මේ සිද්දිය වෙන්නේ එකෝමත් එක කලෙක (දැනට අවුරුදු 5 කට කලින් විතර කලින්) මමතුමී උසස්පෙළ එහෙම ලියලා ඉවරවෙලා රටේ නමගිය ආයතනයක වියාපාර කළමනාකරණය ගැන ඩිප්ලෝමාවක් හදාරන අවධියේදී. කවුරුත් දන්නවනේ මමතුමී ඉතින් ගමේ ගොඩේ විත්තිය. හැබැයි ඩිප්ලෝමාව කරන්න මම තෝරා ගත්තේ අදාල ආයතනයේ කුරුණෑගල ශාකාව. ඒකට හේතු කීපයක් තිබුණා. කොහොම වුනත් හැමදාම ගෙදර ඉඳන් යන්න එන්න බැහැනේ. ඒ නිසා ලඟින්ම බෝඩිමකුත් හොයා ගත්තා. මගේ ඉස්කෝලේ අතිජාත මිතුරියත් මමත් එක්කම හිටියා ඉතින්.
කොහොමින් කොහොමින් හරි ඔන්න මමතුමී ප්රශ්නයක් නැතුව වැඩේ ඇදගෙන යනවා. හේතුව මොකක්ද මන්දා ඉගෙන ගන්න එන කොල්ලෝ (batchmates ලා කියමුකෝ) අතරේ මාව ටිකක් ජනප්රියයි. හිටිය ටික කාලෙට සැහෙන දෙනෙක් මමතුමි එක්ක යාළු වෙන්න ඇහුවට, ඒ අහපු කාටවත් හිත දෙන්න හිතුනේ නැහැ නෙව. (ඔව් සහෝදරවරුණි, තවමත් තනිකඩ වෙන්න ඒ පව් බලපාන්න ඇති නේද ?) හැබැයි ඉතින් එහෙම වෙද්දී එයාලා ටිකක් අප්සට් යන්න ඇති මමත් එක්ක.
ඔහොම ඔහොම ගිහින් අන්තිම වාරේ අන්තිම විබාගේත් අවා. මේ ඩිප්ලෝමාව කරන අය දන්නවානේ ඉදිරිපත් කිරීම් (Individual presentation exams) එහෙමත් කරන්න වෙනවා කියලා විබාගේ ලකුණු ගන්න. ඔන්න ඉතින් ඒ දවස උදා වෙනවා සහෝදරවරුනි. හැබැයි හීනෙන්වත් නොහිතපු දෙයක් සිද්ද වුණා මට.
ඊට කලින් දවස් තුනේ කිසිම විභාගයක් තිබුනේ නැති නිසා මම හිටියේ අපේ ගෙදර. කලින් දවසේ කුරුණෑගල බෝඩිමට ගිහින් ලෑස්ති වෙන්න කියලා අම්මා කොච්චර කිව්වත්, මමතුමී බලන් හිටියේ එදා උදෙන්ම යන්න. මේ වැඩේට අලුතින්ම ගත්ත සුදු අත් දිග බ්ලවුස් එකයි කළු කලිසමයි දෙකම බෝඩිමේ තියලා අවේ එදා උදේ බෝඩිමට ගිහින් ලෑස්තිවෙලා කිරි ටෝයියෙක් වගේ යන්න හිතාගෙන. (මේවා කරපු අය දන්නවා ඇතිනේ presentation දවසට යන්න ඕනි විදිය ගැන) බෝඩිම ළඟ නිසා ඉතින් පහසුයි නේ. ඔන්න ඉතින් කළින් දවසේ හොඳටම සුදානම් වෙලා එහෙම හිතට ගැම්ම අරගෙන අතට අහු වුන ඇඳුමකින් සැරසිලා කුරුණෑගලින් බහින්න හිතාගෙන උදෙන්ම නැග්ගා කදුරුවෙල ඉඳලා කොළඹ යන බස් එකකට. ඉඳගත්ත වෙලේ ඉඳල මමතුමී දොයි. ඇයි කළින් දවසේ මහන්සිවෙලා රෑ වෙනකම් සුදානම් වුණා නෙව. කොන්දොස්තර අයියා ටිකට් එක දුන්නා නම් මතකයි.
ඇස් ඇරලා බලද්දී එළිවෙලා. බස් එකේ සෙනඟ එකයි. මේ කොහෙද බලන්න වටපිට බලද්දී තමයි දැක්කේ කඩේක බෝර්ඩ් එකක තියෙනවා අලව්ව කියලා. හිටගත්තා නෙමෙයි සහෝදරවරුනි උඩ පැන්නා කිව්වොත් නිවැරදියි. මම බහිනවෝ කියාගෙනම සෙනඟ පිරගෙන දොරක් පැත්තට පැන්නා. කකුල් එහෙම පෑගිච්චි අය බනිනවත් ඇහුනා ඉතින්. අලව්වේ බස් එක කොහොමත් නවත්වනවා නේ. අම්මෝ බැස්සා නෙමෙයි පැන්නා ඒකෙන්. වෙලාව බලන්න මොබයිල් එක ගන්න තරම් වත් වෙලාවක් නාස්ති නොකර එහෙමම අනිත් පැත්තට දිව්වා. හොඳ වෙලාවට කුරුණෑගල යන බස් එකක් තිබිලා දුවගෙන ගිහින් නැග ගත්තා. දෙයියන්ගේ පිහිටෙන් කුරුණෑගලට එත්දී යන්තම් උදේ 9.20 වෙලා තිබුණා. Exam එක 9.30 ට පටන් ගන්නවා. මොකද ලිස්ට් එකේ මුලින්ම නම තිබුනේ මගේ. බෝඩිමට යන්න වෙලාවක් ඉතුරුවෙලා නැහැ. වෙලාව පහු වුනොත් බැනුම් අහන්න විතරක් නෙමෙයි ලකුණු අඩු කරන්නත් ඉඩ තියෙනවා කියලා මමතුමි හොඳින්ම දන්නා නිසා සුදු කිරි ටොයි ඇඳුම අමතක කරලා ක්ලාස් රුම් එකට දිව්වා. තව විනාඩි දෙකක් ඉතුරුයි. ඉක්මනට වොෂ් රුම් එකකට ගිහින් දාඩිය ටික පිහිදාගෙන, අවුල් වෙලා තිබුණ කොන්ඩෙත් අතින් හදාගෙන උඩට ඇවිත් තිබුන ඇඳුමත් යට කරගෙන කන්නාඩිය ඉස්සරහ වටයක් කැරකිලා හිත දයිර්ය කරගත්තා. වතුර බෝතලේ ඇදල අරගෙන උගුරු දෙකක් බිව්වා. ඇයි ඉතින් මෙහෙම ඇඳගෙන Exam presentation කරන පළවෙනියා මම වෙන්නනේ යන්නේ දෙයියනේ. උදේ හදිසියට අඩුම තරමේ ඩෙනිමට වෙනදා හැමදාම දාගෙන එන බෙල්ට් එක වත් දාලා නැහැ. ඇයි ඉතින් බෝඩිමට ගිහින් හැඩ වැඩ වෙලා එන්නනේ හිතන් හිටියේ.
ඉතුරු හරිය වුනේ stage එකට යද්දී දෙයියනේ. ඇයි ඉතින් කිරි සුදු කොක්කු රෑනක් මැද්දේ නිල් කොකියක් වගේ නිල් ඩෙනිමකිනුයි නිල් ටීෂර්ට් එකකිනුයි බැබලෙනකොට. කෙලවරකින් පටන් ගත්ත සූ සද්දේ පන්තිය පුරාම පැතිරිලා ඉවර වුනේ විනාඩි පහකට විතර පස්සේ සර්ලා එත්දී තමයි. මාත් එක්ක තරහින් හිටිය කොල්ලෝ ටික හිතේ හැටියට එතකන් සූ කිව්වා. සර්ලා මම දිහා පුදුමවෙලා වගේ බැලුවට මගේ ඉදිරිපත් කිරීමට A සාමාර්ථයක් දීලා තිබුණා එදා.
පස්සෙයි දැක්කේ එදා මට ටිකට් දීලා තියෙන්නේ කොළඹටම කියලා. නිදිමතේ මොනවා හරි කියලා සල්ලි දෙන්න ඇති මම. හැබැයි එදා ඉඳල නම් මේ වෙනකන් බස් වල යද්දී නින්ද ගියේ නම් නැහැ. හොඳම පාඩමක් වුණා ඒක.
ඔය පහල ඉන්නේ එදා වැඩ ටික සාර්ථකව ඉවර කරලා සතුටින් ඉන්න මමතුමි තමයි ඉතින්. මොනවා වුනත් ඒ දවස්වල කොන්ඩේ ටිකක් කොට වෙන්න කපලා හිටිය නිසා හදිසි වෙලාවේ කොන්ඩේ හදාගන්න යන්න තිබුන වෙලාවත් ඉතුරු වුණා සහෝදරවරුණි.

උපුටා ගැනීම: Kasuni Amaya Weerasinghe