අලුත් ගුරුතුමා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දහය එකොළොහ වසර කියන්නෙ ස්වභාවයෙන්ම දමනය කරන්න අපහසු සිතුම් පැතුම් ගලාගෙන එන වයස් සීමාවක්. ඒ වගේම ඒක මිශ්ර පාසලක්. බොහොම ග්රාමීය පරිසරයක් සහිත මේ පාසලේ මගේ පන්තියට එනව අලුතින් ගුරුතුමෙක්. පළමු බැල්මෙන්ම හිත ඇදිල යන රූපකායක් නොතිබ්බට තරුණවිය ගෙවලා නම් ලොකු කාලයක් නෑ කියල සහතිකයි. ඔහුට බාරවෙන්නෙ ඉතිහාසය විෂය. ලොකුවට රසවත් බවක් දැනුනෙ නැති ඉතිහාසය විෂයත් ඔහුගේ ඉගැන්වීමේ විලාසයත් එක්ක අපි මාස දෙක තුනක් ගත කරනව. කොටින්ම කිවුවොත් ඒක රසත් නෑ නීරසත් නෑ..
ඉතිහාසය කාලපරිච්ඡේදයට විතරක් පන්තියට ගොඩවෙන මේ ගුරුතුමා දවසක් එයාට අයිති නැති සිංහල කාලපරිච්ඡේදයෙදි පන්තියට එනව. ඉතිහාසය පාඩමට එද්දි ගේන පෙළ පොතවත් අඩුම සිංහල පෙළපොතවත් නැතිව පිටු දහයෙ දොළහෙ පොඩි පොඩි පොත් කීපයක් විතරක් අතේ තියන් ආව මේ ගමන නම් වැරදිලා වෙන්නැති කියල තමයි මගේ නිගමනය. ඉතින් අපි බලන් ඉන්නව. උගුර ටිකක් පාදල එහෙම ඔහු පටන් ගන්නව.
“ඔබා දෙදන නිල් උදුපියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළවට
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල නමා හිස…” ඔහු කියනව. මදක් නිහඩ වෙනව. කල්පනා කරනව. ඇතැම් තැන්වල අර්ථ විවරණ සපයනව. සීනුව නාදවෙනව. හෙමිහිට එලියට බැහැල යනව.
ඊළග දවසෙත් සිංහල කාලපරිච්ඡේදයෙ එනව.
‘මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්රී දේවි නොවුණේ…’ එහෙම පටන් ගන්න ඔහු,
‘මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්…’ ගීතයෙන් කොටසකුත් මේ කතාවට ඈදල ගන්නව…
තව බොහෝ තැන් තියෙනව..ලෙච්චමීගෙ සිතිවිල්ලක්, දියණියනි කවි අපේ දෑස් තෙත් කරනව. රත්න ශ්රී මහතාගෙ ‘සුදු නෙළුම කෝ සොරබොර වැවේ’ ගීතය ඔහුගෙ දෑස් බොද කරනව.
අතරින් පතර රාහුල හාමුදුරුවෝත් වඩිනව. සැළලිහිණියෙ කවි දෙක තුනකුත් කියල දෙනව. නල කුමරු වර්ණනයේ දී සේකරයන් කාන්තාවත් අමතක නොකල බව කියනව. “රනින් කළ වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ…“
තවත් දවසක,
‘නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි…’
ඔහු ජී.බී සේනානායකයන් තනි නොකොට සරච්චන්ද්රයන් කැදවනව.
“ප්රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ
පෙරලා ලබන්ට නොසිතා බිදකුත්”
කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න.. ගාලු කොටුව ගල් බැම්මේ… කිය කිය ඩෙස් වලට ගගහ හිටපු අපිට මේක අලුත් අත්දැකීමක්. නමුත් ඔහු තවමත් සාහිත්යය පෙළ පොත පෙරලගෙන උගන්වන පාටක් නෑ. දවසින් දවස අලුත් අලුත් මාතෘකා.. අලුත් පද පේලි.. වසර අවසාන වෙනව. විෂය නිර්දේශයට වඩා යමක් ඔලුවට රිංගලා කියල අපට දැනෙනව.
මම දන්නෙ නැහැ අද ඔහු ඉන්න තැනක්. නමුත් ඔහු දුන්න හුරුව තාමත් මගේ ඇතුළෙ ජීවත් වෙනව වගේම ඔහු විටින් විට තිළිණ කල පොත් කීපයක් තාම සුරැකිව ළග තියෙනව. ඒ දකින හැම විටම හිතින් මං දණ නමනව.
මේක දෙවෙනි කතාව.
සා. පෙළින් පස්සෙ මං ඇතුළත් වෙනව බාලිකා පාසලකට. නාගරික ලක්ෂණ සහිත පාසලක් වුන ඒකෙදි හම්බෙනව අලුත් මූණු ගොඩක්. වෙනස් හදවත් ටිකක්. එතැනදිත් මං සිංහල විෂයක් විදියට තෝර ගන්නව. බොහොම ගාම්භීර, සද්ද කටහඬක් තිබ්බ සිංහල ගුරුතුමියක්. ගිරා සංදේශයෙ කවි කිහිපයකින් අවසන් වෙන කාල පරිච්ඡේදය අවසානයෙ අපට විවෘත ආරාධනාවක්. ඒ අමතර පන්තියට සහභාගී වන ලෙසට.
විවිධ හේතු කාරණා මත මේ අමතර පන්තිය මට මගහැරෙනව. ඒකට මට ප්රසිද්ධියෙ දඩුවම් ලැබෙනව. පන්තියෙදි නැගිට්ටවල බනිනකොට ඩෙස් එක පහුරු ගගා අහන් ඉන්න එක කජ්ජක් වුනාට රැස්වීමකදි පිරිසක් මැද ලැබෙන පහරක්, දෙමාපිය කැදවීමක් සහිත දෝෂාරෝපණයක් කියන්නෙ මේ වයසෙදි මනසට ටිකක් බරපතල කාරණාවක්. ඔහොම ගෙවුනු අවුරුදු දෙක අවසානයේදී මං උ.පෙළ සමත් වෙලා කොළඹ වි.වි. ඇතුළත් වෙනව.
මෑතකදි පාසලට ඉදිකරපු පිහිනුම් තටාක ව්යාපෘතිය නිරීක්ෂණයට රැකියා ස්ථානයෙ නියෝජිතයෙක් විදියට මම යනව. ඇයව මුණගැහෙනව. ‘අපෙන් ඉගෙන ගත්ත ළමයි අද විවිධ ක්ෂේත්ර වල ඉන්නව නේද?’ එතුමිය අහනව. එදා අහේතුකව ගුටිකනකොට තිබ්බ සිනහවෙන්ම පිළිතුරු දීලා මං ආපහු හැරෙනව.
මං දන්නව ඇය ඉන්න තැන. හිත නැමෙන්නැති තැන්වල දණ නමන්න අපහසු නිසා මං නොයා ඉන්නව.
මේක රසවත් කතාවක් නොවන බව මා දන්නව. නමුත් මට කියන්න ඕන වුන දෙයක් තියෙනව.
ඔබට කිසිම විටෙක සහතික වෙන්න බැහැ ඔබේ දියණිය ගැහැණියක් ලග ආරක්ෂිතයි කියල පිරිමියෙක් ළගට වඩා. සාරියකින් හෝ කලිසමකින් වැසුණු ලිංගිකත්වය මත එය තීරණය කරන්න එපා.
ඒ වගේම තව දෙයක්,
ඇගේ සීරීමක්, තැලීමක් හෝ කෝටු පහර හිටීමකින් නොමැති වූ පමණින් ඔබට තීරණය කරන්න බැහැ ඔබේ දරුවා ආරක්ෂිතයි කියල. කායික ආරක්ෂාවට මුල්තැන දීලා මානසික ආරක්ෂාවට කිසිවිටෙකත් බැහැර කරන්න එපා.
උපුටා ගැනීම:  ලසිකා වීරසිංහ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!