මේක වෙන්නෙ 2017 ජූනි මාසේ දවසක.මේකට මූණ දුන්න ගොඩක් අය ඇති.මෙහෙම වෙලා මං වගේම මහ මග අසරණ වුනාද කියල දන්නෙ නෑ.
එදා උදේ 6.30 ට කෑගල්ලෙන් කොළඹ බස් එකකට නැග්ගෙ අලුත් හෑන්ඩ් බෑග් එකත් පැත්තකින් එල්ලගෙන.කාලෙක ඉදන් කැමැත්තෙන් හිටපු විදිහෙ බෑග් එකක් ඒක.ඒ වගේම අලුත් සාරියකුත් අදල තිබුණ මම.පළවෙනි කමෙන්ට් එක පාන්දරම සැමියගෙන් ආවෙ අද නම් අමුතු ගතියක් තියෙනවා කියල.
ඔහොම කිව්වම පොඩි ගැම්මක් එනවා අම්මට සිරි මාත් ලස්සනයිනෙ කියල.
ඔය ගැම්මෙම නැගල ඉන්ටසිටියක නින්දක් දාගෙන ගියා.බස් වලට නැග්ගම ගෙදරට වඩා හොදට නින්ද යන මං වගේ තව අය නෑ කියලත් හිතෙනව.මොකද සමහර පැය බාගෙ බස් ගමන්වල පවා මට හොදට නින්ද යනව.ගෙදරින් කියල එවන්නෙ මළා වගේ නිදාගන්න නම් එපා කියල. මදි හරියට හස්බන්ඩ් පැය බගෙන් බාගෙට කෝල් කරනව යහතින්ද බලන්න.මොකක්දෝ වාසනාවක් තියෙනව බහින්න ඕන තැන ළං වෙද්දි ඇහැරෙන්න.
එදත් ඔරුගොඩවත්ත බැහැල 154 ක නැග්ගා යන්න ඕනෙ වුනේ මුලින් කොළඹ කැම්පස් එකට ඊට පස්සෙ මිනිස්ට්ර් එකට මගෙ සැලරි ශීට් එකක් ගන්න.උදේ නිසා 154 සෙනග.මාත් නැගල අමාරුවෙන් සීට් දෙකක් අල්ලගෙන හිටගත්තා.ඊටපස්සෙ බස් එකේ යන පාරේ යන අය දිහා බල බල එන්ජෝයි කර කර ගියා.
මගෙ කරුමෙට දෙමටගොඩ හරියෙ බ්ලොක් එකකදි හේමාල් වාහනේක යනව.බස් එකට සමාන්තරව මේක නැවතුනා.කොච්චර උනත් නලුවෙක්නෙ.මමත් පුලුවන් තරම් බෙල්ල පාත් කරල කොන්ද කඩාගෙන බැලුව.ඔක්කොම වගේ බැලුව හින්ද ලැජ්ජවකුත් නෑනේ.අලුත් බෑග් එක පිටිපස්සෙ එල්ලි එල්ලි තිබුන ඒවා සිහි වුනේ නෑ නිකමටවත් හේමාල් අත වනල ගියා.ලාවට අත ඉස්සුනා විලි ලැජ්ජා වගේ දැනිල ආයේ පාත් කරගත්තා..දරු දෙන්නෙක්ගෙ අම්මෙක් කියල මතක් වුනේ ටිකකින්.
දෙය්යනේ කියල ආපදාවක් නැතුව බැහැගෙන කෙළින්ම ගියෙ කැන්ටිමට.
මාර බඩගිනි.පරාටා දෙකක් ඉල්ලලා පර්ස් එක ගන්න අත දැම්ම බෑග් එකට .ඒක රෝස පාට දිග පර්ස් එකක්.මගේ විතරක් නෙමෙයි හස්බන්ඩ්ගෙ ඒටීඑම් කාඩ් එකත් ක්රෙඩිට් කාඩ් දෙකකුත් ඒකෙ තිබුනා.රුපියල් හැට තුන්දාහක් හරකෙක් වගේ මම ඒ පර්ස් එකේ දාගෙන ආවා.ඒ මදිවට පර්ස් එකේ ඇතුලෙ කෑල්ලක දුවගෙ පොඩි පෙන්ඩෙන්ට් එකක් දවස් ගානකට කලින් දැම්ම.ඒක අරන් තියන්න අමතක වෙලා තිබුනා
හෙව්වා හෙව්වා දෙය්යෝ සාක්කි මේක නෑ.154 ට සල්ලි දීලා බෑග් එකට දැම්ම බව බුදු ෂුවර්.
මගෙ හතර හන්දි පණ නැතුව ගියෙ ඒ වෙද්දි බෑග් එකේ වෙන කොහෙවත් සල්ලි නොතිබුන බව මතක් වෙලා. අදුරන කව්රුත් මතක් වෙන්නෙ නෑ. උදව්වක් ඉල්ලන්න.
රුපියල් 20ක් තිබුන බෑග් එකේ එලියෙ කෑල්ලෙ.දැන් මට මේ කරුම බෑග් එක අප්රසන්නයි.හේමාල් බල බල ඉද්දි පික් පොකට් ගහල කියල සහ සුද්දෙන්ම තේරිලා ඉවරයි ඒ වෙද්දි. දැන් ඉතින් කෑගල්ලට යන්නවත් සත පහක් නෑ.ඇඩෙනව හැට තුන්දාහ මතක් වෙලා.ඒක කලින් දවසෙ ගත්තෙ හස්බන්ඩ්ගෙ සැලරි එකෙන්. වැඩ වගයක් කරන්න තිබුන නිසා.හස්බන්ඩ් කිව්ව ඒක තියල යන්න කියල.කලබලේට ඒක කරල නෑ මම.
ගත්ත පලවෙනි කෝල් එක හබීට.
අනේ..පර්ස් එක බස් එකේදි අරන්. කියද්දිම ඇඩුන .
ඔයාට එන්න සල්ලි තියෙනවද.
නෑ.20යි තියෙන්නෙ.
මොකද කරන්නෙ එහෙනම්.?. යකෝ..මේ මිනිහට හැට තුන්දාහ මතක නැද්ද ඒක අහන්නෙ නැත්තෙ .
ළග පාතක ඉන්න යාලුවෙක් මතක් කරල බලන්න .ඊට කලින් කාඩ් වලට කෝල් කරල හෝල්ඩ් කරමු ඉක්මනට.
නිවී සැනහී මෙහෙම කියන්නෙ කොහොමද එයාගෙන් මේක වුනා නම් මම කාලි වරම අරන් කියන්න තියෙන ඔක්කොමත් කියල මේ වෙද්දි.
තවත් ඇඩෙනව .
කලබල නොවී ඒ ටික කරන්නකො.අඩන්න එපා.එන්න විදිහක් බලමු.ඔයාට මොකුත් වුනේ නෑනේ. කියල උපදෙස් දුන්න.යකෝ..මං අතින් හැට තුන්දාහක් නැතිවෙලා.කෙල්ලගෙ පෙන්ඩෙන්ට් එක නැතිවෙලා.මෙයා අහන්නෙ නෑ.
මිනිස්ට්ර් ආව තව මල්ලි කෙනෙක් හිටිය එදා.මතක් වුනා එයා එන්න ඇති කියල.කතා කරල කියද්දිත් ඇඩෙනව ඉතිං.
එයා පිම්මෙ ආවා.ටැක්සි එකක් අරන්.මොකුත් නැතුවම තුත්තිරි ගහෙත් එල්ලෙනවනෙ.මේකා දැක්කම දෙය්යො බුදුන් දැක්ක වගේ.
කියාගෙන කියාගෙන ගියා නැතිවෙච්ච ලිස්ට් එක එක හුස්මට.
උගෙ හුස්ම පහලට දාන්න බැරුව ඌ අහනව.
උබට පිස්සුද බං අක්කෙ ඔය ඔක්කොම පර්ස් එකේ දාගෙන එන්න.අපි නම් රත්තරන් බඩුත් ගලවල තියල එන්නෙ කොළඹ එද්දි.හරි හරි අවුලක්.නෑ.කුරුදුවත්ත පොලීසියට ගිහින් එන්ට්ර් එකක් දාමු .ඔයාගෙ අයිඩී එකත් ඒකෙනෙ.
පොලිසි ගිහින් කම්ප්ලේන් දාලා.අරූ දුන්න රුපියල් 500 න් බොරැල්ලට ඇවිත් පේස්ට්ර්යක් කාලා අලුත් බෑග් එක එල්ලගෙන අලුත් සාරියෙන් කදුලු පිහ පිහ හේමාල් බලල අන්තිමට මම ගෙදර ආවා.
අර සල්ලිත් නැතිවුනා තාත්ති.
මාව එක්ක යන්න පාරට ආව හබීට මම හෙමින් කිව්ව.
ආ ඔව් මම දැනගත්තා.දුවගෙ පෙන්ඩෙන්ට් එකත් එක්ක නේද?අයි ඩී එකයි ලයිසන් එකයි නම් ආයෙ ගන්න පුලුවන්නෙ ගිහින්.
කිසිම කලබලයක් තරහක් නැතුව එයා වාහනේ පාරට ගන්න ගමන් කිව්වා.
හේමාල් දැක්ක බව නොකියා මම තවත් කදුලු ටිකක් පෙරුවා.
උපුටා ගැනීම: Chamika Chandrasiri