ඔන්න දැන් ඕලෙවල් එහෙම කරලා පුතියා ඉන්නවා ගෙදර බොහෝම සැනසිල්ලෙන්,
ඒ කාලේ බොන්නේ එහෙමත් නෑ,
මොකද සතර වරිගෙන 70%ක් විතර හොඳට ගසන අය,
ඒ නිසා පුංචි තාරුම හිතා ගත්තා මමනම් අරක්කු කියන දහ ජරාව කටේවත් තියන්නේ නෑ කියලා,
බොන තැන් වල ඉන්නවා,
බයිට් කනවා,
කොකාකෝලා ස්ප්රයිට් ගහනවා,
සිගරැට් ගේන්න කඩේ යනවා,
මදි වුණාම බෝතල් ගේන්ඩ යනවා,
9 පහු වුනාම රොක්විව් එකට යනවා ගේන්ඩ,
ඒත් පුතියා බොන්නේ නෑ,
ඔන්න ඔහොම කාලය ගෙවිලා ගියා,
මම කල්පනා කලා දැන් මොනාද ඒලෙවල් වලට කරන්නේ කියලා,
මට ඕලෙවල් මැත්ස් හොඳට උගන්නපු අලගියවන්න අයියා කීවා මැත්ස් කරන්න,
එතකොට කෙමෙස්ට්රි තියනවා සහ පිසික්ස් තියනවා කියලා,
කොමස් කරන්න කොහොමත් හිත නෑ,
මොකද වගු ගහන්ඩ ඕනේ ඒවාට,
මම ඒවාට කැමති නෑ,
අඩිරූල් ගෙනියන්න ඕනේ,
ගෙස් කරලා ඉඩ තියලා කොටු ගහන්න ඕනේ,
මම ආසම නැති දෙයක්,
මට ඕනේ පෑනයි කොපි පොතයි විතරක් අරන් යන්න.
මම ඒකමතිකව තීරණය කලා මැත්ස් කරනවා කියලා,
ඉතින් හෙන ගැම්ම,
“පුතා ඒලෙවල් වලට මොනවද කරන්න ඉන්නේ”
අහනවා මැදිවියේ නෑදෑයෙක්.
මම බිම බලාගෙන
“බිංකුණ්ඩෝ බොළ බිංකුණ්ඩෝ
තෝත් නටාපිය මාත් නටන්නම්
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ”
කියලා දකුණු කකුලේ මාපටෑඟිල්ලෙන් ලැජ්ජාවට හාරනවා තඩි වලක්.
“කියන්න පුතා,
මොනවද ඒලෙවල් වලට කරන්ඩ ඉන්නේ”
ආයේ අහනවා,
මට නිකම් එක පාර මැත්ස් කීවොත් ලොකුකම කියලා හිතයි වගේ හිතෙනවා,
මගේ හිත හොඳයි,
හැම වෙලේම බයෙන් ඉන්නේ මා කළකී ද
මා පැවසූ වචන වලින් අනුන්ගේ හිතක් සිදෙයිදෝ හෝයි කියල…
ඒ තරම් ගුණ යහපත් විදිහට මම හැදුණේ,
“හිත හොඳ ගෑනි……..න්”
කියලා කියනවා වගේ කෙලවුණ වාර අනන්තයි අප්රමාණයි නෙවෙයි පහක් හයක් කෙලවුණා…
ඔන්න දැන් මම ගෙදර ඉන්නවා,
ටීවී බලනවා,
මිතුරු ඇසුර,
කඩේ යාම,
ඕවා තමා…
“ටිලිං ටිලිං ටිලිං”
පාං මාමා ලියුම් ගෙනල්ලා,
මෙන්න බොලේ රෙජිස්ටර් ලියුමක් මට,
බැලුවාම 11 වසරේ වාර විභාග වල ලකුණු වැඩි ලමයින්ට ගෙදරට ලියුම් එවලා ඉස්කෝලෙන්,
ඕලෙවල් රිසල්ට් එන්නම කලින්,
මැත්ස් කරන්න කැමති අය ඉස්කෝලේ එන්න කියලා,
ඔන්න ඉතින් සුදු පිරුවට ඇඳ ආයේ ගියා ඉස්කෝලේ,
අම්මේ…
වැඩිහිටි ශිශ්යයෝනේ,
අනික මැත්ස් කරන සෙට් එකනේ,
ඔහොම මහා මෝඩ ලොකුකමකින් ගියේ ඉස්කෝලේට.
සරළ රේඛාව හිතන තරම් සරළ නැති බවත්,
වෘත්තය ඉලිප්සාකාර නොවී වෘත්තාකාර වුණේ වෙලාවට බවත්,
නිව්ටන්ගේ පොත් වලින් භාගයක් ලාම්පුව පෙරළා පිච්චු පූසා දෙවියෙක් බවත්,
ගෙදර කුස්සියේ පොල් කට්ටේ තිබෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් බවත්,
ටිකක් හරි හිත සැනසීමට ඇත්තේ ගම්යතාවය හා සාපේක්ශ ප්රවේගය බවත් පසක් විය.
යකෝ…
මැත්ස් මෙච්චර අමාරුද,
ෆේල් වෙයිද,
“මැත්ස් කරලා ෆේල් වුණත් නම්බුයි”
කියන තේමා පාඨයෙන් මැත්ස් කරන්ඩ එක හිතින් තීරණය කලා.
අපේ නුවර අක්කා ෆිසික්ස් ටීච,
ඔන්න අක්කා කීවා නැන්දේ තාරු මෙහේ ඉඳලා ක්ලාස් ගියාවේ කියලා,
මම ගෙදර ෆුල් ෆ්රී එකේ හිටියේ,
ඔන්න දැන් පිළිමතලාවේ අක්කලාගේ ගෙදර ඉඳන් කොල්ලා ක්ලාස් යනවා,
සබ්ජෙක්ට් 3ටම,
වල බහින සෙට් එකත් නෑ,
ගමත් නෑ,
නගරෙත් නෑ,
පොත පත එක්කම මගේ ජීවිතේ ගෙවෙන්ඩ වෙන ලයින් එකක් යන්නේ,
“අයියෝ මාගේ යවුවන කාලේ මෙහෙමද ගතවෙන්නේ”
කියලා හවසට උතුවන් කන්ද පැත්ත බලාගෙන කවි කියනවා මම.
හරි යන්නේ නෑ වැඩේ,
මාස දෙකක් විතර එහේ ඉඳලා අරවා මේවා හේතු දාලා පැන්නා ආයේ ගෙදර,
දැන් ඉතින් මගේ අතිජාත මිත්රයෝ ටිකත් එක්ක යනවා කෑගල්ලේ ක්ලාස්,
ඒ අස්සේ නුගේගොඩත් යනවා ආනන්ද කලු ආරච්චිගේ,
ඒ යන්නේ ක්ලාස් යන්නම නෙවෙයි,
වෙන වෙන පර්සනල් ගෝල්ස්,
නුවරත් යනවා,
යාපනය,
කිලිනොච්චියට ඇරෙන්ඩ හතර දික්බාගේම ගියා ක්ලාස්,
අනේ දෙමාපියන්ගේ සල්ලි…
ඔය කාලේ ඉතින් වාර විභාග වලට එහෙම වාඩි වෙනවා,
පේපරේ දැක්කාම නැගිට්ටෙනවා,
ආයේ ටීච බලන් ඉන්න හන්දා වාඩි වෙනවා,
ඉස්කෝලේට ෆෝන් ගෙනිහිල්ලා මාට්ටුවෙනවා,
එක එක වලි කේස් වලට ගෙවල් වලින් ගෙන්නනවා,
දෙමාපිය අප්රසාදයට ලක් වෙනවා,
ගුරු භවතුන්ගේ අප්රසාදයට ලක් වෙනවා,
යාලුවන්ගේ ප්රසාදයට ලක් වෙනවා,
දවසක් වාර විභාග ප්රතිපල ඇවිත් අපේ කෙමෙස්ට්රි උගන්නපු ඤානා ටීච කියනවා,
“එම්සීකිව් එකටනම් හොඳට ලියලා,
රචනා එක ගන්ඩ දෙයක් නෑ”
මම පොඩි මිස්ටේක් එකක් වුණා වගේ බිම බලා ගන්නවා,
මොකද එම්සීකිව් එක හොඳට ලියලා කියන්න්නෙ අන්තිම විනාඩි 5 පන්තියේ හොඳම එකාගෙන් කොලේ ඉල්ලාගෙන මාක් කරගන්නවනේ.
ඔන්න ටීච රැවටුණා…
මම දිනුවා…
කියලා මම හිතුවා…
කොහොම හරි ලංකාව පුරා කරක් ගැහුවා ක්ලාස් යනවා කිය කියා,
ගිහාන්ලාගේ ගෙදරත් නැවතිලා හිටියා,
රිසල්ට් ආවා ඒලෙවල්,
ජෙනරල් නොලේජ් 54යි,
ඉංග්රීසී පාස්,
කෙමෙස්ට්රි s
පිසික්ස් s
අනික රිසල්ට් එක මතක නෑ 

අහන්ඩ එපා ඉතින්,
පව්නේ…
මැත්ස් කරපු මම මැත්ස්ම ෆේල්,
“තාරු කොහොමද”
“පුතාට රිසල්ට් කොහොමද නංගි”
“මල්ලි පුතා පාස්ද”
හැමෝම අහනවා,
අම්මලා ඉතින් ඔව් අක්කේ,
ඔව් මල්ලියේ,
ඔව් අයියේ,
“පුතා පේල්”
කියලා කියනවා,
හැබැයි ඒ වෙද්දී මම රිසාල්ට් එක දැනගෙන ඒලෙවල් පළවෙනි පාර ඉවරවුණ හැටියේම සෙකන්ඩ් ශයි එකට ක්ලාස් යනවා,
දත කාගෙන පාඩම් කරනවා,
මිතුරු ඇසුරෙනුත් පොඩ්ඩක් ඈත් වෙලා බැහැලාම පාඩම් කරනවා,
ප්රේම සීන් එකකුත් තිබ්බා,
එයයි මායි දෙන්නාම පාඩම් කරනවා,
“නෝ ලව්,
ඔන්ලි ස්ටඩී”
යන තේමාව යටතේ,
එයත් වැඩ මාත් වැඩ,
මාධවලාගේ ගෙදර නැවතුණා,
කුරුණාගල කේසිරි සර්ගේ උදේම යන්න එපායෑ,
අසේල සර්,
අනිල් සර්,
කේසිරි සර්,
රංග අයියා,
මෙයාලාගේ තමා ක්ලාස් ගියේ,
මාව ගොඩදාපු අය තමයි ඔය,
හවස ක්ලාස් ඇරිලා මාධවලාගේ ගෙදර එනවා 4ට විතර,
පැයක් නිදා ගන්නවා,
5ට පාඩම් පටන් ගන්නවා,
රෑත් පාඩම් කරලා පාන්දර 7 වෙනකනුත් පාඩම් කරලා තියනවා,
ඇස් ගිනි බෝල වගේ,
සමහර දවසට ක්ලාසුත් යනවා එහෙම කරලා..
මාර කැප කිරීමක් කලා,
ඔන්න රිසල්ට් එන දවස,
මම මල් පහන් පූජා කරලා,
දුම් අල්ලලා,
ගෙදර කාමරේ දේවාලයක් වගේ,
දුමෙන් වැහිලා,
“අනේ දෙවියනේ,
හොඳ රිසාල්ට් එකක් එන්න,
කැහ් කැහ් කැහ්”
දුම වැඩි කමට කැස්සත් එනවා…
අම්මලාත් හෙන හෝප්ස්,
මාගේමේ උත්සාහය ඉංජිනියරිං යාම නොව,
පාස් වීමයි.
ඔන්න රිසාල්ට් ආව,
C 3යි,
දිස්ත්රික්කේ 107,
පේරාදෙනි පිසිකල් යන්න පුලුවන්,
අම්මෝ සතුට…
කියලා වැඩක් නෑ…
පියාඹුවා…
———-
මම ඇත්තටම මේක විහිලු එක්කම දැම්මේ වෙන මොකකටවත් නෙවෙයි,
ඕලෙවල් ඒලෙවල් ෆේල් කියලා ආයේ උත්සාහා නොකරන ලමයි ඕනේ තරම් ඉන්නවා,
එක පාරකින් තමන් වැඩ බැරි කෙනෙක් කියලා අතාරින්න හොඳ නෑ,
උත්සාහය උනන්දුව තියනවානම් ඕනේම දෙයක් ගොඩ දාගන්න පුලුවන්,
තව දෙයක්,
මගේ ජීවිතේ වීරයෝ විදිහට ඉන්න කවුරුත් පොතපතෙන් උපාධි වලින් ජීවිතය ජයගත් අය නෙවෙයි,
තමන්ගේ උනන්දුව උත්සාහයෙන් ජීවිතේ ගොඩ දාගත් අය,
අදටත් මම ජීවිතේ මානසික තෘප්තියක් විඳින්නේ අධ්යාපනය නිසා නෙවෙයි,
සමාජ ආස්රය සහ මේ ලියන කියන ඒවාගෙන් ලැබෙන ආත්ම විශ්වාසය නිසයි.
යම් අසමත් වීමක් කියන්නේ ලොකු ජීවනගමනක ආරම්භයට ආත්ම විශ්වාසයක් සමඟ ලැබෙන අත්දැකීම් සමුදායක්.
ස්තූතියි.
උපුටා ගැනීම: -Tharu Rajapaksha–