මීට අවුරුදු දහසයකට විතර උඩදී රාගම ඉස්පිරිතාලේ අපේ අම්මා හිටිය වාට්ටුවේ උන්නු පොඩි දොස්තර තමා එහෙම කිව්වේ.ඒ දොස්තරගේ නමත් ඉරන්ත. මම දැකලා නැහැ . හැබැයි අම්මා ඉස්සර කියන හැඩරුව අනුව මම පොඩි දොස්තර මෙහෙම වෙන්න ඇති කියල හිතින් මවා ගත්තා.එතකොට මට පහලවයි.
ජීවිතේ අපිට හැමදාමත් සටන් කරන්න, අරගල කරන්න වෙනවා.
සාමානය පවුලක් වුනු අපිට ජීවත් වෙන්න කරන්න වුනු අරගලය ලේසිම නැහැ.
කාලය බොහොම වේගෙන් ගලාගෙන ගියා.අම්මා රාගමින් මහරගම ඉස්පිරිතාලේට මාරු කලා.
තාත්තා තමා මාවත් චූටි අක්කවත් ජීවත් කලේ.
අපි ඒ වෙද්දි ගෙදරක කරන වැඩ මොනාද කියන දේ දැනගෙන හිටියා.
ලොකු අක්කා ඒ වෙද්දි කොන්වන්ට් එකේ හිටියේ.
අම්මා මහරගම ඉස්පිරිතාලේ ගිය දවසේ ඉඳලා අපි ජීවිතේ යතාර්තය ඒ විදිහටම දැක්කා.
හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සූ, අපි එහෙම තමා හිතන්නේ.හැබැයි ඒක එහෙම නෙමේ. අර පැන්ඩෝරා දෙවඟනගේ කතාවේ එන්නා වාගේ මිනිස්සුන්ගේ ඇතුලේ හොඳ නරක දෙකම තියෙනවා.ඒක එකට බද්ධ වෙලා.වෙන්කරන්න බැරි විදිහටම.මම දැකලා තියෙනවා සල්ලි වලට ලේ පයින්ට් එක විකුණන මිනිස්සූ. ඒ වගේම මැරුණු ලෙඩාගේ ඉතුරු බෙහෙත් ටික හොරෙන් විකුණන මිනිස්සූ . හැබැයි ඒ හැම මනුස්සයෙක්ම හොඳද නරකද කියල අපි කොහොමද විනිශ්චය කරන්නේ.
මෙන්න මේ සුදු,කලු,අලු යතාර්තය අපි හොඳටම අත්වින්දා.
දැනටත් මට අම්මා කිව්වම මතක් වෙන්නේ ගෙදර සාලේ ඉස්සරහා බිම බෝගන්විලා හෙවන යට තද රෝස පාට ගවුම ඇඳගෙන ඉන්න තට්ටේ තියෙන රූපෙ.අපේ අම්මා හරි ලස්සනයි.
අම්මා ජීවත් වෙන්න විඳපු දුශ්කරතාවන්, වේදනාවන් දරාගෙනම පිලිකාව එක්ක සටන් කරලා එයාගේ ජීවිතෙන් තවත් අවුරුදු හයක්ම අපි වෙනුවෙන් ජීවත් වුනා.
එදා එයා පැරදුනු දවස… ඒක කොහොම අමතක වෙන්නද.
ඒ අවුරුදු දහයකට කලින් .
ඒ වෙද්දී අපි ජීවිතේ හොඳට පදම් වෙලා.
චූටි අක්කා කැම්පස් පාස් උනත් එයා ගියේ නැහැ .
මට නම් එහෙම ලොකුවට ඉගෙන ගන්න ,ලොකුවට සල්ලි හොයන්න උවමනාවක් තිබ්බේ නැහැ . ඒ වගේම එහෙම අරමුණක් කියලත් තිබුනෙ නැහැ.
ජීවිතේ ඇත්තටම සංකීර්ණයි . අම්මා නැති වෙලා අවුරුදු දෙකක් ගෙවුනු තැන තාත්තත් ගිහින් නැවතුනේ මහරගම.
ඒ වෙද්දී අපි ජීවිතේ ජීවයෙන් පිරිලා ඉතිරෙන තරුණ කාලේ පටන් ගත්තා විතරයි.
තාත්තාට ලොකු කාලයක් සටන් කරන්න ඉඩලැබුනේ නැහැ. එයා බොහොම ඉක්මනටම පරාද වුනා.
අම්මාගේ හුස්ම නැවතුනු තැනටම බිත්තියක් දෙකක් එහායින් පිරිමි වාට්ටුවේ මහා පාන්දරක මගේ ඉස්සරහම එයා නතර වුනා.
පිරිමි හැටියට සමහර වෙලාවල් තියෙනවා අපිට කඳුලු හංගගෙන වැඩ කරන්න. ජීවිතේ එහෙමයි.
මම ජීවිතේ වැඩිපුරම කියෙව්වේ මහරගම ඉස්පිරිතාලෙ බෝධිය ලඟ. එතනට එන මිනිස්සුන්ගේ කතන්දර මාරයි. අපි මොනවද දන්නේ, අපිට මොනවද වෙලා තියෙන්නෙ කියල හිතෙනවා ඒව අහද්දි. ජීවිතේ දිනපු මිනිස්සු හැමෝම වීරයෝ නෙමේ වගේම පැරදුනු මිනිස්සුත් ඉන්නවා වීරයෝ.
ඒ පැරදුනු හැමෝම කාගෙම හරි ජීවිතේක වීරයෝ.
අපි හැමදාම නින්දට යන්නේ පහුවදා දවසේ එලිය දකිනවා කියන දෙයින් .ඒක අපි ආයාසයෙන් හිතන්නේ නැහැ තමයි , හැබැයි ඒක එහෙමයි.
මහරගම ඉස්පිරිතාලෙ ඉන්නේ වැඩිහරියක් ඒක බලාපොරොත්තුවක් විතරක් වුනු මිනිස්සු.ජීවිතේ ඉල්ලන මිනිස්සු වගේම එපා කියන මිනිස්සු ඒ වගේම ඒ කිසිම දෙයක් ගැන හිතනවද නැද්ද කියල පිටින් පේන්නේ නැති මිනිස්සුත් ඉන්නවා.
ජීවිතේ කියන්නේම තීරණයක්. ඒ අපි ජීවිතේ බාරගන්නවද ,එපා කියනවද කියන එක.
මම ජීවිතේ බොහොම සතුටින් ඉන්නේ. අපි සතුටින් ජීවත් වෙන්න තීරණය කරන තාක් කල් අපි ජීවත් වෙනවා.
අන්න ඒ අමුතු දේ මම දැක්කේ මහරගම අපේක්ශාවේ බෝධිය ගාව මුමුණන දහසක් එකක් ජීවිත කතන්දර වලින්.හරියට අපේ අම්මගේ තාත්තගේ කතාවල් වගේ.
හැබැයි ජීවිතේ තවම ඉවර නැහැ.
“අම්මා ජීවිතේ හරිම සංකීර්ණයි හැම වෙලේම ශක්තිමත් වෙන්න”
මේ වචන ඇතුලේ අදටත් මම ජීවත් වෙනවා.
( පිලිකාවක් එක්ක සටන් කරන හැම ජීවිතයක්ම දිනන්න ඕනේ. )
උපුටා ගැනීම: Irantha Fernando