මා කලකට පෙර අම්පාරෙ පාසැලක උගන්වන කාලසීමාවෙ තමයි එල් ටී ටී ඊ ක්රියාකාරිත්වය ඉතාම දරුණුවට තිබ්බෙ. මායිම් ගම්මානවලට ඇවිත් නිරායුධ ගැමියන් කුඩා දරුවන් පවා කපල කොටල මරපු පුවත් නිතරම වගේ අහන්න ලැබුණ.
ගමේ හිටිය හැමදෙනාම වගේ බයෙන් තමයි ගමන්බිමන් ගියෙත් රෑට නිදාගත්තෙත්. ලඟ ගම්මානෙකට කොටි ගහල කියල දැනගත්තම ටික දවසක් යනකම් මිනිස්සු ලමයි එක්ක කැලේ ගලක් උඩ තමයි රෑ ගතකලේ.
ඒ කාලෙ ඒ පැත්තෙ මිනිස්සු ජීවත් වුන විදිය බැලුවම මේ කොරෝනා මොකක්ද කියල හිතෙනව. ඉස්සර ඒ අයට තිබ්බ ප්රශ්නෙ ගමට අලි එන එක. අලි මදිවට කොටි කියන එක මේ මිනිස්සුන්ට හොඳට ගැලපුනා .
ඒ කාලෙ කටකතාවක් තිබ්බ අම්පාරෙ ගම්වලට ගැහුවෙ ඒ පැත්තෙ හිටිය වෙනත් කණ්ඩායමක් කියල .
වැව්බැම්ම ආරක්ෂා කරන්න තුවක්කු තියාගෙන ගමේ කීපදෙනෙක් රෑට වැව ලඟ තියෙන ගහක් උඩ හදපු මැස්සකට වෙලා එලිවෙනකන් හිටිය . දවසක් රෑ ජීප් එකක් ඇවිත් එකපාරටම වැව්බැම්ම උඩට ගියා විතරයි මැස්සෙ හිටිය මුරකාරයො කලබල වෙල ඔක්කොම ගහමුලට වැටිල !! හොඳ වෙලාවට ගහයට පඳුරු තියෙන නිසා කාටවත් ලොකු තුවාල නෑ. පස්සෙයි දැනගත්තෙ වනජීවී එකේ කට්ටියක් රෑ බොන්න ගිහින් වැව්බැම්ම උඩට!! මුරට හිටිය මිනිස්සු කියල ‘යකෝ මුලින්ම මුන්ට තමයි කොටි ගහන්න ඕන’
මන් නැවතිල හිටිය ගෙදර හිටියෙ මගේ වයසෙම සගයෙක් . එයාට සීනි සංස්ථාවෙන් ලැබුණ නිලනිවාසෙ. කාමර තුනක් එක්ක හොඳ ලොකු ගෙයක්. ඒ පැත්තෙ දුලබ සම්පතක් වන ජලනල සහිතව .
අපි දෙන්න කල්පනා කලා රෑක කොටි ආවොත් මොකද කරන්නෙ කියල . ඊටපස්සෙ ගෙයි කුස්සියෙ දුම්කවුලුවෙන් එලියට ඇවිත් වහලට නගින්න පුලුවන් විදියට වැල් ඉනිමගක් හැදුව. ලිප ගාවින් රිංගල දුම්කවුලුව ඇතුලෙන් වැල් ඉනිමග දිගේ උඩට නැගල වහලෙන් එලියට එන්න පුලුවන් . අත් හදා බැලීම් සාර්ථකයි.
නගරබද ප්රදේශයක ජීවත් වුණු මේ ම්ත්රයගෙ පවුලේ අය එහේ ආව දවසක් . උසස්පෙල ලියල ඉවරවෙලා හිටිය නංගි අම්මත් එක්ක ටික දවසකට නතරවුනා. දවල්ට ගෙදර ඉන්නෙ ඒ අම්මයි දුවයි විතරයි. මන් ඉස්කෝලේ ඇරිල ඇවිත් දවල්ට කාල ටිකක් හවස්වෙනකොට ඇවිදින්න යනව.
දවසක් මන් ගෙදර එනකොට කවුරුත් පේන්න හිටියෙ නෑ. දොර ලොක් කරන්නෙ නැතුව වහල තියෙන්නෙ හැමදාම. ඉතින් මන් ඇතුලට ඇවිත් බැලුව කවුරුත් නෑ. නාන කාමරේ කවුද නාන සද්දෙ ඇහුණ. මමත් වැඩිගාණක් නැතුව මගේ කාමරේට යනකොට කුස්සියෙන් අමුතු සද්දයක් ඇහුණ නිසා ගිහින් බැලුව . කවුරුත් නෑ.
ආයෙ සද්දෙ ඇහුණ. මට තේරුණා කුස්සියේ දුම්කවුලුවෙන් තමයි සද්දෙ එන්නෙ කියල. සද්ද නැතුව ගිහින් අස්සෙන් එබිකම් කරල බැලුව. මගේ සගයගෙ නංගි අර වැල් ඉනිමග දිගේ ටිකක් දුර නැගල දැන් බැහැගන්න බැරුව වැනෙනව!!!
ඒක යටට සම්බන්ධයක් නැතුව එල්ලෙන වැලක් වගේ හින්ද මෙයා පැද්දෙනවා මිසක් යට තියෙන ලී කෑල්ලට කකුල තියාගන්න බෑ.
‘ අනේ සර් මේකෙන් බහින්න බෑනෙ’ ඒ හැමෝම ගුරුවරයෙක් හින්ද මට එහෙම තමා කතාකලේ.
දැන් මොකක්ද කරන්නෙ . මට කල්පනා වුනා හොඳ අදහසක් .
‘ ඔයා ලණුවෙ ඉන්න පැත්තෙ නැතුව අනිත් පැත්තෙන් කකුල තියන්න’
‘ඒ කිව්වෙ’
ඉතින් මන් ආයෙ ඔලුව දාල ඒ ක්රමය කියල දුන්න . කොහොම හරි ගෑනුලමය ඉනිමගෙන් බැස්සම මගේ සුදු කමිසෙයි අරයගෙ ඇඟ පුරාමයි එහෙම්පිටින්ම දැලි!!
මටයි මගේ සගයටයි මේකෙන් පස්සෙ තමයි මොලේ පෑදුණේ. මේ දෙන්න ඉන්න වෙලාවක කොටි ආවොත් අර ඉනිමග මොකටද කියල ?
අලි කතාව එන්නෙ ඊටපස්සෙ .නගරෙන් ආපු අය හුගාක් කැමතියි නෙ වැව්වල නාන්න. මේ ගමේ තිබ්බ වැව අයින ටිකක් කැලෑබද පැත්තක්. වැවේ එහාපැත්ත ඕනම වෙලාවක බැලුවොත් අලි ඇවිත් වැව් පිට්ටනියෙ තණකොළ කනව දකින්න පුලුවන්. ඒ උනාට උන් දවල්ට ගම පැත්තට එන්නෙ නෑ.
ඉතින් මෙයාට වැවේ නාන්න යන්න ඕන උනාට අම්ම යන්න බෑ කිව්ව නිසා අල්ලපු ගෙදර බාලදුව අඬගහගත්ත. ඒ දුව ඒ වෙනකොට දෙකවසරෙ. එයා තමයි සමහරවෙලාවට ගම වටේ යන මගේ ගමන් සගය. මන් ලොකු බයිසිකලේ පැදන් යනකොට එයාගෙ පොඩි සයිකලේ පැදන් මාත් එක්ක එනව.
දැන් ඔන්න දෙන්න යන්න ලෑස්තියි . ‘අලි ඉඳීවි ද දන්නෙ නෑ . සර්ට බැරිද චුට්ටක් බලන්න’ ඒ පොඩි එකීගෙ අම්ම. සගයගෙ අම්මල නැති දවස්වල අපි දෙන්න කෑම කෑවෙ ඒ ගෙදරින්. ඉතින් මාත් ගියා .
දැන් තුන්දෙනාම යනව , මන් ගියෙ නාන්න නෙවෙයි. එච්චර හවස්වෙල නෑනෙ. මන් වැව්බැම්ම උඩට වෙල මාලුන්ට කොල කඩල දදා හිටිය .
එකපාරටම ‘ අයියෝ ‘ කියනව වගේ කෑගහනව ඇහිල මන් බලනකොට මෙන්න ලොකු එක්කෙනා ගවුම අතේ අරන් ඉස්සරහ පැත්ත වහගෙන මන් ඉන්න පැත්තට දුවන් එනව! දියරෙද්ද නෑ! පොඩි එකී ඒ පස්සෙන් නාන්න ඇන්ද කලිසම පිටින්.
‘ ඇයි? ‘ ඇයි? ‘ කලබල උනු මන් ඇහුව. ‘ අලි , අලි’ හතිදාගෙන කියනව. මාත් බයවුනා. ඒ උනාට අලියෙක් පේන්න නෑ!
‘ කෝ ,කොහෙද?’
එතකොට තමයි මාත් දැක්කෙ කලුගල් පාවෙනව වගේ වැවේ අපි පැත්තට ආපු අලිදෙන්න!
‘ නගින්න මේ බැම්ම උඩට’
දෙන්නම වැව් බැම්මට නැගල අනිත් පැත්තට බැස්ස.
” ඕකත් ඇඳන් ගෙදර යන්’
වෙවුල වෙවුල හිටිය කෙල්ලට ගවුම අතේ බව මතක් උනේ එතකොට .ගහක් අස්සට ගිහින් ගවුම දාගත්ත.!හොඳ වෙලාවට ඒ වෙලාව වැව ලඟ ජනශූන්යයි!!
වෙලා තියෙන්නෙ අලි දැක්ක ගමන් ලොකු එකී ‘ ඒයි අලිය ‘ කියාගෙන ගොඩට එනකොටම බයවුණු පොඩි එකී ‘ අක්කේ’ කියල දියරෙද්දෙ එල්ලිලා ගොඩට එන්න හදල.. අයියගෙ සරමක් හරහට ඇඳන් ඉඳල . ඒක ගැලවුනාම නාන්න කලින් බිම දාල තිබ්බ ගවුම අතේ අරන් දුවල තියෙන්නෙ .
‘ ගෙදර ගිහින් කියන්නෙ නෑ හරිද? ‘ මන් පොඩි එකීට තගක් දැම්මට වැඩක් උනේ නෑ. මේකි ආපුගමන් අම්මට කිව්ව.
‘ කාටවත් කියන්නෙ නෑ’. පොඩි කෙල්ලගෙ අම්ම කිව්ව. ‘ මන් ඉස්කෝලේ ගිහිල්ලත් කියනව’ මේකි කිව්වම ‘ මන් කට තලනව’ අම්ම කිව්ව.
‘ එහෙනම් ඒගොල්ලො මට කුඩ්ඩි කියන්නෙ ‘!
මේ පොඩි එකීට ගෙදරට කියන්නෙ පොඩ්ඩි. එයා ගෙදර අනිත් අයට වඩා සුදුයි. එහෙම සුදුවුනේ පොල්කුඩු කාල කියල මගේ සගය කියන්නෙ ‘ කුඩ්ඩි’ කියල ! මන් එහෙම කියල නෑ.
පස්සෙ දෙපාර්ශ්වයම එකඟතාවකට ආව දෙපැත්තටම මඩ නොගහ ඉන්න!!
අවුරුදු දහයකට විතර පස්සෙ මට අහම්බෙන් මේ අයියයි නංගියි හම්බවුනා නුගේගොඩ දි. මන් මගේ බිරිඳට ඒ අයව අඳුන්වල දුන්න. ‘ ංආ මෙයාද ඉනිමගේ නැග්ගෙ’ කියල මගේ බිරිඳ ඇහුවම කෙල්ලගෙ සුදුමූණ රතුවුණා!
උපුටා ගැනීම: Channa Witha