අමල් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වේගයෙන් ගිය පෙජරෝයියගෙන් ආව දූවිලි පාර වලක්කගන්න බස් එකට නගින්න හිටපු සුධර්මා මූන වහගත්තා සාරි පොටෙන්. සැප වාහනේ නොපෙනී යන කොට තමයි දැන ගත්තෙ ඒක ඇමති සමරවික්රමගෙයි කියලා. “ඇමති සමරවික්රම” තමන් මොකටද එහෙම කියන්නෙ ඒක අමල්ගෙ එහෙම නැත්නම් අමල් සමරවික්රමගෙ.
දූවිලි වලාවෙන් මූන වහගත්තට හිතේ විසිරිච්ච සිතුවිලි ටික කොයිම විදියකටවත් වහගන්න සුධර්මාට බැරි වුනා. මේ බස් හෝල්ට් එකටම ඉස්සර පන්ති ඇරුනම තමන්ව හම්බවෙන්න රතු පාට නයින්ටියෙන් ආව අමල්ව ඇයට සිහි වුනා. ඉස්සර වගේම තාමත් අමල් හරිම කඩවසම්. වෙනසකට තිබ්බෙ සරුවට තියෙන බඩ විතරයි. අපි වගේද සැපෙන් සනීපෙන් ඉන්න මිනිස්සුනේ. ඉස්සර ජම්බෙ වගේ කියපු තමන් අද වැහැරිලා ගිහින් දර හැවක් වගේනේද කියලා සාප්පුවෙ වීදුරුවෙන් දැක්ක තමන්ගෙම රූපෙ ගැන ඈ හිතුවා.
බස් එකේ සෙනග අස්සෙ තෙරපෙන කොටත් සුධර්මාගෙ හිත තිබ්බෙ අමල් ලග.
” මොකද්ද අමල් ඊයෙත් ඔයා ගෝරියක් දාගෙන කියලා අයියා ගෙදර කියනවා මට ඇහුනා. මම කොච්චර කියනවද ඔය හන්දියෙ රස්තියාදු කාරයො එක්ක ආශ්රයට යන්න එපා කියලා. කසිප්පු කාරයෝ”
” එහෙම කියල බෑනෙ. ගමේ දෙයක් උනාම අපි නැතුව කවුද මේවට බහින්නෙ. අනෙක පිටින් ඇවිල්ලා ගමේ එකාලට ගහල යනකං ඉන්න පුලුවන්ද එහෙම බලාගෙන. ඕගොල්ලන්ගෙ අයියට හොදයි චීත්තයක් අන්දන්න. “
” අනේ මන්දා දැන් නම් මේ කම්පියුටර් පන්තියත් ඉවර වෙන්න කිට්ටුයි. ඒක ඉවර උනාම නම් හම්බවෙන්නවත් විදියක් නැති වෙනවා. රස්සාවක් හොයා ගන්නකො අනේ. ගෙදරට කියන්නෙවත් කොහොමද ?”
” සමාජ සේවයත් රස්සාවක් තමයි නංගි. පොඩ්ඩක් ඉන්නකො මම පොඩි වැඩකට අත ගහල තියෙන්නෙ. වැඩේ හරි ගියොත් ඕගොල්ලන්ගෙ ගෙදර අයට මම කතා කරන්නෙ ඉජුක් ඉජුක් කියලා”
” ඔයා අපේ ගෙදර අයට එහෙම කතා කරන්න ඉන්නවනම් මං ගැන තියෙන අදහස අතෑරගන්න අමල්. “
” නෑ නෑ මම විහිලුවක් කලේ. මම සභාවට ඉල්ලන්න යන්නෙ. “
සල්ලි ඉල්ලන්න කොන්දොස්තර මහත්තයා ලගට එනකම්ම සුධර්මාට දැනුනෙ නෑ. බහින්නත් කිට්ටුයි. අවුරුදු විස්සක් ගිහිල්ලත් ඉද හිට අමල්ව රූපවාහිනියෙන් දැක්කත් සුධර්මාට කොච්චර හිතුවත් අමතක කරන්න බැරි අතීතෙ හිත කොනිති ගහනවා.
බස් එකෙන් බැහැල ගෙදරට යනකම්මත් සුධර්මා හිටියෙ අතීතයෙ. දොර ඇරගෙන ගෙට යනකොට මගුල් පොටෝ එකේ ඉන්න අශෝක තමන් එක්ක යන්තමින් හිනා වෙනවා වගේ ඇය දැක්කා. කන්තෝරු බෑග් එකම ජීවිතේ වෙච්ච අශෝකව බැදගන්න අන්තිමට සිද්දවුනානෙ කියල සුධර්මා හිතුවෙ නොපහන් හැගීමෙන්.
අමල්ගෙ කල් ක්රියාව එන්න එන්නම නරක් වුනා. උද්ඝෝෂණ , පෙලපාලි හැම එකටම මන්ත්රීගෙ හෙන්චයියල එක්ක පෙරමුනේ හිටියෙ අමල්. එක පාරක් පොලීසියත් එක්ක පැටලිලා ඉස්පිරිතාලෙ ඉන්නකොට බලන්න ගියෙත් ගෙදරට බොරුවක් කියලා. ඉස්පිරිතාලෙ ඇදේ ඉන්නකොට සුධර්මාට දැනුනෙ කියා ගන්න බැරි දුකක්. ඔලුවෙ, කකුලෙ බැන්ඩේජ්.
” අනේ අමල්. මොකද්ද ඔයා මේ කර ගත්තෙ. මම කොච්චර කියනවද ඕවට යන්න එපා කියලා. ඇයි මට මේ වගේ ගින්දර දෙන්නෙ”
” අඩන්නෙ මොකටද සුදු නංගි. තුවාල රිදුනට මේවට හොද මාක්ට් එකක් හම්බවෙනවා චන්ද කාලෙදි. තුවාල වැඩි වෙන තරමට ජනතා ප්රසාදය වැඩියි”
” මොනවද අමල් මේ කියවන්නෙ. ඔහොම ලබන දිනුම මොකක්ද. දැන්වත් ඕක නවත්තලා රස්සාවක් හොයා ගන්න. නැත්නම් ගෙදරින් මාව වෙන කෙනෙකුට බන්දල දේවි.”
අමල් මුකුත් නොකියා සුධර්මා දිහා බලන් හිටියා ඇයට මතක් උනා. ජීවිතේටම අත නොහරින්න අල්ලන් හිටපු අත අමල්ගෙ නොනවතින බල තන්හාව එක්ක ටික ටික අත ඇරුනා නේද කියල ඇයට හිතුනා. ඒක බලයට විතරක් නෙමෙයි තව තව ගොඩක් දේවල් එක්ක ඈදිච්ච තන්හාවක්. ඒ වෙලාවට ගෑනිව විතරක් නෙමෙයි අම්මව තාත්තාව උනත් නොතක ඉන්න පුලුවන් හිතක් මිනිහෙක්ට ඇති වෙන්න පුලුවන් නේද කියල සුධර්මාට හිතුනා.
කුලු මීමෙක් වගේ නොහික්මුණ අමල් එක්ක බැලුවම අශෝක බොහොම නිවුනු කෙනෙක්. ඒත් සුධර්මාගෙ හිත ඉල්ලුවෙම අර කුලු මීමාවම තමයි. කොයි ගෑනිගෙ හිතේ කොනක හරි කුලු මීමෙක් වගේ මිනිහෙක්ට පොඩි හරි කැමැත්තක් තියෙනවද මන්දා. ඇරත් මුලින්ම හිත ගිය මනුස්සයාව කොහොම එක පාරට හිතින් අතාරින්නද.
අශෝක රජයේ කාර්යාලයක පරිපාලන සේවයේ උසස් රැකියාවක් තමයි කරේ. ඒත් අපි හැමදාම එක තැන. කෙනෙක් අත මිට මොලවල දෙන දෙයක්වත් ගෙදර ගේන්න ඔහු කැමති වුනේ නෑ. වචනෙට වගේ සීමා නොවී ක්රියාවෙනුත් බොහොම ප්රතිපත්ති ගරුක මනුස්සයා. බම්බු ප්රතිපත්ති. ගෑණු, ලමයි හිගා නොකා හිගා කනවා. මිනිහා ප්රතිපත්ති රකිනවා. අඩුම තරමෙ හොද වාහනයක් වත් තියෙනවද. අවුරුදු ගානක ඉදන් එකම කාර් එක.
දරුවො දෙන්නා එන්න වෙලාවත් කිට්ටු නිසා සුධර්මා මේසෙට කෑම ටික ඇරියෙ තෝන්තු ගතියෙන්. මෙච්චර වයසට ගිහිල්ලත් හිත මේච්චල් කර ගන්න බැරි වෙලා තියෙන හැටි. ඇය තනියම සිතුවා. ලමයි දෙන්නා එනකොට සුධර්මා හිටියෙ ඇදට වෙලා.
” මොකෝ අම්මෙ, අසනීපයක්වත්ද ?” ලොකු පුතා ඇහුවා. පුතා ඉන්නෙ උසස් පෙල පන්තියෙ. තාත්තා වගේ පරිපාලන සේවයේ රැකියාවකටලු කැමැත්ත. තාත්තාගෙ ප්රතිපත්තිම තමයි. හරිම නිවිච්ච තැන්පත් දරුවා.
” නෑ පුතේ . අව්වෙ ගිහින් ඇවිල්ලා ඔලුවෙ කැක්කුමයි.” සුධර්මා කිව්වා.
පොඩි කෙල්ල ටයි පටිය ගලවන ගමන් කාමරේට එබුනා.
” අම්මේ. අද සමරවික්රම ඇමතිතුමා ආවනෙ ඉස්කෝලෙට. ප්රදර්ශනේ විවෘත කරන්න. අම්මා අදුනනවා නේද ඉස්සර දවසක් මාමා කිව්වෙ ගේ ලග කියලා. මම හිටියෙ බුලත් අත දෙන්න. කියන්නත් හදල මම සුධර්මාගෙ දුව කියලා ආයි නිකං හිටියා. ” කෙල්ල කිව්වා.
” විකාරද ලමයො ඕවා කියන්න යන්නෙ. ඇරත් ඒ මිනිස්සුන්ට අපිව මතකද දැන් ඔච්චර ලොකු තානාන්තර දරද්දි. ඔය ඇදුම් මාරු කරගෙන කෑම ටික කන්න. මට නිදාගන්න දීල.”
” මොකද්ද අම්මෙ ඔය තානාන්තරේ ඔච්චර ලොකු කම. පොඩි මිනිහගෙ උදව් අරන් එතනට ගිහින් පොඩි මිනිහව අමතක කරල දාන. ඒකට බලන්න අපේ තාත්තා. ඊට කොච්චර හොදද. ජීවිත කාලෙම මිනිස්සුන්ට කරන්නෙ සාධාරණ සේවයක්නෙ “
සුධර්මා මූනෙ මතුවෙච්ච හැගීම අසීරුවෙන් යටපත් කරගන්න උත්සාහ කරා. කොල්ලා ඇයගෙ හිත කියවල හීනියට ටොක්කක් ඇන්නද මන්දා සුධර්මා හිතුවා. මගුල් පොටෝ එකේ ඉන්න අශෝකගෙ මූන වෙනදටත් වඩා ලස්සනට සුධර්මාට පෙනුනා.
(පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි )
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!