අම්ම හවුස්! (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
‘අම්මා, අම්මා’
‘ආ..,,සුදුපුතා…..’
‘ අයි වෝන්ට් අම්ම හවුස්’!
මේ දෙබස අඩුම ගානේ දිනදෙකතුනකට වරක්වත් අපේ කුස්සියෙන් ඇසේ. ඒ මගේ බිරිඳ හා යාබද නිවසේ වෙසෙන කුඩා දරුවා අතරයි.
හුරතල් පෙනීමක් ඇති වයස අවුරුදු හතරක් පමණ පමණ වන ඒ හුරුබුහුටි දරුවාට සුලු කථන දුර්වලතාවක් ඇත. මෑතක සිට ජාත්යන්තර පාසලක පෙරපාසලට යනබැවින් ඉංග්රීසි වචන කීපයක් ගලපා කථාකිරීමට හැකියාව ලැබී ඇත.
යාබද නිවසත් අප සිටිනා නිවසේ කුස්සියේ ජනේල පිහිටා ඇති ස්ථානයත් අතර පැරණි නිවසක කඩා දැමූ කොටසක් ඇති නිසා ඒ බැම්ම ලඟට පමණයි ඔහුට ඒමට හැක්කේ.ඔහු මගේ බිරිඳට ‘ අම්මා’ , මට ‘සීයෝ ‘ හා අපේ පුතාට ‘ අයියෝ ‘ යනුවෙන් ද අමතයි!
ජනේලය අසලට එන ඔහු ‘ අම්මා අම්මා ‘යනුවෙන් අපෙන් යම් ප්රතිචාරයක් ලැබෙනතුරු හඬනගයි. අපගෙන් කිසිවකු හෝ කතාකලවිට අනිත් අයගැන ‘වෙයාරිස් අයියෝ? , වෙයාරිස් සීයෝ ? ‘ යනුවෙන් විමසයි.
එතැනට එන ඔහුට කීමට බොහෝදේ ඇත.ශරීරය හැඩගසමින් අතපය වනමින් ශබ්දනගා කියනා කිසිවක් අපට නොතේරේ. එසේ වුවත් ඔහු කියන්නේ ඔහු දුටු හෝ ගෙදර සිදුවූ යම් දෙයකි. මගේ බිරිඳ ද කිසිවක් නොතේරුනත් ඒ සියල්ල අසා සිටින ගමන් ම. ‘ ආනේ ඇත්තද පුතේ..’ යි ඇසූවිට ‘යස් ‘ යයි ඔහු පිලිතුරු දෙයි.
ඔහු යම්. ප්රීතිමත් සිදුවීමක් ගැන කියනාබව සිනාසෙමින් ඒ ගැන කීමෙන් අපට තේරුම් යන බැවින් එවැනි අවස්ථාවලදී ‘ ෂා ෂෝයි නේ’ යයි පිලිතුරක් ලැබීම ඔහුට අපූරු නැටුමක් නටා පෙන්වීමට ප්රමාණවත් ය. එයට අපෙන් අත්පොලසන් නාදයක් ලැබීමත් ඔහුට තවත් සතුටකි.
මේ හැම අවස්ථාවකදීම ‘අයි වෝන්ට් අම්ම හවුස්’. ඒ ඔහුගේ ඊලඟ ඉල්ලීමයි.අපේ නිවසට ඒමට උවමනා බව ඔහු කියන්නේ එසේයි. අපේ නිවස ‘අම්ම හවුස්’වනවිට ඔහුගේ නිවස ‘බබා හවුස්’ය.අපගේ නිවසට ඒ නිවස දෙසින් ඇතුලුවන තැන කුඩා ගේට්ටුවක් ඇති නිසා ඔහුට ඒමට එය විවෘත කරදිය යුතුය.මා ගේට්ටුව ලඟට ඒමට ප්රමාදවුවොත් එතනට වී ‘සීයෝ සීයෝ’ කියා කෑගසයි.
නිවසට පැමිනෙන ඔහුට සියලුම කාමරවලට,උඩ තට්ටුවට, රවුමක් යාමට උවමනායි! ඒවායේ ඇති කිසිවක් ඔහු අදින්නේ නැත.ඇතම්විට යමක් දැක ‘ඕ වෙරි නයිස්’කියයි. යම් දිනයක’ වෙයාරිස් අයියෝ ‘ යයි විමසූවිට ‘ අයියා ඉස් ස්ලීපිං’ යයි පිලිතුරක් අපගෙන් ලැබුනොත් ඔහු පඩිපෙල නගින ගමන් කටට ඇඟිල්ල තබා’ ෂ් ඩෝන්ට් ශවුට්’ ! යයි අපට උපදෙස් ද දෙයි!.
රූපවාහිනී යන්ත්රයේ යූ ටියුබ් දමා දුන්විට ඔහුට රිමෝට් එක උවමනාවේ. තමා කැමති ලමාගීතයක් තෝරාගෙන බලන ඔහුගේ අර අපූරු නර්තනය බලාගැනීමට අපට අවස්ථාවක්ද ඉන් ලැබේ.
කථන දුර්වලතාවක් ඇතත් අප කියනා ඕනෑම දෙයක් වහා වැටහෙන නුවණක් ඇති මේ දරුවා තම පියා ගෙදර සිටිනා දිනවල පියාගේ පස්සෙන්ම යනවා මිස අපේ නිවස දිහා බලන්නේවත් නැත.!
දිනක් යම් කාර්යයක් සඳහා පැමිණි අයෙකු සමග මොහුගේ පියා නිවසේ පිටුපස පෙදෙසට යනු අප දුටු අතර ටික වෙලාවකින් එතනින් මේ කුඩා දරුවා විදුලියක් සේ ඉගිලෙනු දක්නට ලැබුණි. ‘ ආ .. සුදුපුතා.. කොහේද යන්නේ.. ‘ බිරිඳ එසේ විමසන විටත් ඔහු අපට නොපෙනෙන මානයටම ගොස් අවසන් ය. එසේ වුවත් මගේ බිරිඳගේ හඬ ඇසුණු වහා ආපසු හැරුණු ඔහු පේනතෙක් මානයට අවුත් පියා ගිය දෙසට අත දිගුකර ‘ ඩැඩා ගොයිං , අංකල් ගොයිං , බායි අම්මා’ යි කියා ඒ පැත්තට දිවගියේය. කොතරම් කාර්යබහුල වුවත් තමා ආදරය කරන අයට අවධානය යොමුකිරීමේ යහපත් ගුණාංගය කුඩා කලම ඔහුට පිහිටාතිබීම පිලිබඳ ව මම පුදුමයට පත්වුනෙමි.ඒ බව ඔහුගේ සීයාටද කීවෙමි.
මේවර කොවිඩ් දෙවන රැල්ල ඇතිවූ පසුව එම දෙම්ව්පියන් දරුවා අපගේ නිවසට එවීමට කැමැත්තක් නොදැක්වූයේ එසේ කිරීම දෙපාර්ශ්වයටම හොඳ යයි ද , දරුවාට දෙපැත්තෙන් ම අවදානමකට මූණ දීමට වනබැව්ද ඔවුන් සිතූ බැවිනි. සීයා ඌවා වී ඇතිබැවින් අපේ නිවසට යාමට නොහැකි බවට දරුවාට දැනුම්දී ඇතිනිසා ජනේලය ලඟට හෝ වැට ලඟට පැමිණ කථාකිරීමට පමණක් ඔහුට හැකියාව ලැබින. මා අසනීප වී ඇතිබව ඔහුට කීවිට ‘ ඕඔ’ යයි කියයි.
ටික දවසක් යනවිටත් අසනීපය සුවනොවීම ඔහුට ගැටලුවක් වී ඇතිබව පෙනුනි.මේ නිසා ඇතැම්විටක ඔහු අප සමග අමනාපයක් පෙන්වමින් කිසිත් නොකියා ඔහුගේ නිවසේ අපේ පැත්තට ඇති අයින දිගේ එහාටමෙහාට ඇවිදියි. හොරැහින් අප දෙසද බලයි! කථාකලත් කිසිත් නොකියයි!
ඒ වෙලාවට ලබාදීමට මා රසකැවිලි ගෙනැවිත් තබන අතර ඔහු ඒ ඕනෑම දේකට කියන්නේ කැන්ඩි කියායි. ‘ පුතා කැන්ඩි දෙන්නද..’ යි විමසූවිට වහාම වැට ලඟට අවුත් එය ලබාගන්නා ඔහු එහා ගෙදර යමෙකු සිටීනම් ඔවුන්ටද එය පෙන්වමින් මහා වස්තුවක් ලැබුනාසේ රැගෙන යයි. දෙන ඕනෑම දෙයක් බාරගනියි. ‘ මේවට ආසද’ යි ඇසූවිට ‘යස් අයි ලයික් ඉට්’ කියයි. ඒවා ගෙනගොස් ශීතකරණයේ ඔහුට වෙන්කර තබා ඇති භාජනයක ඒවා රැස්කරගනියි.
පුද්ගලික ආයතනයක සේවය කරන ඔහුගේ පියාට නිතරම ප්රියසාදවලට ඇරයුම් ලැබෙන බැවින් ඒවාට සහභාගි වන අතර මෑතකදි තිබූ සාදයකට සහභාගි වූ අයෙකුට කොරෝනා ආසාදිත බව හෙලිවීම නිසා ආශ්රිතයෙක් වී පීසීආර් එකක් කල අතර ඔහුට රෝගය වැලඳී තිබූබව තහවුරු වීමෙන් අනතුරුව ගෙදර සියලුදෙනා ම පරීක්ෂා කලත් දරුවාගේ අම්මාට පමණක් වැලඳී තිබූ නිසා දරුවා ආච්චි සීයා ලඟ නවතා මව්පිය දෙදෙනාම නිරෝධායනයට රැගෙන යනලදී.
අද උදෑසන ජනේලය ලඟට පැමිණ ‘ අයි වෝන්ට් අම්ම හවුස්! ‘ යයි මේ හුරතල් පැටියා කීවේ කණගාටුවෙන් බිමට හරවාගත් මුහුණෙනි.
මේ කොරෝනා කුඩා දරුවන්ගේ ලෝකයද විනාශ කරමින් සිටියි.!
උපුටා ගැනීම: Channa Witha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!