අලුත් ලේලි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇගේ පතේ අමාරුවට කියලා දවාලෙ ඩිංගිත්තක් හාන්සි වුනු රත්නාවලී හාමිනේ කුස්සිය පැත්තෙන් ඇහුනු මහා හිනා සද්දෙට ගැස්සිලා ඇහැරුනා.
ගෙදර අත් උදව්වට ඉන්න මුතූගෙ හිනා සද්දෙ…
කුස්සි අම්මා ලිලියන්ගෙ හිනා සද්දෙ……
ඊලඟට ඩ්රයිවර් සිරිදාසගෙ හිනා සද්දෙ…..
මේ සිරිදාසත් ගෑනු අස්සෙ රිංගගෙන මක්කොරනවද?
අනික් අතට වෙනදට ලිලියන්ට සිරිදාස නිකං නයාට අදුකොල වගේ. සිරිදාස ඒ පැත්තට ගියත් වැරදියි මේ පැත්තට ගියත් වැරදියි. රණ්ඩු, රණ්ඩු, රණ්ඩු! අද මොකක්ද මේ වෙනස?
​ සිරිදාසගෙ කොලොප්පං තමා ඔක්කොටම මුල. සිරිදාස ලිලියන් කෝප ගන්නන්න ලිලියන්ට ආච්චියේ කියනවා.ලිලියන්ගෙ වයස ගැන හිතුවම ආච්චි තමා. ඒත් ලිලියන් සිරිදාසට සහසුද්දෙන්ම කියලලු තියෙන්නෙ ලිලියන් නැන්දා කියන්න.සමහරදාට රත්නාවලී හාමිනේ මැදිහත් වෙලා තමයි රණ්ඩු බේරන්නේ. ඒත් අද කවදාවත් නැතුව ලිලියනුත් හොක හොක ගගා සිරිදාසගේ හිනාවට එකතු වෙනවා.
ඔන්න ආයෙත් මුතූගෙ හිනා සද්දෙ…
මේ මොන විගඩමක්ද කියලා බලන්න හිතාගෙන රත්නාවලී හාමිනේ ඇඳෙන් නැගිට ගත්තා. ඒ එක්කම වෙනදට කුස්සියට නුපුරුදු කටහඬක් කුස්සිය පැත්තෙන් ගලා ආවා.
“ඔන්න ආයෙත් එහෙම සිරිදාසයි ලිලියන් නැන්දායි රණ්ඩු වෙන්න බෑ. රණ්ඩු වුනොත් බලා ගන්න පුලුවන්!”
අලුත් ලේලි!
අලුත් ලේලි දැන්මම ගෙදර අයට නීති පනවන්න පටං අරන්!
කොහෙන් ආව ලොකු කමක්ද ඒ?
“හොඳයි පුංචි නෝනා!”සිරිදාසගෙ හඬ ඇහුනා.
“හොඳමයි සුදු නෝනෙ!”ඒ ලිලියන්!
හෑ! සුදු නෝනෙ? කොහෙ තියන සුදක්ද? මේ ගෑණිගෙ ඇස් පොට්ටද?
“ඔය දෙන්නා බබාල නෙමේනෙ රණ්ඩු කරන්න. සිරිදාස බොරු විහිලු නවත්තන්න. ලිලියන් නැන්දාත් පොඩ්ඩ ඇත්තං ඇවිලෙන්නැතුව ඉන්න.”ඒ අලුත් ලේලි!
“හොඳමයි!”
ආයෙමත් මහ හිනා සද්දෙ!
මෙච්චර කලක් නිස්කලන්කෙ හිටියා. දැං ඒකත් නැතිවෙන්න වගේ. රත්නාවලී හාමිනේ තරහෙන් හිතුවා.
ධීරගෙයි සඳුනිගෙයි මගුල් ගේ අරං දැනට සතියක්! දවසක් ලොකු හෝටලේක ඉඳලා දෙවෙනි ගමන ගත්තා. ඊට පස්සෙ හනි මූං කියලා ආයෙ දවස් පහකට එළියට ගියා.කවුද යකෝ දෙසැරයක් හනිමූං යන්නෙ?අනික මේ මහ සාගරයක් වගේ ගෙදරක් තියනවා. හනිමූං බැරිනං ඕනෙ එකක් බැරියැ ගෙදර ඇතුලෙ!
හනිමූං ඉවරවෙලා ගෙදර එනකොට ඊයෙ රෑ එකත් පහුවෙලා!
“අම්මා නිදි වගේ!” කොල්ලා කියනවා ඇහුනා. අලුත් ලේලි සඳුනි වචනයක්වත් කීවෙ නෑ. නිකමට කාමරේට එබිකං කරල් බලපං. ඒත් නෑ. රත්නාවලී හාමිනේ කොච්චර වෙලාවක් බොරුවට නිදි වගේ බලාගෙන හිටියද?
ඊට පස්සෙ පහුවදා උදේ කෑමට එනකොටත් ධීරගෙ කාමරේ දොර වහලා.
“අලුත් ජෝඩුව තාම නිදි වගේ!” ලිලියන් රහසින් වගේ කීවා.
අනේ සංසාරේ! ගෑනු ඔහොමත් පස්ස පැත්තට එළිය වැටෙනකල් නිදා ගන්නවද?
“මෙන්න අම්මගේ අනාගත ලේලි!”ධීර දවසක් සඳුනිව ගෙදර එක්කන් ඇවිල්ල අඳුන්නල දෙනකොට රත්නාවලී හාමිනේගෙ ඇස් උඩ ගියා.
මේ තොරොම්බල් කරත්තෙ මගේ පුතාට?
කැමති කෙනෙක් හොයා ගන්න කියලා පුතාට කීවා තමයි. මොකද දැං කාලෙ එවුවන්ට වැඩිහිටියො හොයන ඒවා හරියන්නෙ නෑනෙ. ඒත් කවුද හිතුවෙ මේ වගේ තේඋඩිච්චියක් හොයා ගනී කියලා.
කලියමේ හත් අට පොලක් ඉරිලා.වැරහැල්ලක් වගේ. වෙන කොහෙද ආ ගමන් ධීර ඇදගෙන ආවලු!කොහෙ යන්න වුනත් ඔහොම අඳිනවද? අනික බඳින්න යන එකා වුනත් කතා කල පළියට ඔහොම චාරයක් නැතුව ගෙවල් වලට එනවද? සිරිත් විරිත් කියලා දෙයක් තියනවා නොවැ.අම්මා තාත්තට සල්ලි බාගෙ තිබුණට චාලිත්තර නං අන්තිමයි.
මගුලට ඉස්සරලා සඳුනි තුන් හතර පාරක්ම ඔය ආවෙ!කොණ්ඩෙ එක එක දවසට එක එක පාට​! ගවුම දනිහට අඩියක් විතර උඩින්. සායක් දිගට ඇන්ද දාට හැට්ටෙ කර කපලා ඇගෙං බාගයක් පේන්න. මගුල් ගෙදර දාත් එහෙමනෙ. උඩරට විදිහට ඇන්දට සාරි හැට්ටෙ නොසෑහෙන්න කොටයි. කර කැපිලත් වැඩී. අනේ මෙහෙමත් නරි නාටක​!
පෙකනිය නොදක්වා
සළු ඇද බොළට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසන් දසන් දක්වා… එහෙමයි රත්නාවලී හාමිනේලා ඉගන ගත්තේ.
ඇඳුං වලට එහා කතා කරන විලාසෙ.
“හායි ආන්ටි!” රත්නාවලී හාමිනේව ඇහැ ගැහුන හැටියෙ ඈත තියා කෑ ගහනවා. බඳින්න ඉන්න මිනිහගෙ අම්මට කටපුරා අම්මා නොකියා ආන්ටි කියන රටක් තියනවද?
ඒ මදිවට ඕනෙ එකයි එපා එකයි එක්කත් කට පුරා හිනා වේගන කතාව. ධීරගෙ යාලුවන්ගෙ කරේ. බලන්න ඔනෙ උං ආවම තියන සිරික්කිය. රත්නාවලී හාමිනේ ඉක්මණට කාමරේට රිංගගන්නෙ මේ නරි නාටක බලං ඉන්න බැරි කමට. අනවශ්ය ප්රශ්න ඇති කර ගන්න රත්නාවලී හාමිනේ කවදත් කැමති නෑ. තමාගෙ පාඩුවේ හිටියම ඉවරයි!අනේ මෙච්චර ඉගන ගත්ත ධීර මේ සක්කරවට්ටමට අහුවුනා නොවැ!
රත්නාවලී හාමිනේ කල්පනා ලෝකෙන් මිදුනේ දොරට තට්ටු කරන සද්දෙට!
“ලොකු හාමිනේ කෑම ලෑස්තියි!”මුතූගේ හඬ!
“කාමරේට ගෙනෙං”රත්නාවලී හාමිනේ ටිකක් සද්දෙට කීවා.
“කන්න ගියා නං එයි ‘ හායි ආන්ටි’ ගාගෙන මගේ ලේ කෝප කරවන්න!”රත්නාවලී හාමිනේ තමාටම කියා ගත්තා.
ටික වෙලාවකින් දොරට ගහන සද්දෙ ඇහුනා.
“දොර ඇරගෙන වරෙං!”
දොර ඇරෙන සද්දෙ ඇහුනා. ඒ එක්කම නාමල් සුවඳක්!
රත්නාවලී හාමිනේ දොර දිහාට හැරුනා.
සඳුනි දොරකඩ. ඒ සැරේ කොට කලිසමක්!
“අනේ මෙහෙමත් නැහැදිච්ච ගෑනු දරුවො!”රත්නාවලී හාමිනේට හිතුනා.
“අම්මෙ එන්න කෑම කන්න!”සඳුනි කටහඬ අවදි කලා.
අම්මෙ!කවදාවත් නැතුව සඳුනි අද අම්මෙ කීවෙ මොකද? හිතට දැනුන හීං සතුටට ඉඩ නොදී රත්නාවලී හාමිනේ කල්පනා කලා.බාග වෙලාවට ධීර කියන්න ඇති!
“අම්මෙ යං!”සඳුනි ආයෙමත්!
“මුතූට කියන්න මගේ කෑම එක කාමරේට ගේන්න කියලා!”රත්නාවලී හාමිනේ මිමිනුවා.
“ඒ මොකද? එහෙම පුලුවන් ද? බෑ බෑ එහෙම බෑ! අම්මත් අපි එක්ක කන්න ඕනෙ!”මෙන්න සඳුනි පොඩි දරුවෙක් වගේ රත්නාවලී හාමිනේගෙ අතින් අදිනවා.
“මොකක්ද ළමයො. මං තව ටිකෙන් වැටෙනවා!” ඒ සැරේනං රත්නාවලී හාමිනේටත් නොදැනිම හිනාවක් ගියා.
සඳුනි රත්නාවලී හාමිනේව කාමරෙන් එළියටම තල්ලු කරගෙන ගියා!
“අත අරින්න ළමයෝ මං එන්නං.”
රත්නාවලී හාමිනේ කෑම කාමරේට යනකොට ධීරත් කෑම මේසෙට වාඩිවෙලා බලාගෙන ඉන්නවා.
“මෙතනින් එක කරි එකක් හැදුවේ මම! අම්මා පුලුවන්නම් ගෙස් කරන්න!”
” මට උයන්න පුලුවන්!”
“හෙට මං අලුත් කෑමක් ට්රයි කරන්න ඉන්නේ!” සඳුනි රත්නාවලී හාමිනේ ළඟින් හිටගෙන රත්නාවලී හාමිනේගෙ පිඟානට බත් බෙදන ගමන් තොරතෝන්චියක් නැතුව කියවනවා!
වෙනදට වඩා ගේ පිරුණු ගතියක් රත්නාවලී හාමිනේට දැනුනා. හැමතැනම අමුතුම සිරියාවක්!
“මම බෙදා ගන්නං. දුවත් වාඩි වෙලා කන්න!”රත්නාවලී හාමිනේ සෙනෙහසින් කෙඳිරුවා.
පින්තූරය අන්තර්ජාලයෙන්!
උපුටා ගැනීම:  Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!