ඒලෙවල් ඉවර උන දවසෙ ඉදන් මගේ ප්‍රධාන රාජකාරිය වුනෙ රට වටේම ඉන්න උන්ට කෝල් කර කර රස්සාවක් හොයපු එක.
මගේ යාලුවන්ට ,මනෝජ්ගෙ යාලුවන්ට,අපේ තාත්තගෙයි අම්මගෙයි යාලුවන්ට,එහා ගෙදර ඇන්ටිගෙ යාලුවන්ට,අල්ලපු ගමේ රෙදි නැන්දගෙ යාලුවන්ට යනාදී වශයෙන් එකී මෙකී නොකී මුලු සෙවන් පර්ල් ජෙනරේශන් එකේ හැම එකාටම කියලා, උන් හොයලා දීපු විවිධාකාර රස්සාවල් තුනහතරකටම ගිහින් ගිහින් ඇති වෙලා මම රස්සා හොයන එක නවත්තලා අන්තිමට ගෙදර නැවතුනා.
කිරිබත් උයලා, පොල්තෙල් පහන් පත්තු කරලා,නැකැත් බලලා,මල් වෙඩි දාලා,දකුනු කකුල පෙරට තබා උඩ දාගෙන ඒවට ගියාට මම ඕන්නම් සතියක්,සති දෙකක් ජොබ් එක කරන්න ඇති.මට බෑ කියලා ඉල්ලා අස්වෙනවා.
අස්වෙන්න හේතුව තමයි ඒ ගියපු හැම ජොබ් එකකම මාස්පතා අපිට සැලරියක් දීලා තව වැඩ කරන්න කියලත් කියනව.ඒක උගෙ අම්මගෙ නීතියක්නෙ.ඇයි යකෝ එහෙම කරන්න පුලුවන්ද.සැලරි නම් සැලරි..සැලරි දීලා තව වැඩකරන්නත් කියලා කිව්වම ඕන එකෙක්ට කේන්ති යනවනෙ.ඉතින් මම ඒවගෙන් ඉල්ලා අස් වුනා.
ඔහොම රස්සාවල් වලින් අයින් වෙලා මනෝජ්ගෙ මුදල් කලමනාකාර තනතුරට අනියුක්තවෙලා ගෙදරට වෙලා ඉද්දි තමයි මම දැන් කරන ජොබ් එක මට සෙට් වුනේ.
ඒකත් සතිඅන්ත පුවත්පතකින්.ඇඩ් එකේ තිබ්බ නම්බර් එකට කෝල් කලාම ඉන්ටවීව් එන්න කිව්වා.රාහු කාලෙ පන්නලා, උලුවස්ස උඩට වෙලා මම එලියට බහිනකොට බෙරිහන් දෙන්න බලන් හිටපු හූනවත් ,සිගරට් එකක් ගෙනත් දෙන්නම් කෑනුගහ හිටපන් කියල ශේප් කරගෙන, මරු සිටින දිශාව බලා එලියට බැහැලා ,ගියා නමෝවිත්තියෙන් ඉන්ටවීව් එකට.එතන ඉන්නවා ඉන්ටවීව් එකට ඇවිත් එක එක මොඩල් එකේ උන් විස්සක් විතර.කෝම හරි මම ගියාම මගෙ සර්ටිෆිකේට් බලලා කිව්වා පස්සෙ කෝල් කරන්නම් කියලා.
පස්සක් මොකක්ද දැන්මම කිව්වා නම් ඉවරනෙ.මොකද එහෙම කිව්වා කියලා තොපේ පරම්පරාගත බූදලේ මගෙ නමට හැරවෙනවද කියලා හිතුවා විතරයි කියන්න ගියේ නෑ.ජපනෙක් වගේ දෙකට නැවිලා ආචාර කරලා මම ආවා එන්න.එතනින් එලියට ඇවිත් මීටර් සීයක් යන්න වුන් නෑ මෙන්න එනවා අන්නෝන් නම්බර් එකකින් කෝල් එකක්.හදුනා ගත්තොත් ඔබාමා කියලා හරිම විනීත හඩක් ටියුන් කරලා “හෙලෝව් ” කිව්ව.
හෙනගහපං මල්ලිකා කියලා මෙන්න යකෝ එහා පැත්තෙන් කතා කරන එකා කියනවා
“අපි මේ ඔයා ඉන්ටවීව් ආපු ඔෆිස් එකෙන් කතා කරන්නෙ..වී සෙලෙක්ටඩ් යූ ෆෝර අ ජොබ්.කැන් යූ කම් ටු වර්ක් ෆ්‍රොම් ටුමෝරෝ”කියලා.
ඇයි යකෝ ඕක මුන්ට මම එතනින් එන්න කලින්ම කියන්න තිබ්බනෙ.එහෙම බැරි උනා නම් ,මම තාම උන්ගෙ ඔෆිස් එක පේන මානෙ ඉන්නෙ,ඔය ජනේලයක් ඇරලා පොඩ්ඩක් ඔලුව එලියට දාලා
” නිර්මානි …හෙට ඉදන් වැඩට වරෙන් කෙල්ලේ”
කියලා කෑගහන්න තිබ්බනෙ.මුන්ට කහන සල්ලිද දන් නෑ තියෙන්නෙ මෙහෙම බොරුවට ෆෝන්වල සල්ලි කපන් කෝල් කරන්නෙ, කියලා හදවත හිතනකොටම,මොලේ කියන අසමජ්ජාතියා කියනවා උගේ චර්ම රෝග ගැන තොට වැඩක් නෑනෙ,හෙට වැඩට එන්නම් කියලා කියපිය යකෝ කියලා.එතකොට තමයි මතක් වුනේ ඩිරෙක්ටයා තාම ලයින් එකේ කියලා…
“ඕකේ සර් තැන්ක් යූ.අයි විල් කම් ටුමෝරෝ” කියලා බබා වගේ ෆෝන් එක කට් කලා.
දැන් මට හෙනම සතුටුයි .ඇයි යකෝ හෙට ඉදන්ම වැඩට එන්න කිව්වනෙ.අනික මම හොයපු ජාතියෙම ජොබ් එකක්.කන්නයි බොන්නයි පඩි ගන්නයි විතරක් ඔෆිස් යන්න හීන මැව්ව මට දෙයියෝ ඒ ජාතියෙම ජොබ් එකක් දීලා.වෙච්ව් බාරේ දෙවෙනි පඩියෙන් ඔප්පු කරන්නම් දෙයියෝ පලවෙනි පඩියෙන් ගෙදර ඉන්න කුම්භාණ්ඩයට පරණ ණයක් ගෙවන්න තියෙනවා කියලා හිතෙන්ම දෙවියන්ට කන්නලව්වකුත් කරලා.බස් එකක් එනකම් හෝල්ට් එකේ ඉන්න ගමන් ගත්තා මනෝජ්ට කෝල් එකක්.
ගස් ගොබිලා ෆෝන් එක ආන්සවර් කරන් නෑ.මොන වෙඩිමක්ද යකෝ කියලා, මට ජොබ් එක ලැබුන ප්‍රීතිය හා ඒ බැදුනු සියලු සිද්දි ඇතුලත් කරලා යැව්වා මැසේජ් එකක්
“මොකද මිනිහෝ ෆෝන් එක ආන්සවර් කරන් නැත්තෙ.කුම්බකරණයා වගේ දපලා ඇත්තෙ අනිවාරෙන් .දැපුවට කමක් නෑ මම එන්න කලින් අර ඊයෙ ශර්ට් එකක් හොයන්න කියලා ඇදලා දාපු අල්මාරිය අස් කරනවා හොදේ.ආහ් ඔයා කිව්වට හරියන් නෑ හරියන් නෑ කියලා මට ජොබ් එක සෙට් උනා මෝටාරයෝ.මරු ජොබ් එක ඕයි කකා බීබී පඩි අරන් ෂැපේ ඉන්න තියෙන්නෙ නිකං දෝන කතිරිනා වගේ.ඊටත් වඩා පට්ට හලෝ බොසා.අම්මටසිරි පැන බේරෙන සදමාලි වගේ තමයි ඉතින් මාර ලස්සනයි හැන්ඩි පොරක්. කෝමහරි සෙට් කරගන්න ඕනි.දැන් ඌ ලස්සනයි කියලා මට ජොබ් එකට එහෙම යන්නෙපා කියන්න ලෑස්ති වෙන්නෙපා මම හෙට ඉදන් එනවා කියලා ඇග්‍රීමන්ට් සයින් කරලා ආවෙ.ආහ් මේ බොසා කොල්ටි පොරක් හින්දා මැරීඩ් ද කියලා ඇහුවම මම නෑ කියලා කිව්වෙ.ඒකට සමාවෙන්න..”මේක බලලා රිප්ලයි එකක් දාපිය”
කියලා නිකං දිගට දිගේ පත්තිනි හෑල්ලට දෙවෙනි නැති වෙන්න යැව්වා මැසේජ් එක.
මැසේජ් එක ගිහින් විනාඩියක් වගේ යද්දි මෙන්න එනවා කෝල් එකක්,
ඉර මාමාගෙ ලයිට් එලිය ෆෝන් එකට වැටිලා ෆෝන් එක දිලිසෙනවා නිකං පොලේ යන්න පාර්ටි ෆ්‍රොක් එකක් ඇන්ද රොසලින්ගෙ පොඩි දුව වගේ.මෙලෝ හත්තිලව්වක් පැහැදිලි නෑ.මේ වෙලාවෙ වෙන මොකා ගන්නද මැසෙජ් එකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න දුශ්ට සැමියා මිසක් කියලා, හිතලා තියාගත්තා ෆෝන් එක කනේ…
“හෙලෝ …මෝටරේ මොකද කලින් ෆොන් එක ආන්සවර් කලේ නැත්තෙ”
” එක්ස්කියුස්මී නිර්මානි.ඔයාගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා මට.මම මේ කතා කරන්නේ අහවල් කම්පැනියේ එම් ඩී.මම හිතන්නෙ ඔයාට වැරදිලා මට මැසේජ් එක එවලා තියෙන්නෙ.හැබැයි ඔයා ඒකෙ කියලා තියන දේවල් ටික නම් ඇත්ත.මම මේ කෝල් එක ගත්තෙ ඒකට තෑන්ස් කියන්න.ආහ් තව දෙයක් දෝන කතිරිනාගෙ පර්සනල් ෆයිල් එක මැරීඩ් කියලා මම වෙනස් කරනවා.බොරු කිව්වට සැලරියෙනුත් ගානක් කපන්න වෙයි වගේ… එහෙනම් හෙට වැඩට එන්න.ටේක් කෙයා” කියලා බුදු සෑර් ෆෝන් එක තිබ්බා..
මාත් නිකං ස්වර තන්තු කැඩිච්ච මයිනෙක් වගේ
“අනේ සොරි සර් ටේක් කෙයා” කියලා මාව කන්න ආපු රෙද්දෙ ෆෝන් එක විසික් කලා බෑග් එක ඇතුලට..
මනෝජ්ට යවන්න ටයිප් කරපු මැසේජ් එක පොට්ටයෙක් වගේ සෙන්ට් කරලා තියෙන්නෙ අලුත් බොසාට.උනායින් වුනේ නෑ එහෙම රාජකීය චාටර් වීමක්.ජොබ් එකේ වැඩ භාරගන්නත් කලින්ම මම උන්ට විහිලුවක් වෙච්ච එකයි හිතට අමාරු.මොනා කරන්නද යන යන තැන ඇදගෙන නාගන්න එක උපතින්ම පිහිටපු කුරිරු හැකියාවනෙ.හිත හදාගත්තා.
පහුවදා මුකූත් වුනේ නැති ගානට වැඩට ගියා නිකං ඇහැලේපොල කුමාරිහාමි වගේ.ආය ඉතින් අපි ලැජ්ජ වෙලා තියෙන ඒවගෙ හැටියට මේ මොන දෙකයි පනහෙ සීන්ද කියලා හිතත් හදා ගත්තා.ඔක්කොමත් හරි බොසා ඔෆිස් එකට ගිය පලවෙනි දවසෙම මගෙ යාන්තමට එල්ලි එල්ලි තිබ්බා ලැජ්ජා නහරෙ කිසිම හිතක් පපුවක් නැති ගානට ඇදලා විසික් කරලා මුලු ස්ටාෆ් එකක් ඉස්සරහ මැසේජ් ජාතකය දිග ඇරලා හරිම තුච්ච ලෙස මට දෝන කතිරිනා කියලා ෆුල්ටයිම් පෙට් නේම් එකකුත් රෙජිස්ටර් කලා…
ඔන්න ඔහොමයි අපි ජොබ් කරන්නෙ අසාමාන්‍ය ලෙස චාටර් වෙවී .මොනා උනත් බොසා ලස්සනයිනෙ.ඒ හින්දා මේ ජොබ් එකෙන් නම් මම අයින් වෙන් නෑ කියලා දැන් පාරෙ ඉන්න බල්ලොත් දන්නවා…
නිමා.
උපුටා ගැනීම : Nirmani Sandhareka