අද ජනවාරි 3 වෙනිදා. අලුත් අවුරුද්ද ලබලා යන්තම් දින තුනයි. තාමත් මිනිස්සුන්ට අවුරුදු. තාමත් මිනිස්සුන්ට සුබපැතුම්, හමුවීම්, සාද අතොරක් නැතුව. බලාපොරොත්තු, සිහින පියඹාගෙන ඇවිත් 2021 වර්ෂයේ මිනිස්සුන්ගේ හිත් අලුත් කරලා. ඒ අලුත් හිත් කොරෝනා මාරයා ලඟ වෙට්ටු දමමින් නොලැබූ සෞභාග්යයා කරා අරන් යන්න පටන් අරන්. රටම අලුත් අවුරුදු අසිරියෙන් වෙලී යද්දී මේ මහ පොළොවේ එක මිනිහෙක්ටත් අලුත් අවුරුද්දක් ලැබුවා. ඒ 2021 වසර නම් නෙවෙයි. තමන්ගේ දියණියගේ මිනිය දෑසින් දැක ගෙවී යන විසි හතර වන අවුරුද්ද ! මේ තාත්තාගේ නම සී. ඩී. ඊ. එඩ්වඩ්. දුව ඉරේෂා නිල්මිණි. මෙහෙම කිව්වා කියලා අපේ බුකියේ කාටවත් හාන්කවිසියක මතකයක් නැතිව ඇති කවුද කියලා. ( දන්න අයත් ඇති )
ඉරේෂා දුවයි, එඩ්වඩ් තාත්තා ගැනයි අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කියන්න හිතුනේ එයාලා මේ අවුරුද්ද අපට මෙහෙම නිදහසේ ගත කරන්න කැපවුනු දියණියක් හා පියතුමෙකු නිසයි. Wonder woman, Bat woman වැනි සෙලෝලයිට් පට වීරයෝ අහසේ වීරයන් වෙද්දී මේ මහ පොළොවේ සැබෑ නිහඬ වීරවරියන් වුනේ ඉරේෂාලා නිසයි. වීරයන් වූනේ එඩ්වඩ් ලා වැනි පියවරු නිසයි. ඉරේෂා නිල්මිණි යනු රට දැය වෙනුවෙන් සිය ජීවිතය පිදූ ශ්රී ලංකාවේ ප්රථම කාන්තා සෙබලිය !
1997 වර්ෂයේ ජනවාරි පළවෙනිදා ශ්රී ලංකාවේ යුද හමුදාවේ ප්රථම කාන්තා වීරවරියගේ රුධිරය අප ලංකා ධරණීයතලයට එකතු වූ දිනය ලෙස සනිටුහන් වෙනවා. එදිනම එඩ්වඩ් පියාට තම දියණිය අහිමි වී යනවා. එදිනම ඔහුට මෑත ඉතිහාසයේ ශ්රී ලංකාවෙන් බිහි වූ ගේෂ්ඨතම වීරවරියකගේ පියා ලෙස අභිමානයේ කිරුළ පැලදෙනවා.
අපේ මේ වීර සෙබලිය බෝ ගස් සෙවණේ, පන්සලේ හැදුණු වැඩුණු, පොහොයට සිල් ගන්නා, බණ අසනා තැනැත්තියක් නම් නොවෙයි. ඇය උපතින් හා ජීවන භාවිතාවෙන් රෝමානු කතෝලික තැනැත්තියක්. රට ගැන නරි නාද නගනා සමහර අණ්ඩර දෙමළ සිංහල බෞද්ධයන්ට වඩා ඇය මගේ රටට, අපේ රටට ආදරය කරා. ඇය හමුදාවට යන්න හිතන්න ඇත්තේ ඒ නිසා. මොකද ඇය හමුදාවට අනුයුක්ත වන්නේ 1994 දෙසැම්බර් 24 වන දින. එවකට හමුදාවට බැඳෙනවා කියන්නෙ මූණට එන කෝච්චියට බෙල්ල තියෙනවා වගේ වැඩක්. ඒත් ඇය ඒ තීරණය නොබියව ගන්නවා. ඇය ශ්රී ලංකා යුධ හමුදා පොලීසියට අනියුක්තව සේවය කරමින් 1995 මාර්තු 8 වන දින වන විට ලාන්ස් කෝප්රල් නිලයට උසස් වීම් ලබනවා.
මීට වසර ගණනාවකට කලින් දෙහිවල, ගල්කිස්සේ රූප සුන්දරිය වූ හා Miss jeasy queen Sri Lanka තරඟාවලියේ විශිෂ්ට තරගකාරියක වූ ඇය, පිරිමි ගල් හිත් හා යකඩ අත් වලට නොදෙවෙනි ලෙස කුරිරු ත්රස්තවාදීන් හා ගැටෙමින් යාපනයේ මහා කැලෑවල දිවි පරදුවට තබමින් දිවා රෑ නොබලා සටන් කරනවා. හමුදාවේ විනය රකින්න ඇපකැප වෙනවා.
කාලය මෙලෙස ගත වී යනවා. 1996 දෙසැම්බර් 24 වන දින ඇය නිවාඩු ලබා කොළඹට එන්නේ පියා හා පවුලේ අය සමඟින් ශ්රී පාදස්ථානයට යන්න හිතාගෙන. එහෙත් ටික දවසකින් ඇයට යුද හමුදාවෙන් හදිසි සේවා කැදවීමක් ලැබෙනවා. ඒ හමුදාවේ හැටිනේ. මේවා දැනගෙන තමා ඇය හමුදාවට ගියේ. තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතයම ලියලා දුන්නු ඇය ආයේ ගෙදර ආවේ දෑස් පියාගෙන විශිෂ්ට වීරවරියක් ලෙසින්.
එදා ක්රියාන්විත අවශ්යතාවයකට තවත් සෙබලියන් දෙදෙනෙකු ද කැටුව ටැක්ටරයක ගමන් කරමින් සිටිය දී යාපනයේ තිරුනල්වේලි ප්රදේශයේදී කුරිරු එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්රහාරයකට ලක්ව ඇය සිය ජීවිතයෙන් සමු ගන්නවා. ඉරේෂා නිල්මිණි එදා මිය ගියත් අභිමානවත් නොමියන වීර නිලධාරිනියක ලෙසින් ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සෙ/58860 තාමත් ජීවත් වෙනවා.
නුගේගොඩ ශාන්ත ජෝශප් කන්යාරාමයෙන් සිප් සතර හදාරා, ඉරිදා දහම් පාසල් ගුරුවරියක් හා රූප සුන්දරියකු වූ ඇය, නිවට පන්සල් බෞද්ධයන්ට වඩා තම රටට ආදරය කරනා පල්ලියෙන් බිහිවූ අගරදගුරු ඇල්බට් මැල්කම් රංජිත් පරපුරේ ශ්රේෂ්ඨතම වීර කාන්තාවක්. හසලක වීරයා තරමටම කොළඹ ඉරේෂාත් අපට අද කාලේ හමුවන වීරවරියක්.
සසංක වීරරත්න
උපුටා ගැනීම: ගෙම්බා-Gemba