අපේ අම්මා අංශභාග රෝගයෙන් පෙලෙයි. ඇයට ඇවිදීමට උවමනා නම් අප කාහට හෝ කතාකොට ඇවිදියි. ගේ ඇතුලේ ඇවිදියි. එළියේ පඩිවල ද ඇවිදියි. මිදුලේ ද ඇයට ඇවිදිය හැකි ය. කෙසේ ඇවිදීමේ පහසුව සලසා දුන්නත් දවසේ වැඩි හරියක් ඇය ඉන්නේ සුපුරුදු වේවැල් හාන්සි පුටුවේ වාඩි වී ගේට්ටුව දෙස බලමින් ය.
අපේ අම්මා සතුන්ටත් මිනිස්සුන්ටත් කරුණාවන්ත ය. විශේෂයෙන් කාට හෝ කෑම කටක් ලබාදීමට ඇය පසුබට වන්නේ නැත. ඇය හොඳින් ඉන්න කාලයේ රඹුටන් වාරයට පැමිණෙන නොයෙක් කුරුල්ලන් සහ ලේනන් වැනි සතුන් අපට රඹුටන් ඉතිරි නොකලත් අම්මා නම් කාගේ කීමට හෝ ටකයක් බැඳ සතුන් එළෙව්වේ නැත. “සත්තු කාපු දෙන් ” ඒ ඇයගේ තීරණය යි. අඹ වාරයටත් එසේ ය. ඇය කොපමණ සතුන්ට ආහාර පිරිනැමීමෙහි නියලුනා ද කිවහොත් සමහර කාලවලට ගම් වදින රිලවුන්ට පවා ආහාර දුන්නී ය .
අපේ අම්මා පරණ තාලේ කාන්තාවකි. ඇය වැඩ කටයුතු කලේ වෙලාවට කාලසටහනකට අනුව ය. උදේට ඇහැරෙන්නේ වෙලාවට ය. තුන් වේල ආහාර ගන්නේ වෙලාවට ය, ප්රමාණයට ය. තේ බොන්නේ වෙලාවට ය,ප්රමාණයට ය. නාන්නේ ඇඟ සෝදන්නේ වෙලාවට ය. ආගම සිහිකරන්නේ වෙලාවට ය. නිදියන්නේ වෙලාවට ය. ලෙඩ වුනා කියා ඇයගේ ඒ කාලසටහන වෙනස් වුනේ නම් නැති.
මා අද කියන්නට සැරසෙන්නේ ඇයගේ හවස තේ වෙලාවක සිදු වූ අපූරු සිදුවීමක් ගැන යි. සවස තේ වෙලාවට මොනවා හෝ රස කැවිල්ලක් අම්මාට දීමට ගෙදර ඉන්න ඕන කෙනෙක් සෑදී පැහැදී සිටි යි. කුමන කැවිල්ලක් කෑවත් ඇයට එහි ප්රමාණයක් ඇත. බිස්කට් නම් කුමන ජාතියක් වුනත් දෙකකට වඩා ඇය බාර ගන්නේ නැත. එක් සතියක නයිස් බිස්කට් ඇරෙන්න ඇයට දීමට කිසිවක් නොවීය. වෙනදා ගත් කාලයට වඩා අඩු කාලයකින් ඇගේ දෑත් හිස්ව තිබෙනු දුටු මා
” තව එකක් දෙන්නං ?…”
එවිට ඇය ,
“භාගයක් ඇති …”
ඇයගේ ක්රමානුකූලබාවය ගැන පැහැදුනත් මාහට ශෝක සිතුවිලි පහල විය- අම්මාට දැන් වැඩියෙන් බඩගිණි දැනෙන්න පටන් අරන්. බියකරු සිතුවිලි පහල විය- අනේ අම්මාගේ රුධ්රගත සීණි ප්රමාණය වැඩිවෙලා ද ?
කීප දවසක් ම වැඩිපුර බිස්කට් භාගයක් ලබාගත් අම්මා ගැන මගේ සිත කණස්සල්ලට පත් වූයේ වැඩිපුර බිස්කට් භාගයේ නියම අරුත වටහා ගැනීමට නොහැකිව ය.
එක් දිනක් ඇය වෙත තේ කෝප්පය ගෙනෙමින් සිටි මා දුටුවේ ඇයගේ වේවැල් පුටුවේ වම් පැත්තට වෙන්න මොනවා හෝ කර්මාන්තයක ඇය නියැලෙන බවයි. වහා ක්රියාත්මක වූ මා බඩුත් එක්ක හොරු අල්ලා ගැනීමට උත්සුක වීමි. දුටු දසුනින් ජුගුප්සාජනක හැඟීමක් ඇති ඇති වුවද මොහොතකට හදවත නැවතුන ලෙසක් දැනෙන්නට විය.
“හූනෙක්..!”
අම්මාගේ බිස්කට් භාගේ බුක්තිවිඳින්නා අවපැහැ හූනෙකි. පුටුව යටින් ඇවිත් අම්මාගේ වම් පසින් ඌ ඔලුව ඔසවා බලයි. එවිට අම්මා මිත්රයාට සංග්රහ කරයි. සතියක් තිස්සේ බිස්කට් භාගේ රසවිඳින්නා දැනගත් පසු මා තුළ තිබූ ශෝක සිතුවිලි පහවිය. බියකරු සිතුවිලි පහවිය. මේ සිද්දිය ගලපා ගැනීමට නොහැකි කෙනෙකුට සිද්දිය ගලපා ගැනීමට මිතුරන් දෙදෙනාගේ චායාරූප දෙකද මේ සමඟ අමුණමි .
උපුටා ගැනීම: ජී.ජී.එන්. නිල්මිකා