මහාචාර්ය සංඛනාත් වේරගම මාලඹේ දුවගෙ ගෙදරට ආවෙ ගිය සතියෙ .කෙටි නිවාඩුවකට.එංගලන්තයේ විශ්ව විද්යාලෙක සේවය කල ඔහුට දුව විතරයි හිටියෙ .බිරිඳ මිය ගිහින් තුන් මාසෙ දානයෙන් පස්සෙ ලංකාවට ආ පළමු වතාව.
ඔහුගේ සමකාලීනයෙක් වූ මහාචාර්ය හේමක සේනානායකගෙ දේශනයක් අද ගෝල්ෆේස් හෝටලේදි සවස හයට. ඔහුටත් ආරාධනයක් ඇවිත් තිබුණ, ලංකාවට එන්නටත් ඉස්සර වෙලා. සිංහල සාහිත්යයේ හෙට දවස ගැනයි දේශනය.
සංඛනාත් දවල් කෑම ගත්තට පස්සෙ ඔහු කල්පනා කලේ ගමන ගැනයි. ඒ දවස් වල කැම්පස් එකේ හිටපු ගොඩක් යාලුවෝ හම්බවෙන්නත් පුලුවන් මෙතනට ගියොත් . හේමකත් කියල තිබුණ ඒ අයට දැනුම් දෙන්නය කියල සංවිධායක මණ්ඩලයට කීව කියල. අද උදේ ඉදල දිගටම වැස්ස එලියට බහින එකත් ලේසි නෑ .ඒත් කොහොම හරි යන්න ඕන. ඔහුට පරණ යාළුවන්ගෙ මූණු එකිනෙක මතක වුණා. ඒ දවස්වල පොඩි ලෙන්ගතුකමක් තිබුණ මංගලාත් එනවලු. හේමක මේ ගැන දන්නව. එයා මේ ගැන මතක් කළා,’මංගලාත් එනවා,’ ඔහුගේ සිනාව සංඛනාත්ට ටෙලිපෝනයෙන් ඇහුණා. ඔහුට බිරිඳත් ඒ වෙලාවේ මතක් වුණා. උපන් ගෙයිම මිය ගිය ඒ ආදරය නිසා සංඛනාත් කාලයක් සිතින් දුක් වුණා. සංඛනාත් සාලයට ගිහින් සෙටියේ වාඩි වුණා. පහට ගියා නම් මෙහෙන් ඇති. පැයකින් කොළඹට ගිය හැකි නෙ. වේලාසනින් ගියා කියල තේරුමක් නැහැනෙ. කවුරුත් එන්නේ වෙලාවටනෙ. දැන් දෙකයි. හතර හමාරට ලේස්ති වුණා නම් ඇති. බිරිඳ නැති අඩුව ඔහුට ආයෙත් මතක් වුණා. රංග පුතා වැඩට ගියාට පස්සේ දුවත් ඉන්නෙ තනිවම. පොඩි නිදිමතකුත් එනව.
‘තාත්තාට නිදිමත නම් තේ එකක් ගේන්නද‘
දුව ඇහුව.
‘එපා දුව හරිම කම්මැලියි ආපු දා ඉදල නිකම්මනේ ඉන්නෙ’
‘ රංග වේලාසනින් ආවොත් තාත්තට එයත් එක්ක යන්න තිබුණ.’
‘මහන්සි වෙලා ගෙදර එන්නෙ පුතාට කරදර කරන්න ඕනි නැහැ මං uber එකක් අරන් යන්නං ’
කොහොමත් සංඛනාත් මේ ගමන තනියම යන්න කැමතියි .යාලුවොත් එනවනෙ. ආයෙත් සංඛනාත්ට මංගලා මතක් වුණා. දුව ගෙට ගියා සංඛනාත්ට ආයෙත් පොඩි නිදිමතක් එනව.
හරියටම හතර හමාරට සංඛනාත් ලේස්ති වෙන්න පටන් ගත්ත ‘ම් …..ම් …මොකක්ද අඳින්නෙ’ …මංගලාත් එනවනෙ ඔහු රට ඉදල ගෙනාපු අලුත්ම සූට් එකක් ඇඳ ගත්ත.
‘තාත්තා ඉක්මන් කරන්න මම හිතුවේ තාත්තා ලැස්ති වෙලා ඇති කියල’ දුව තේ එකක් ගේන ගමන් කීව.
‘තව පැයකට වැඩිය තියෙනවනෙ’
‘ඒත් තාත්තා මේ වෙලාවට හරි ට්රැපික් වැස්සත් ඒ වගේමනෙ ‘
සංඛනාත් uber එකකට කථා කළා.
‘හයට ගෝල්ෆේස් හොටෙල් එක ළඟ ඉන්න ඕන දැන්මම එන්න පුලුවන්ද ‘
‘දැන් ගිහිල්ල කොහොමද සර් හයට ගෝල්ෆේස් එක ළඟට යන්නෙ මේ වෙලාවට හරි ට්රැෆික් කොළඹට යන්න පැය එක හමාරට වැඩිය යනව වැස්සත් එක්ක ඊටත් වැඩිය වෙලා යයි’
‘මොකද කරන්නෙ මට මේ ගමන යන්නම ඕන’
‘සමාවෙන්න සර් මේ වෙලාවට ගියොත් බොරැල්ලට යන්න පුළුවන් ‘
දැන් මොකද කරන්නෙ සංඛනාත් ට ලොකු දුකක් ඇති වුණා. ලංකාවට ආපු දවසෙ ඉදල බලාපොරොත්තුව සිටි ගමනක්.
‘බලන්නකො දුව uber එකකට කථා කළා එයා කියනව මේ වෙලාවට ගියොත් හවස හයට බොරැල්ලට යන්න පුළුවන් කියල ‘
‘ඉතින් මොකද කරන්නේ ඔය විදිහට රංග ආවත් යන්න යන්න බැහැනෙ මේ වැස්ස තමයි ප්රශ්නෙ නැත්නම් වෙනදා නම් පැයකට යන්න පුළුවන් ..ආ…තාත්තෙ මාලඹේ ස්ටේෂන් එකට කථා කරන්නකො ට්රේන් එකක් තියෙනවද බලන්න ‘
‘මාලඹේ ට රේල්වේ ලයින් එකක් තියෙනවද මං දැන ගෙන හිටියේ නැහැනෙ අලුතින්ද දැම්මෙ ‘
ඔව් තාත්ත ඉන්න මම නම්බර් එක හොයල දෙන්න ‘
දුව මාලඹේ ස්ටේෂන් එකේ නම්බර් එක ගෙනත් දුන්න.සංඛනාත් කෝල් එකක් ගත්ත මාලඹේ ස්ටේෂන් එකට.
‘ආයුබෝවන් මාලඹේ දුම්රිය ස්ථානය ‘
‘කොටුවට යන්න ඊ ළඟ ට්රේන් එක කීයටද තියෙන්නෙ’
‘ඊ ළඟට තියෙන්නෙ පහ හමාරට ‘
‘ඊට ඉස්සර වෙලා නැත්ද’
‘හතරයි හතලිස් පහ ගියා දැන් තියෙන්නේ පහ හමාර’
‘ඒක කොටුවට යන්න විනාඩි කියක් යනවද ?’
‘විනාඩි පහළොවයි ‘
සංඛනාත් පුදුම වුණා ‘
‘විනාඩි පහළොවෙන් යන්න පුලුවන්ද ‘
‘ඔව් ‘
දුරකථනය විසන්ධි වුණා.
‘දුව ,පහ හමාරට ට්රේන් එකක් තියෙනවලු ඒක විනාඩි පහළොවට කොළඹ යනවලු මේක ඇත්තක්ද මට නම් හරිම පුදුමයි ‘
‘ඔව් තාත්තා එක ඇත්ත මමත් දවස් කීපයක් ගියා විනාඩි පහළොවක් විතර තමයි ගියෙ’
‘එහෙනම් මං යන්නම් දුව, ලොකු දෙයක් දැන ගත්ත මං මෙහෙ හිටපු නැති අවුරුදු දෙකට ලංකාව මේ තරම් දියුණුද කියල ‘
‘තාත්තා UBER එකකට කතා කළා නම් ස්ටේෂන් එකට මෙතන ඉදල කිලෝ මීටරයක් විතර තියෙනව ‘
සංඛනාත් UBER එකකට කතා කළා තාමත් වැස්ස .ඒ වගේම ට්රැෆික්
‘හැමදාමත් මේ වගේම ට්රැෆික් ද ?’ සංඛනාත් රියදුරුගෙන් ඇහුව.
‘ඔව් සර් ඒත් අද ගොඩක් වැඩියි වැස්සනෙ’
‘මං අද තමයි දන්නෙ මාලඹේ ස්ටේෂන් එකක් තියෙන බවක් ‘
‘සර් මෙහෙ නොවෙයිද? ‘
‘නෑ මං රට ඉදල ගිය සතියෙ ලංකාවට ආවෙ ඒ ටිකට මෙහෙ ගොඩක් වෙනස් වෙලා’
‘ඔව් සර් මේ ස්ටේෂන් එක හදල අවුරුද්දක් විතර වෙනව ඉස්සර තිබුණෙ මාලඹෙට විතරයි දැන් අවිස්සාවේල්ලෙ හයි වේ එක ළඟින් පටන් ගන්නෙ’
වාහනය හොටෙල් එකක් ඉස්සරහ නැවැත්තුව .
‘සර් බහින්න මේ ස්ටේෂන් එක’
‘ස්ටේෂන් එක’ සංඛනාත් වට පිට බැලුව. වාහනෙන් බැස්ස. සංඛනාත් හොටෙල් එකක් කියා සිතු ගොඩනැගිල්ල ඉදිරිපස රිදී පාට පුවරුවක්. ලොකු අකුරින් ‘මාලඹේ දුම්රිය ස්ථානය’ සිංහල, දෙමළ, ඉංග්රීසි යන භාෂා තුනෙන්ම. සංඛනාත්ට හරිම පුදුමයි. ඇත්තටම මේ ලංකාවද?
‘සර් වාහනේට පේ කළේ නැහැ ’
රියදුරු වාහනෙන් හිස එලියට දමා ඇසුවා
‘සොරි මට අමතක වුණා’
සංඛනාත් ඉක්මනින් මුදල් ගෙව්ව.මේ ටික එන්නත් විනාඩි 15 ක් ගිහින්.මේ විදියට ගියා නම් කොළඹට යන්න පැය දෙකක් වත් යයි සංඛනාත්ට හිතුණ.
දුම්රිය ස්ථානය ඉස්සරහ ලස්සනට මල් සිටවල ඒ මැද නිල් මානෙල් වලින් පිරුණු අලංකාර පොකුණක්. ෆොක්ස් ටේල් ගස් දෙපසට සිටවූ මාවත ඔස්සේ දුම්රිය ස්ථානය වෙතට යන්න තිබුණෙ කොළ පාට රූෆින් සීට් දාපු වහලක්…. ඒ නිසා වැස්ස තිබුණට ගැටළුවක් නැහැ . කිසිම වෙනසක් නැහැ එයාෆෝට් එකක් වගේ.මේ පැත්තෙන් බලද්දි ස්ටේෂන් එකක් කියල හිතන්නවත් බැහැ. ප්රවේශ පත්ර සඳහා කියා ඊ තලයකින් සටහන් කරලා තිබුණ. ප්රවේශ පත්ර නිකුත් කිරීමේ කාර්යාලයක් පෙන්න තිබුණ මුත් සංඛනාත්ගෙ ඇහැ ගියේ ප්රවේශ පත්ර නිකුත් කරන මැෂින් එකට. එක් වරම සංඛනාත්ට මතක් වුණා වරක් ජපානේ ගිය වෙලාවෙ දැක්ක මේ වගේම ප්රවේශ පත්ර මැෂින් එකක්. ඔහු ප්රවේශ පත්ර කවුළුව ළඟට නොගොහින් මැෂින් එක ළඟට ගියා .කොළඹ කොටුව ගාස්තුව ලෙස සටහන් වුණේ රුපියල් දෙසීයක්. වැඩි නැද්ද කියන හැඟීමක් එක පාරට ඔහුගේ සිතට ආවත් මේ වාගේ තැනක ඊට අඩු වෙන්නේ කොහොමද කියල ආයෙත් ඒ සිතුවිල්ල යටපත් වුණා. ඔහු ප්රවේශ පත්රය ලබා ගත්තා. වෙනදා ලංකාවේදී ට්රේන් එකකට ටිකට් එකක් ගන්න ගියාම තියෙන පෝලිමත් එතකොටම මතක් වුණා. මේ හවස හින්ද වෙන්නැති. ඔහු ඇතුළු වීමේ දොරටුව ළඟට යනකොටම ආයෙත් මතක් වුණේ ජපන් සංචාරය. ඒ අත්දැකීම මෙහිදී ඔහුට ප්රයෝජනවත් වුණා. සංඛනාත් ඒ පුරුද්දට දොරටු කණුව ප්රවේශ පත්රයෙන් ටච් කළා. ඒ අනුව ඔහුට ඇතුළු වීමේ දොර විවෘත වුණා. එතන සුරූපී යුවතියෝ දෙදෙනෙක්.
‘ආයුබෝවන්’
ඇතුළට එන අය ඔවුන් සාදරයෙන් පිලි ගන්නවා.
‘ESCALATER එකෙන් උඩට යන්න සර්’
මගේ ආධුනික බව ඇයට අවබෝධ වෙලා වගේ
‘බොහොම ස්තුතියි’
එතකොට රේල් පාර තියෙන්නෙ උඩ.ඔහු ESCALATER එකෙන් උඩට ගියා.හරිම ලස්සනක් තිබුණෙ. මීටර් 300ක් විතර දිග විශාල ස්ටේෂන් එකක්. එතකොට කුළුණු උඩින් රේල් පාර යන්නෙ. දෙපසම සාප්පු සංකීර්ණ. සුපර් මාර්කට් ,බැංකු සුඛෝපභෝගී ,අවන්හල් සියල්ලම තියෙනවා. සංඛනාත්ට හිතා ගන්නත් බැහැ.ඇත්තටම මේ ලංකාවද ජපානයද කියල. ඒත් එක්කම තරුණයෙක් ඔහු හා සුහදශීලි ලෙස සිනහ වුණා. දැක පුරුදු මුහුණක් වගේ. සංඛනාත් පිළිතුරු සිනාවක් පෑවා.
‘සර්ට මං අඳුනන්න පුලුවන්ද?’
,දැක පුරුදු මුණක් තමයි එත් මට හරියටම් මතකයක් නැහැ ‘
‘සර්ගෙන් මං ඉකෝන් ඉගෙන ගත්ත කැම්පස් එකේදී ,
‘එහෙමද දැන් ගොඩාක් කාලෙකට ඉස්සරනෙ මං මෙහෙ කැම්පස් එකේ හිටියෙ 2010 දී. මොකක්ද පුතා ඔයාගේ නම ‘
‘මම දිනේෂ් ඒ උනාට මට තාම මතකයි සර්ව සර් අස් වෙලා ගියාට පස්සේ ආව ලෙක්චර් සර් වාගේ අපිට හොඳ වුණේ නැහැ ‘
‘එක නෙවෙයි පුතා මං මෙහෙ හිටියේ නැති කාලේ ලංකාවෙ පුදුම වෙනසක් නේ වෙලා තියෙන්නෙ මට හිතා ගන්නත් බැහැ මේ රේල් පාර’
‘ඔව් සර් මේ ජපන් ආධාර වලින් හදපු රේල් පාර ‘
‘ඒ වුණාට මේ වගේ අනෙක් තැන් වල දියුණුවක් නැහැනෙ’
‘ඒක ඇත්ත මිට සමගාමිව අනෙක් ඒ වගේ දියුණුව මදි’
සංඛනාත් ටත් ඕන වුනේ මේ සැබෑ වෙනස ගැන කාත් එක්ක හරි කතා කරන්න. ඒත් දුම්රිය එන බව නිවේදනය වුණා.
‘කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය තව ස්වල්ප වෙලාවකින් පළමුවන වේදිකාවට ළඟාවනු ඇත. එම දුම්රිය නවත්වනු ලබන්නේ බත්තරමුල්ල බොරැල්ල මරදාන සහ කොළඹ කොටුව’
‘සර් ට්රේන් එක එනව සර් මොන කාර් එකේද මම නම් මම නම් E ‘
සංඛනාත් ටිකට් එක අතට ගත්තා.
‘මාත් E car අපිට කතා කර කර යන්න පුළුවන්’
‘සර් යමු අතනට E car එක නවතින්නෙ එතැන ‘’
‘ඒ කියන්නෙ හරියටම එතනම නවත්වනවද මේ ලංකාවේ ට්රේනුත්’
‘ඔව් නියමිත තැන නියමිත වෙලාවට’
‘මේ ට්රේන් ප්රමාද වෙන්නෙම නැද්ද’
‘ ‘නෑ මං ආව කිසිම දවසක ට්රේන් එකක් ප්රමාද වෙලා නැහැ’
‘හරිම පුදුමයි’
හරියටම පහ හමාරට දුම්රිය ආවා. E car එකේ දොර ඔවුන් ඉදිරියේ. මේ ජපන් super express train එකක්. මෙවැනි ෂින්කාන්ශෙන් දුම්රිය දකින්න හම්බ වෙන්නෙ ජපානයේ තමයි. ගුවන් යානාවක් මෙන් වූ මේ දුම්රිය ජපානයේ දුර ගමන් වලට යොදවා තිබුණු අයුරු සංඛනාත්ට මතක් වුණා. දුම්රියේ දොර ඇරුණා. ඔහු දුම්රියට ඇතුළු වුණා. දුම්රිය පෙට්ටියක් නෙවෙයි මේක තරු පහේ හෝටලයක් වගේ. සංඛනාත් නියමිත අසුනේ වාඩි වුණා. යාබද අසුන හිස්.
‘සර් මම මෙතන’
පිටිපස අසුනෙන් ඇසුණා.
‘මේ සීට් එක වේකන්ට් දැනට මෙහෙට එන්න ‘
සංඛනාත් ඔහුට ආරාධනය කළා .ඔහුත් යාබද අසුනේ වාඩි වුණා. සංඛනාත් අවට සිසාරා බැලුවා කිසි සද්ද බද්දයක් නැහැ. සමහර අය ඉයර් පෝන් එක කණේ ගහගෙන ධ්යානයකට සම වැදිලා වගේ. සමහරු පරිගණකයේ. මේ ටික දුරටත්.සිහින් මියුරු සංගීත දුම්රිය පුරා ගලා එනව .ඒ අතර පුස්තකාලයකුත් තියෙනව .පත්තර පොත් පත් .යන අයට කියවන්නත් පුළුවන්.
‘මෙහෙ වෙනද ට්රේන්වල වාගේ නැහැ මේක හරිම නිහඩයි ‘
සංඛනාත් කීවා.
‘ඔව් සර් ට්රේන් වල කොලිටියටම මිනිස්සුත් දැන් වෙනස් වෙලා’
දුම්රිය පිටත් වුණා.
‘ඒත් මම කල්පනා කලේ මේ ටික දුරටත් මිනිස්සු තමන්ගේ පාඩුවේ යන එක හරිම පුදුමයි. අවිස්සවේල්ලේ ඉදල එන්න කොච්චර වෙලා ගන්නවද ‘
‘විනාඩි තිස් පහක් විතර නවත්වන තැන් ගොඩක් තියෙනවනෙ නැත්නම් කොටුවට අවිස්සාවේල්ලේ ඉදල පැය භාගයකින් යයි’
‘මේ පොත් පත් යන අයට ගෙනියන්නත් පුලුවන්ද?’
‘නෑ යන එන අය කියවල තියල යනව’
‘මට මතකයි කොරියන් මෙට්රෝ ට්රේන් වලත් මෙහෙම ලයිබ්රරි තියෙනව’
‘මී ළඟ නැවතුම බත්තරමුල්ල ‘
භාෂා තුනෙන්ම නිවේදනය වුණා. කුළුණු මත මගින් ගමන් කරන නිසා දෙපස ගහ කොළ දෙමහල් සිව් මහල් සත් මහල් ප්රාසාද පෙනී නොපෙනී යනවා. ඒ අතරින් දුම්රිය ඉගිලෙනවා කිසිම දෙයක් හරි හැටි දර්ශනය වෙන්නේ නැහැ, සියල්ල එකට පහු වෙනවා. දුම්රිය නැවතුණා.
‘මෙන්න බත්තරමුල්ල ‘
හරිම පුදුමයි, විනාඩි තුනයි
‘ඔව් සර් බත්තරමුල්ලට විනාඩි තුනක් යන්නෙ‘
කවුරුත් වැඩි කලබලයක් නැහැ දෙන්නෙක් බැස්ස එක අයෙක් නැග්ග. දුම්රිය පිටත් වුණා. වෙඩිල්ල වගේ පිටත් වුණ වෙලාවේ සිට ඉදිරියට ඇදෙනවා. ඒත් එක්කම මෙන්න ට්රොලියක් තල්ලු කරගෙන සුන්දර යුවතියක්. ට්රොලියේ කෑම බීම. කට්ලට් රෝල්ස් හැලප තේ කෝපි, වෙනත් බිම වර්ග ඇය සුහද සිනාවකින් සංග්රහ කරමින් ඉදිරියට යනවා.
‘සර් තේ එකක් බොනවද?’
‘එපා පුතා ගෙදරින් බීල ආවෙ. ඒක නෙවෙයි පුතා මේ ටිකට මේවත් සප්ලයි කරනවද?’
‘ඔව් සර් ජපන් විදියට තමයි ඒවත් බලන්නකෝ සර් ඒ ගෑනු ළමයි එයාර් ලංකා එකේ ළමයි වාගෙ වෙනස එයාර් ලංකා එකේ කෑම බීමට සල්ලි ගන්නේ නැහැ ට්රේන් එකේ සල්ලි ගන්නවා එච්චරයි’
ඔහු කරුණු පැහැදිලි කළා..
‘ඒක නෙවෙයි දිනේෂ් මේ රේල්වේ ලයින් එක පටන් ගත්තෙ කවද්ද?’
‘2020 ජනවාරි වල .ජපන් ආධාර ඒ ගොල්ලෝ හැදුවේ මාලඹේට විතරයි.ජයිකා ප්රොජෙක්ට් එකෙන්. අපේ අය ඉතිරි කොටස අවිස්සාවේල්ලට අවුරුද්දකින් හැදුව ඒ ගොල්ලොත් ජපන්නු වගේ තමයි ඒ විදියටම හැදුව ’
‘මී ළඟ නැවතුම බොරැල්ල ‘
යළිත් භාෂා තුනෙන්ම නිවේදනය වුණා. සංඛනාත් පිටත පිරික්සුව. එහෙත් ගොඩනැගිලි ගස් කොළන් පහු කර යනවා පැහැදිලි දර්ශනයක් නැහැ. ඒත් එක්කම දුම්රිය බොරැල්ලේ නැවතුණා. සංඛනාත් අත් ඔරලෝසුව බැලුව. වෙලාව පහයි තිස් නවයයි.ඔහු පිටත බැලුව
‘මේ බොරැල්ල නෙවෙයි වගේනෙ ‘
සංඛනාත්ට එක පාරටම කියවුනා.
‘ඔව් සර් මේ කොට රෝඩ්,බොරැල්ල ස්ටේෂන් එක තියෙන්නේ කොටාරෝඩ් වල,පහල බලන්න එක පැත්තකින් බහින්න තියෙන්නෙ දේවි බාළිකා පැත්තට අනෙක් පැත්තෙන් බහින්න තියෙන්නෙ කාසල් හොස්පිටල් පැත්තට,K V ලයින් ට්රේන් එක යන්නෙ යටින් ‘
යළි දුම්රිය පිටත් වුනා. ඒත් එක්කම සංඛනාත්ට මතක් වුණා ගාඩ්ගේ විස්ල් එක ඇහුණේ නෑ නේද කියල.
‘දිනේෂ් මට ඇහුණේ නෑ ගාඩ් විස්ල් කරනව. ඒසී එක හින්ද ඇහෙන්නෙ නැද්ද?’
‘නෑ සර් මේ ට්රේන්වල ගාඩ් ල නැහැ. ඩ්රයිවර් ඉන්නෙත් නාමිකව.හදිසි ප්රශ්නයක් වුණොත් විතරයි. ඔක්කොම කරන්නේ කන්ට්රෝල් රූම් එකෙන් ඒක නිසා ස්ට්රයික් එහෙමත් නැහැ ‘
දිනේෂ් සිනාසෙමින් කීව.
කොටුවෙන් බහින්න ඉස්සර වෙලා වොෂ් රූම් ගියා නම් හොඳයි කියල සංඛනාත්ට හිතුණ. ඔහු වොෂ් රූම් එකට ගියා. වොෂ් රූම් එකෙන් ගලා ආවේ පිච්ච මල් සුවඳ. තරු පහේ හෝටලයක වැසිකිළියක් වගේ. නාන්න ෂවර් පවා තියෙනව.සංඛනාත් ට මතක් වුණේ ඒ දවස් වල ස්කෝලේ යන කාලෙ කොටුවේ මහතුන්ගේ වැසිකිළියට නහය වහ ගෙන ගිය හැටි .
අදාළ කටයුතු ඉවර වෙන කොට දුම්රිය මරදානේ නවත්වලා.
‘මීළඟට නවත්වන්නේ කොළඹ කොටුව ‘
නිවේදනය වුණා.
‘මේ ට්රේන් එක කළුතරට යනවා ළඟදීම, දැන් පාරවල් හදාගෙන යනවා කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙනකොට කළුතරට යන්න හැකි වේවි’
‘ලංකාවේ ට්රේන් සර්විස් එක මේ තරම් දියුණු වෙයි කියල මම කවදාවත් හිතුවේ නැහැ’
‘ඒ විතරක් නෙවෙයි සර් තව මේ වාගේම ට්රේන් එකක් දැන්මම යනවා කොටුවේ ඉදල කොට්ටාවට ඒක ආසියාන් සංවර්ධන බැංකුවේ ආධාර ඒකත් මේ වාගේ තමයි තවත් ලයින් හතරක වැඩ මේ ආණ්ඩුව ‘
‘ඒ කොහාටද ‘
‘ඒක ගම්පහ, කටුනායක, කළුතර, අවිස්සාවේල්ල ආවරණය වෙන්න රතු, නිල්, දම්, කොළ කියල නම් කරපු ලයින් හතරක් ‘
‘පුදුම දියුණුවක් නෙ මටනං හිතා ගන්නවත් බැහැ’
සංගීත රාවය මොහොතකට නැවතුනා.
‘මෙන්න විශේෂ නිවේදනයක්……… කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක් නිසා මාර්ග අවහිරව ඇත මගින් විකල්ප මාර්ග භාවිතා කරන්න ‘
‘බ්රේකින් නිව්ස් තියෙනවා’
සංඛනාත් කිව්වා
‘ඔව් සර් රටේ මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඒකත් කියනවා’’
ඒත් එක්කම දුම්රිය නැවතුනා
‘සර් බහිමු කොළඹ කොටුව ‘
සංඛනාත් ආයෙත් ඔරලෝසුව බැලුව හරියටම පහයි හතලිස් පහයි
‘ඇත්ත නේන්නම් ඒත් මං එදා දැක්ක කොළඹ කොටුව නෙවෙයිනේ’
ඔව් සර් මේ අවුරුද්දට හිතා ගන්න බැරි තරමට වෙනස් වෙලා ‘
කුළුණු මත ධාවනය වුණ දුම්රිය තිබුණේ සුඛෝපභෝගී තරු පහේ හෝටලයක් වැනි තට්ටු කීපයකින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක. ඔවුන්ට එතනිනුත් පහලට බහින්න තිබුනෙ ESCALETER එකකින්. ඔවුන් දුම්රිය ස්ථානයේ පහත මාලයට බැස්සා.
‘සර් මං එහෙනම් යන්නම් ගෝල්ෆේස් එකට යන්න ටැක්සියක් ගත්ත නම් හරි ‘
‘හොඳයි පුතා අපි ආයේ හමු වෙමු’
‘සර්ගේ ටෙලිපෝන් නම්බර් එක දෙන්න මට යාලුවන්ටත් කියන්න ඕන සර් ඇවිත් කියල ‘
ඔහු ටෙලිපෝන් අංකය දුන්න.
‘’ආ දිනේෂ් මෙතන ටැක්සි ත්රි වීල් මොකුත් නැහැනෙ ‘
‘ඒවා තියෙන්නෙ දැන් මැනිං මාකට් එක තිබුණ තැන. වෙලාවක් තිබුණොත් සර් ආයේ දවසක ඇවිත් ඒ හරියත් බලන්න. දැන් එතන තට්ටු 15,20 බිල්ඩින් අර පේන්නෙ ‘
ඔහු නිවැරදිය.එතන ඇත්තේ අහසට උස ගොඩනැගිලියි .
‘එකේ යට තට්ටුවේ තමයි කාර් පාක් එක සර් ඔතන තියෙන ඔය බෝඩ් එකෙන් සර්ට අවශ්ය වාහනේ හොයල ප්රෙස් කරන්න. මන් ගිහින් එන්නම්’
ඔහු සමු ගත්ත සංඛනාත් කුඩා කාරයක් ගෙන්වීමට බටන් එක ප්රෙස් කළා. විනාඩියක් යන්න පෙර වාහනය ආව. එතෙක් ඔහු අවට නිරීක්ෂණය කළා. ‘කොටුව කණපිට පෙරලිලා,’ ඔහුට සිතුණා.
‘මට ගෝල්ෆේස් හෝටලේට යන්න ඕන’
සංඛනාත් රියදුරුට කිව්ව .
‘සර් හදිසි ගමනක්ද’
‘ඔව් හයට මීටින් එකක් තියෙනවා ඒකට යන්න’
‘ හයට නං යන්න බැරි වෙයි සර් ජනාධිපති ලේකම් කාර්යාලේ ළඟ පිකටිං එකක් ‘
ට්රේන් එකේදී එනවුන්ස් කරපු එකත් මතක් වුනේ සංඛනාත් ට එතකොට
’අපොයි අපොයි මට ඒ වෙ ලාවට යන්නම ඕන මොකද කරන්නෙ’
දැන් වෙලාව හයට දහයයි
‘පයින් ගියොත් විනාඩි 15 කින් විතර යන්න පුළුවන් සර් එහෙම කරන්න’
ඔහු ආපසු ගියා. ’එහෙනං පයින් යනවා. මුන් පිකටින් කරන්නෙත් මේ වගේ දවස්වල’ සංඛනාත්ට ඇති වුනේ තදබල කේන්තියක් .
සංඛනාත් පයින් යන්න මඟට බැස්සා.ඒත් එක්කම ඔහුට ඇහුනේ දුම්රිය ස්ථානයේ නිවේදනයක්.
‘පස් වෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය තව ස්වල්ප වෙලාවකින් දකුණු කළුතර බලා පිටත්වේ. එම දුම්රිය දකුණු කළුතර දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවතවනවා ඇත.’ සංඛනාත් ගණදෙවි නුවන පහල වුණා. කොම්පඤ්ඤවීදියට ට්රේන් එකෙන් ගියා නම් ඉතිරි ටික පයින් යන්න තිබුණ. විමසීම් කවුලුවකුත් තිබුණ එතනම. එතන සුරූපී යුවතියක් කවුළුව ඇතුළින් පෙනුන.
‘මිස් කොම්පඤ්ඤවීදියට ටිකට් ගන්නේ කොහෙන්ද ?’
‘ඔය මැෂින් එකෙන් ගන්න. ට්රේන් එක ඇවිත් තියෙන්නෙ. දැන් පිටත් වෙනව”
ඇය මැෂින් එකක් පෙන්නමින් කීව.
සංඛනාත් මැෂින් එක ළඟට ගොස් ගමන් ගාස්තු නිරීක්ෂණයකළා. කොම්පඤ්ඤවීදියට රුපියල් දහයයි. ඔහු දහයේ කාසියක් දා ප්රවේශ පත්රය ගත්තා. ප්රවේශ පත්රය ගේට්ටුවට ටච් කළා.
‘ඔය කෝච්චියේ යන්න ටච් කරන්න ඕන නැහැ ඉක්මණින් යන්න, කෝච්චිය යන්නයි යන්නෙ’
අදහා ගන්නත් බැහැ ඒ පරණ පස් වෙනි වේදිකාවමයි පරණ රතු පාට කෝච්චියක් ගාඩ් විස්ල් එක ගැහුවා.රියදුරු හෝන් එක ගැහුවා. සංඛනාත් අදින දුම්රියේ දොරේ එල්ලුනා.
‘මැරෙන්න හදනවද වයසට නෙවෙයි වැඩ ‘
ගාඩ් කෑ ගහනවා. සංඛනාත්ට ඇති වුණේ බරපතල ලැජ්ජාවක්. ‘මගේ අවශ්යතා දන්නෙ මමනෙ’ සංඛනාත් සිතුවා. ඒත් ඔලුව උස්සන්නත් ලැජ්ජයි ගාඩ්ගේ වචනයට .
මහලේකම් කාර්යාලයෙ දුම්රිය නවත්තල මීටර් 50ක් විතර ඉස්සරහට ගියා. දුම්රිය දඩාස් ගාල නැවතුනා, සංඛනාත්ගේ මූණ ඉස්සරහ ආසනයෙ වැදුනා. ‘හොඳ වේලාවට කට වැදුනේ නැහැ, නැත්නම් දත් නැතිවයි දේශනය අහන්න වෙන්නෙ.’ සංඛනාත් කවුළුවෙන් හිස එලියට දමා බැලුව. රියදුරාත් නියාමකත් දෙපසට යනවා දුම්රියේ යට යම් බටයකට තට්ටුවක් දමමින්.
‘වැකුම් ලීක් එකක් ‘ කවුදෝ කියනවා ඇහුණ .’ඔය සූ සූ ගාල සද්දයක් ඇහෙන්නෙ ‘
‘අපරාදෙ මන් පයින් ගියා නම් ඉවරයි දැන් කොහාටවත් නෑ කවුද දන්නෙ මෙහෙම වෙයි කියල මාලඹේ ඉදල කොටුවට විනාඩි 15 යි එතන ඉදල කොම්පඤ්ඤ වීදියට යන්න දැනටම විනාඩි 15යි.’
විනාඩි 3 ක් 4ක් ගියා මෙන්න ට්රේන් එක ආයෙත් පිටත් වුණා. දැන් ඉතින් කොම්පඤ්ඤවීදිය.
දුම්රිය කොම්පඤ්ඤවීදිය පසු කළා, ඒත් නැවැත්තුවේ නැහැ .
සංඛනාත් කලබල වුණා.
‘මේක කොම්පඤ්ඤවීදියෙ නවත්තන්නෙ නැහැනෙ’
සංඛනාත් දොරටුව ළඟට ආ අයෙකුට කීව .
ඒකනේ මේ පොඩ්ඩට ඩ්රයිවර්ට නින්ද ගිහිල්ලද මාත් බහින්න ඕන කොම්පඤ්ඤවීදියෙන්’
තවත් මොහොතකින් දුම්රියේ වේගය අඩු වුණා.
‘දැනුයි ඇහැරලා තියෙන්නෙ ‘
අපොයි අපොයි ඒකත් මගේ වෙලාව. දැන් ට්රේන් එක කොම්පඤ්ඤවීදිය පහු කරල කිලෝ මීටරයක් විතර ගිහින්. ට්රේන් එක නැවතුනා. දැන් බහින්න වෙන්නේ පාරට තාමත් ටිකක් වැස්ස. තෙමෙන්නයි වෙන්නෙ. පිටිපස්සට හැරිල දෙවන පඩිය බහිනකොට ට්රේන් එක ඇද්ද. සංඛනාත් බිමට පැන්න. ඔලුව වැදුන බිම.
‘බුදු අම්මෝ’
‘ඇයි තාත්තෙ කෑ ගහන්නෙ හීනයක් දැක්කද දැන් පහටත් කිට්ටුයි ‘
තාමත් ටිකක් වැස්ස සංඛනාත් මොහොතක් ආයෙත් ඇස් පියා ගත්තා.හීනයක් වුණත් ඒක හරි පුදුම හීනයක්.
උපුටා ගැනීම: Shantha Vidanapathirana