් පිසගෙන ඇත්තේ ආලංඟා වැලේ කරල් බව කියවෙයි.
අලංගා 5 – 10 m ක් පමණ උස යන බහුවාර්ෂික වැලකි. පත්රයක් දිගින් 5 – 15 cm පමණ වන අතර පලලින් 5 – 20 cm පමණ වෙයි. මල් සුදු පාට වර්ගයක් හා දම් පාට වර්ගයක් පවතින අතර මලක් 8 – 14 cm පමණ දිගින් යුක්තයි. මල් පීපිම රාත්රි කාලයේදී සිදු වෙන අතර එම මල් ද්විලිංගිකය. ලා කොල පැහැයෙන් අගල් 2 – 3ක් පමණ දිගට කරල් හටගනියි. එම කරල් දිලිසෙන තෙල් ගතිය හා බූව සහිතය. පිපුණු මලේ ගැටිති කොටස මේ කරල මුදුනේ කුටුම්බියක් ලෙස පිහිටයි. එහි බීජ කිහිපයක් දක්නට ලැබෙන අතර බීජ මගින් ශාක ව්යාප්තිය සිදුවෙයි. ආලංගා ශාකය Convolvulaceae ශාක කුලයට අයත් වෙයි.
වදුල සහිත තෙත් බිම්වල විශාල වැල් ලෙස සරුවට වැඩෙන අලංගා හොදින් හිරුඑළිය ඇති ස්ථාන වල මනාව වැඩෙන අතර හොදින් ජලවහන සිදු වන ලෝම පස වඩාත් සුදුසු වෙයි. අලංගා සාමාන්යයෙන් වේගයෙන් වැඩෙන ශාකයකි .පැල සිටුවා මාස 3 – 5 ගිය පසුව මල් පීපිම ආරම්භ වෙයි.
අලංගා අතීතයේ දී ඖෂධීය ශාකයක් ලෙස භාවිතා කල ඇති බවටද මත පවතීයි. එහෙත් දේශීය මූලාශ්රවල ආලංගා වැලෙහි ඖෂධීය බව හා නාමකරණය කිසිම තැනක සදහන් නොවෙයි. අලංගා ඔසුවක් සේ භාවිතය කෙසේ වෙතත් එළවළුක් ලෙස භාවිතා කිරිම වර්තමානයේ වඩාත් ජනප්රිය වී ඇති බව දක්නට ලැබෙයි. අලංගා වලින් ඉතාමත් රසවත් වෑංජනයක් සකස් කර ගත හැකිය. බෝංචි වෙනුවට හොද විකල්පයකි. වර්තමානයේ බෝංචි සෑදිමට විශාල වශයෙන් කෘෂි රසායනික භාවිතා කරනු ලැබෙයි. නමුත් අලංගා ලෙසියෙන්ම වැඩි අවදානයක් නොමැතිව වගා කළ හැකි අතර අලංගා කරල් ඵලදාව බොහො කල් ලබා දෙයි. ආලංගාවල රසය හා ගුණය බෝංචි හා සමාන බව සටහන් වෙයි.
ආලංගා ව්යාංජනයට අවශ්ය ද්රව්ය –
ආලංගා කරල් ටිකක් , සුදුලූනු , ලොකු ලූනු , ගම්මිරිස් කුඩු , රම්පෙ , කරපිංචා , තක්කාලි , උම්බලකඩ කුඩු , උලුහාල් , මිරිස් කුඩු , කුරුදු කැබැල්ලක් , කහ , අමු තුනපහ , ලුනු කුඩු , පොල්තෙල් ටිකක් , පොල් දියකිරි හා මිටිකිරි ටිකක්
සාදන ක්රමය –
ආලංගා කරල් හොදින් සෝදා එහි බීජ ඇති කොටස කපා ඉවත් කරගෙන පසුව ආලංගා කරල් තීරු වනසේ කපාගන්න. එයට මිරිස්කුඩු , තුනපහ , උලුහාල් , ගම්මිරිස් , ලුනුකුඩු මිශ්ර කර හොඳින් කලවම් කරන්න. භාජනයක් ලිප තබා එයට පොල්තෙල් ටිකක් දමා තෙල් නටන විට සුදුලූනු ටික දමා එය හොඳින් බැදෙන විට ලූනු , අමුමිරිස් , රම්පෙ , කරපිංචා , කුරුදු පොතු එකතු කර තෙම්පරාදු කරගන්න. තෙම්පරාදුවට ආලංගා මිශ්රණය එකතු කර එය තෙලෙන්ම ටික වේලාවක් තැම්බෙන්නට හැර අවශ්ය පමණ දිය කිරි එක් කර කිරි සිඳී එනවිට මිටිකිරි ටිකක් එක්කර යන්තමින් ඉස්ම තියෙන පරිදි පිසගන්න. මිටිකිරි එක්කෙරු පසු පියන ඇර පිසීමෙන් ආලංගා කරලේ කොලපාට ගතිය මනාව තබා ගත හැකිය.
👉 විශේෂ යමක් ආලංගා ගැන –
ආලංගා වල නිජබිම දකුණු ඇමරිකානු රටවල හා මෙක්සිකෝවේ සිදු වී ඇති බව උද්භිත මූලාශ්රවල සදහන් වන අතර මෙම ශාකය කුමන කාලයකදී අප රටට ලැබුනේද යන්න සටහන් වීමක් නොමැත. පෙර රජදවස රාජකීය භෝජනයක් සේ ආලංගා තිබු බව කටවහරෙන් සමාජගත වී තිබුනත් එසේ දැක්වෙන කිසිම සටහනක් හමුවන්නේද නැත. මෙ ශාකය ගැන සදහන් වන දේශීය මූලාශ්ර කිසිවක් හමු නොවීම නම් විමතියට කරුණකි. විද්වතුන්ගේ පිලිගැනීම නම් මෙම ශාකය අපේ රටේ පාරම්පරික ශාකයක් සේ නොතිබු ශාකය විය හැකි බවයි. මහනුවර යුගයේදී දේව පූජාවලදී ආලංඟා නමින් කැවිලි විශේෂයක් භාවිත වූ බව අත්තරගම රාජගුරු බණ්ඩාර ලියූ ගණදෙවිහෑල්ල කවිපොතේ “පුදනෙමි අත්සුනු ගෙන ආලංඟා” යන කවි පාඨයෙන් පෙනෙයි. ගණදෙවි පූජාව හා දේව පූජාවලට යොදා ගත් මේ ආලංඟා යනු කැවිලි විශේෂයක් මිස ආලංගා නම් ශාකය නොවන බව විද්වතුන් පෙන්වා දෙයි.
A revised handbook to the flora of ceylon හි දැක්වෙන උද්භිද විස්තරයට අනුව ආලංගා මල් සුදු පැහැති බව එහි මෙන්ම Flora of china , Flora of pakistan යන විදේශීය මූලාශ්ර වලද එසේ සටහන් වෙයි. මේ ශාකය ඉංග්රීසියෙන් Moon Flower ලෙස හැඳින්වේ. Ipomoea alba ( ආලංගා ) හැරුණු විට ලෝකයේ වෙනත් Ipomoea විශේෂ හමුවෙයි. මෙම ශාකයේම ලක්ෂණ ඇති දම් පැහැ විශේෂය මෙහි මෙහි ප්රභේදයක් හෝ වැඩිදියුණු කළ විසිතුරු ප්රභේදයක් විය හැකිය. Ipomoea alba ශාකයේ පොහොට්ටු සහ ලපටි දලු ආහාරයට ගත හැකි බව ද Edible Medicinal and Non Medicinal Plants වල දැක්වෙයි.
ඔසු පැල හදුනාගනිමු සමූහයෙන් හා සිංහල වෙදකම පිටුවෙන් මෙන්ම අන්තර්ජාලයෙන්ද තොරතුරු ගෙන සැකසුනකි …
මූලාශ්‍රය: බෙහෙත්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!