අම්මා (කෙටි කතාව) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“වෙන කරන්න දෙයක් නෑ මදාරා.. ඔයාලගේ අම්මට එන්න කියන්නම වෙනවා…”
“වෙන ඕන කෙනෙක් ගෙන්න ගමු අසිත එයාව නම් එපා…”
එකල මාද මාස තුනක ගැබක් දරා සිටින මවකි.. නමුත් මට කිසිලෙසකින් හෝ ඇයව උවමනා නොවූයේ මව යැයි මට ඇගේ දැකුම පවා මහත් හිසරදයක් වූ නිසාවෙනි… කැඩපතින් මා මගේ රුව දකිනා සෑම විටකම මගේ මව කෙරෙහි උපන්නේ සැබෑම කෝපයකි.. තඹ පැහැති කෙස් කලඹත් ඇලි බවට ආසන්න වූ සුදත් සැමදා සමාජය විසින් අවලාද නගා මා කොන් කර දැමීය..
“ඇයි මදාරා ඔයා අම්මාට ඔච්චරම අකමැති? එයා තාමත් හොටෙල් ක්ලීන් කරන නිසාද..?”
“මම බබෙක් නෙවෙයි අසිත.. හොටෙල් ක්ලීන් කරනවා නම් එයාට කොහොමද ඔය තරම් සල්ලි..? හැමදේම තේරිලත් නොතේරෙනවා වගේ කතා කරන්න එපා ඔයා.. මාව සනසවන්න.. එයාට මම සමාවක් දෙන්නේ නෑ.. කවදාවත් …
ඔයා මම උනා නම් මට දැනෙන දේ තේරෙයි අසිත.. මට පොඩි කාලෙම ඕන උනා නම් කෙනෙක්ගෙන් ඈත් වෙන්න ඒ තමයි මගේ අම්මා…”
එයා මාව මේ විදියට මේ ලෝකෙට බිහි කරපු එක නිසා කොච්චර අවලාද ඇහුවද කියලා දන්නේ මන් විතරයි… ඒක නිසා මට එයාව දකින්නවත් ඕනකමක් නෑ.. ආය කොහොමටවත්..”
මගේ මව මා මතක ඇති කාලයේ පටන්ම රැකියාව ලෙස සිදු කලේ සංචාරක බංගලාවන්හි පිරිසිදු කිරීමේ කටයුත්තයි… එසේ වුවත් අපට මිල මුදලින් කිසිදු අඟහිඟකමක් නොවීය.. එතරම් කුඩා රැකියාවක් සඳහා එතරම් ගෙවීමක් කරනවාද යන්න මා කොතරම් විමසුවත් කිසිදාක මවගෙන් මට පිලිතුරක් ලැබී නැත..
එමෙන්ම මා කිසිදිනක හෝ මගේ පියා දැක නැත.දිනෙන් දින මා දැනුම් තේරුම් ඇති දැරියක වන විට ගම්මුන් මා දුටු තැන අවලාද නගා සිනාසුනා මට හොඳින් මතකය..
පාසලේ සිට නිවසට ආ සෑම දිනකම මා මව හා උරණ වෙමින් හඬා වැටුනේ ලමුන්ගේ නිමක් නොවූ උසුලු විසුලු නිසාවෙන්මය..
මිනිසුන් අතර මා හට ප්රේම කල මා කොන් නොකල සදාකාලිකවම මා ඔහුගේම කරගත් එකම පුද්ගලයා අසිත පමණකි… ඔහුගේ මව හා පියා දෙදෙනාම කුඩා කලම අහිමි වූ බැවින් ඔහුගේ බිරිය මා වනවාට කවරෙකුගෙන් වත් තහංචි නොවුනි.. දිවියේ මා ලද එකම භාග්ය වූයේ එය පමණකි..
කුඩා කල ගම විසීම අප්රිය වූ තැන මා කනේරු කා මියදෙන්නට ගියත් එයිනුත් කෙසේ හෝ මගේ දිවි ගැලවුනේ දෛවය නිසාවෙන්ම වන්නට ඇත..
මා මියයන්නට තැත් කල නිසාවෙන්ම මව විසින් මා නගරයේ පාසලකට ඇතුලු කලේ නගරයහි මිනිසුන් ගමට වඩා සම්ප්රදායික අදහස් නොදරන බැව් කියමිනි..
නමුත් එහිදී වූයේ පෙර ලෙසම මා කොන්වීමත් සමච්චලයට ලක් වීමත් පමණයි… සියලු දෙනාම මගෙන් පියා ගැන විමසද්දී අසරණව හැඬූ හැටි මට හොඳින් මතකය..
මගේ දරු ගැබට මාස 8 ක් පිරෙනා තැන මා බොහෝ සෙයින් දුර්වල වූයේ රක්තහීනතාවය හා ඒ වනවිටත් නිදන්ගතව පැවති වකුගඩු රෝගය නිසායි… ඒ වනවිට මගේ සියලු කටයුතු තනිව කිරීමේ හැකියාවක් නොවූ බැවින් අසිත විසින් මගේ අකමැත්තෙන් වුවත් මව කැටුව ආවේ මගේ සත්කාරය සඳහායි…
“මොකද්ද අසිත මේකෙ තේරුම..? මං ඔයාට කිව්වා මං මෙයාව දකින්නවත් කැමති නෑ කියලා..”
“පිස්සු නටන්න එපා මදාරා.. ඔයා දරුවෙක් බඩේ තියාගෙන ඉන්නේ.. දැන්වත් ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරලා දාලා දරුවා ගැන හිතන්න..”
“මං දන්නවා පුතේ ඔයා මට කැමති නෑ කියලා… ඒත් දැන් ඔයා ඉන්න තත්වෙ ගැන හිතන්න.. දරුවා ගැන හිතලවත් තරහා අමතක කරන්න..”
කෙසේ හෝ අවසානයේ මා ඊට එකඟ වුවත් ඈට කිසිදා සමාවක් දීමට මගේ සිත නැමුනේ නැත… නමුත් සියල්ල වෙනස් වූයේ මා නොසිතූ ලෙසටයි..
එදින පටන් මගේ සියලු කටයුතු එකක් නෑර ඇය අතින් සිදු වූයේ මා අන්ත අසරණ බවට ඇද දමමිනි…
එක් රැයක හදිසියේම මගේ යටිකයෙන් රුධිරය වෑහී ගියේ මහත් වූ වේදනාවක් නැගෙමිනි… ඊටත් වඩා මට බියක් දැනුනේ මගේ කුසෙහි වැඩෙනා ප්රාණයට අනතුරක් වේදෝ ඇති වූ බියෙන්..
“අසිත.. අ.නේ.. මට අමාරුයි.. අනේ අසිත.. එන්නකෝ…”
“පුතා ගෙදර නෑ දරුවෝ.. කලබල නොවී ඉන්න මගේ දුව අපි ඉක්මන්ට යමු හොස්පිටල් එකට…”
“අ..ම්.. මේ.. මගේ ද..රු..වා..”
“මගේ අත හයියෙන් අල්ලගන්න පුතේ.. අල්ලගන්න මගේ දෝණි.. ඉවසගෙන ඉන්න.. තව ටික දුරයි..”
ඇගේ උකුල මත හිස තබා ගෙන ඇගේ දෑතෙහි වාරුවෙන් සියල්ල මා දරාගත්තේ දිවියේ මා මුහුණදුන් අසීරුම කඩයිමයි.. තවත් මට ඈට වෛර කිරීමේ සිතක් නොවීය.. මගේ දරුවාගේ ප්රාණයේ වටිනාකම දැනෙද්දීම මට පෙර ගෙවුනු කාලය පිලිබඳ පසුතැවීමද ඇති විය…
ඉන් දින ගණනාවකට පසු මා සිහි එලඹෙනා කල අසල වූයේ මගේ කුඩා පුතු හා අසිතයි…
“අසිත.. කෝ අසිත අම්මා..?”
ඔහුගේ දෑස් හොඳින්ම කඳුලින් තෙත් වෙමින් ගියේ මා හට ප්රශ්නාර්ථයක් ඉතුරු කරමිනි…
“කතා කරන්න අසිත කෝ අම්මා..?”
“අම්මා ඉන්නවා මදාරා.. ඒත්…”
“ඒත් මොකද්ද අසිත.. මගේ අම්මා කොහෙද කියන්න..”
පය තැබීමට වාරු නොවූයෙන් මා රෝද පුටුවෙහිම තබාගෙන ඇතුලු වූයේ රෝහලේම දැඩිසත්කාර ඒකකයටයි..
“අනේ අසිත ඇයි මේ.. ඇයි අපි මෙහෙට ආවේ.. මට අම්මාගෙන් සමාව ගන්නයි ඕන..”
“මදාරා ඇතුලට යන්න කලින් ඔයාට දෙයක් තියනවා කියන්න.. ඔයාගේ තාත්තා ගැන…”
“මට ඒ මිනිහා ගැන දැන ගන්න ඕන නෑ.. මට ඕන මගේ අම්මව බලන්න.. මට මගේ කියලා ඉන්නේ එයා විතරයි..”
“අම්මා තමා කිව්වේ මේ දේවල් ඔයාට කියන්න කියලා.. ඔයාගෙ තාත්තා ඔයාගෙ අම්මා වැඩ කරන හොටෙල් ගෲප් එකේ ඕනර්.. ස්මිත්.. ඒ මනුස්සයා ෆොරින් කෙනෙක්.. ඒ වගේම ඔයාලා අම්මාට එයාව හම්බවෙද්දී ඒ මිනිහා බැදපු කෙනෙක්.
එහෙම නොදැනයි ඔයාලගෙ අම්මා එයා එක්ක සම්බන්ධයක් ඇති කරන් තියෙන්නේ.. ඔයා ලැබෙන්න ඉන්නවයි කියලා දැනගත්තම ඔයාගෙම තාත්තා ඔයාව මරන්න හදලා…. ඒත් ඔයාගේ අම්මා තර්ජනය කරලා එහෙම කරොත් ඒ හැමදේම ස්මිත් ගේ වයිෆ්ට කියනවා කියලා..
ඒ මිනිහා ඒ බයට අම්මට පොරොන්දු වෙලා ඔයාව හදාගන්න ඉඩ දීලා.. ඒ වගේම ඔයා පොඩි කාලෙ ඉදන් ඔයාගෙ වියදම් හැම එකක්ම දරලා තියෙන්නේත් ස්මිත්.. ඒකයි ඔයාගෙ වෙනස් පෙනුමට හේතුව… මිනිස්සු කිව්ව දේවල් නිසා ඔයා හිතුවෙ එයා නරක කෙනෙක් කියලා..ඒත් ඔයා හිතුවා වගේ ඔයාගේ අම්මා නරක කෙනෙක් නෙවෙයි මදාරා… ඔය හැමදේම අමතක කරලා දාන්න..”
“මම මහා පව්කාරියක් අසිත… මට ඕන අම්මගෙන් සමාව ගන්න.. මාව එක්කන් යන්න මේ දැන්ම…”
අසිත පැවසූ සෑම වදනම දෙසවන අද්දර දෙදුරුම් කද්දී මට උවමනා වූයේ ඈ අසලට දිව යාමටයි.. නමුත් හිස මත එක පිට හෙණ පුපුරන්නා සේ හැඟී ගියේ ඇදක් මත වැතීරී නේක විධ උපකරණ රැසක් අඩ වූ නෙතින් යන්තමින් සුසුම් හෙලනා මගේ මව දුටු විටයි…
“අම්මේ.. මොකද මේ.. අනේ නැගිටින්කෝ.. ඔයාගේ දෝණිනේ මං.. මොකද මේ… මං තරහා වුනාටද.. මං තරහා නෑ අම්මේ..”
“මදාරා ඔයා නිදන්ගත වකුගඩු අමාරුව තිබුන කෙනෙක්… ඔයාගෙ සීසර් එකෙන් පස්සේ ඒ ලෙඩේ තවත් වැඩි උනා.. ඔයාව ජීවත් කරවන්න නම් වකුගඩුවක් බද්ධ කරන්න ඕන උනා.. අම්මා තමා ඒක ඔයාට දුන්නේ..”
“එහෙම කරේ ඇයි අම්මේ… මෙච්චර අවුරුදු ගාණක් මන් ඔයාට වෛර කරා.. එහෙම කරපු මට මෙහෙම කරේ ඇයි..
නෑ ඔයාට මැරෙන්න බෑ ඔයා ජීවත් වෙන්න ඕන…”
“අම්මා යන්න හදන්නේ මදාරා.. මේක ඔයාලගේ පවුලේ නිදන්ගත ලෙඩක් අම්මගෙත් එක වකුගඩුවයි හොදින් තිබ්බේ.. ඒක තමා ඔයාට දුන්නේ..”
සමාජය විසින් මා වෙත මගේ මව කෙරෙහි මා ඇති කරගත් වෛරය නිසාවෙන් අද මා ඕනෑවටත් වඩා දඬුවම් විදීමට සලස්වා ඇත.. මට ඈව අද පෙරටත් වඩා අවැසිය.. නමුත් ඈ නිහඬය..
“මට සමාව දෙන්න අම්මේ… මං ඔයාට ගොඩක් ආදරෙයි… ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොඳම අම්මා..”
අවසන් වරට ඇගේ වතෙහි සිහින් සිනාවක් ඇදී යනු මා දුටුවාය.. අවසන් වරට ඇඟේ නලලත මා සිප ගත්තේ කඳුලු රූරා ගලද්දීයි.. ඈ මගේ දෑත තදින්ම අල්ලාගෙන අවසන් සුසුම් පොද වා තලයට මුසු කර දෙනෙත් පියාගත්තේ මේ දිවියෙහි මා වෙනුවෙන් ඉසිලූ සියලු දුක් නිමා කරමිනි…
අවසානයේ වචනයේ පරිසමාප්ත අරුතින්ම දිවිය පුරාම මවක්ම පමණක් වූ ඈ මා දමා සදහටම නික්ම ගියාය.
ඉදින් මව් සෙනෙහස යනු සැබෑවටම කුමක්දැයි හඳුනා ගැනීමට හෝ විස්තර කිරීමට සමතෙකු ලොව කොහිවත් නැතැයි මා තරයේ විශ්වාසය කරමි…
————————————————————–
කලින් කතාවට ලැබුනු අගය කිරීම් වලට ස්තූතියි… මේ කතාව කියවලා ඔයාලගේ හිතට දැනුනු දේ දැනගන්න ආසයි ලියවිල්ල තුල මං කොයි තරම් සාර්ථකද කියන එක ගැන… ඒ නිසා කියවන හැම කෙනාගෙන්ම ඉල්ලනවා අදහසක් කියන් යන්න කියලා🙂♥️
උපුටා ගැනීම: Nishadi Wijesekara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!