අද උදේ අම්මා මාව නැගිට්ටවනකොට ඉර පායන්න හිතලවත් නෑ. කෑලි කපලා දීසියකට බෙදන්න පුලුවන් තරමට අන්ධකාරෙ..
නංගිට මොකක්දෝ අටමගලට ඉස්කෝලෙට එන්න කියලා උදේ හයහමාර වෙනකොට. මටත් උදේම වැඩමුළුවක් තියනවා. නංගි ඇඹරිලා නැවිලා පෙරලිලා ලෑස්ති වෙන්නම පැය දෙකක්වත් ගත වෙන නිසා පාන්දර තුනහමාරට අම්මා අපිව නැගිට්ටෙව්වා.
“මට එලාම් එක තියන්න අමතක උනානෙ.. බල්ලා බුරනව ඇහිලා හදිස්සියෙ ඇහැරලා බිත්ති ඔරලෝසුව බලද්දි තුනහමාරයි. ඌ දන්නවා අපි නැගිටින්න ඕන කියල ඒ වෙලාවට..
අනේ මගෙ නුවණක්කාර කෙල්ල.. යන්න කලින් ලොකු බත් පිඟානක් දෙන්නම් හොඳේ මැණිකට”
අන්තිම ටික කිව්වෙ එලිසබෙත් රැජිනගෙ අල්ලපු ගෙදර අක්කා වගේ ආඩම්බරෙන් ආපු බලු තඩියට.
කොහොමහරි සලං බලං බෙලෙක් හඬින් සද්ද දදා වැඩ ටික ඉවර කරගත්තා. මෙච්චර පාන්දර අපේ පාරෙ බස් නෑ. ඒ නිසා ඌබර් එකක් දැම්මත් ඩ්‍රයිවර් කෙනෙක් පේන මානෙක නෑ. යන්තම් අන්තිමේ එක්කෙනෙක් කොහෙන්දෝ පාත් වෙලා ඇක්සෙප්ට් කරා.
අපිත් නිදිමත බේරි බේරි ගිහින් සීට් එකට වැටුණා. එක්කෙනෙක්වත් කතා කරේ නෑ, කතා කරන්න ගියාම වචන විසික් වෙලා පාරට වැටෙනවා.
“ට්‍රිප් එකක් යනවද පාන්දර”
“නෑ මේ ඉස්කෝලෙ මොකක්ද තියනවලු”
“මේ රෑ”
ඩ්‍රයිවර් අහද්දි අම්මා හිනාවෙලා නිකා හිටියා. ඕනවට වඩා විස්තර එයාට මොකටද..
කොහොමහරි ත්‍රීවීලර් එක ඇවිත් ඉස්කෝලෙ ගේට්ටුව ගාව නැවතුනාට මොකෝ, ගාඩ් රූම් එක හිස්. තව කවුරුත් ඇවිල්ලත් නෑ.
අපි ගෙදරින් එනකොට බිත්ති ඔරලෝසුවෙ තිබ්බෙ වෙලාව පහමාරයි කියල. ඒ කියන්නෙ මේ වෙද්දි ඉර පායන්න ඕන. ඉරටත් පායන්න උවමනාවක් නෑ වගේ. පලාතම කලුවරයි.
බෑග් එකට අත දාල ෆෝන් එක අරං බැලුවා. ආයිත් ඇස් පිහදලා බැලුවා.
“අම්මේ”
“ආ”
“මේ.. වෙලාව”
වෙලාව පාන්දර 1.10යි.
ගෙදර බිත්ති ඔරලෝසුවෙ කටු ටික මනමාලි බලන්න ගිහින් ආපහු ඇවිත් කලින් තිබ්බ තැනින් පටන් අරං කැරකිලා තියෙන්නෙ. අපි ඉස්කෝලෙ ගිහින් නෝට් ලියනව වගේ.
ඉතුරු ටික මෙතන නිදාගන්නවද කියල කල්පනා කර කර පාර අයිනෙ බිම වාඩි වෙලා ඉද්දි මට කෝල් එකක් ආවා.
“නැගිටලද ඉන්නෙ.. කෑවද.. බෙහෙත් බිව්වද.. ඔන්න බෙහෙත් එක මම ඇඳ උඩම තියල ආවා, නැත්තම් පේන්නෑනෙ ඒක”
“නංගිව ඉස්කෝලෙට දැම්මද”
“මොන නංගියෙක්ද.. නැගිටිනව ලමයො..තාම නිදිද.. 9ත් පහු වෙලා.. නමයහමාරයි වෙලාව. ඔෆිස් නේද අද??”
මං හිතන්න මං නැගිට්ටා නෙමේ ඇඳෙන් විසික් උනා.
එහෙම්ම වෙලාව බලනකොට වෙලාව උදේ හයයි හතලිස් පහයි.
තත්පර ගානකට හුස්ම නවත්තලා අම්මලා ලබන මේ තෘප්තිය මොකක්ද කියල මට තාම තේරෙන්නෙ නෑ.
හැමදාම පැයක් දෙකක් වැඩි කරලා අනාගත කාලෙන් වෙලාව කියල මගෙ රුධිර පීඩනේ වැඩි කරන එකේ ඒ වගේ භයානක හීන පේන එක සාධාරණයි.
මොනා උනත් ගෙදෙට්ට තමං විහින් කටු දුවන ඔරලෝසු වැඩක් නෑ. අම්මට ඕන වෙලාව තමා කැරකෙන්නෙ.
අම්මා කිව්වා හරි.. මොන නංගියෙක්ද.. මමනෙ එකම ලමෙයා මේ ගෙදර.
ශුහ්… සැනසීම..
උපුටා ගැනීම: Thakshila Sri Pathum