“හලෝ….”
අම්ම ෆෝන් එක ආන්ස කලා.
“අ.. හෙලෝ ගුඩ් මෝනිං මැඩම්,
මම ඉපදුනේ වැලිගම පොල්වත්තේය
නුඹ ඉපදුනේ රුහුණේ තංගල්ලේය
දෙදෙනා එක්වීම සසරේ පැතුසේය
වැඩිකල් යන්ට පෙර ආදර සයුරේය…”
“ඕක කියන්නෙයි දැන් ගත්තෙ?”
කොමල ලෙස සිනා පාමින් අම්ම එහෙම අහද්දි,
“නැතුව ඉතින්.. දැන් ඒක මට කටත් පාඩම් ඒ ලියුම බලපු තරමට. ආව් ආව්..”
“මේකිට පිස්සු. කෝ අද පන්ති නැතෙයි?”
“තියනව තියනව ඔක්කොටම කලින් වැලන්ටයින් සමරල ඉන්න එපැයි. ඒකයි උදේම කෝල් එකක් ගත්තෙ මේ. සුභ මංගලම් ඉතින් ආ…”
උදේ අම්මගෙයි මගෙයි අතර ඇති වෙච්ච පුංචි සංවාදයෙන් කොටසක් ඔය.
(පෙබරවාරි 14 / වැලන්ටයින් දවස)
ඔව් එදා තමයි ඒ දෙන්න කසාද බැන්දේ. මගේ අම්මයි, තාත්තයි. ඒක ප්රේම සම්බන්ධතාවයක් නිසා ඇති වුන විවාහයකුත් නෙමි. අපේ භාෂාවෙන් කියනවනම් ප්රපෝසල් මැරේජ් එකක්. හැබැයි මගේ භාෂාවෙන් කියනවනම් මේක ආදර සම්බන්ධයකටත් එහා ගිය, සංසාරේ පුරුද්දට වගේ යෝජනාවකින් හමු වෙච්ච, ආදරේ පිරිච්ච ඉතිරිච්ච, මේ ආත්මෙන් කෙලවර නොවෙන්න ඕන පට්ටම පට්ට බැඳීමක්. ️ඉතින් අදට අවුරුදු 29යි.
මේ දෙන්නම අර අඟහරු හතද, සෙනසුරු හතද මොකද්ද හතක් නිසා ගෙදරට නාකි වෙන්න ඕන කියල සම්මත වෙච්ච කපල් එකක්ලු. මේ දවස වෙද්දි අපේ අම්මට අවුරුදු 41යි. තාත්තට 55යි. පෞද්ගලිකව මම ආස නෑ එච්චර ගැප් එකක් තියල දෙන්නෙක් කසාද බඳිනවට. එතකොට මම කම්පෙයා කරන්න ගත්ත පොඩි කාලෙ මෙන්න මෙහෙම.
“දෙය්යනේ අවුරුදු 10ක පොඩි කෙල්ලෙක් අවුරුදු 24ක් වෙන ලොකු කොල්ලෙක් බැඳල වගේනේ, මේ මොන අපරාදයක්ද මේ…බ්ලා බ්ලා බ්ලාා…”
අන්න එහෙම විස්සෝප වෙලා මම අම්මගෙන් අරව මේව අහලත් තියනවා සෑහෙන්න.
“ඇයි අනේ මීට කලින් බැන්දෙ නැත්තෙ අම්මේ?”
“බලන්නකෝ කොච්චර ගැප් එකක්ද කියල”
“බැන්දෙ නැතුව හිටිය නම් මීට හොඳයිනෙ”
අරවද මේවද සෑහෙන්න ප්රශ්නයක් වෙලා තිබුන කාලයක් මට මේක.හැබැයි මම විස්සෝප උනාට මගේ අම්ම එහෙම උනේ නෑ කවදාවත්. ඒ දවස් වල අම්ම කිව්වෙම මේක.
“ඒ කාලෙ හරි බැඳල, කවදකහරි මැරෙන්න හුස්ම අදින දවසට වතුර පොදක් කටට හලන්න කෙල්ලො දෙන්නෙක් හදාගත්තනෙ මම”
ඒ වචන ටික මතක් වෙද්දි නම් “අනේ මම හිතපු විදිය ෂික් කොච්චර මෝඩද. ඇයි මම එහෙම දේවල් අම්මට කිව්වෙ, අම්මගෙන් අහුවෙ” කියලයි දැන් මට හිතෙන්නෙ.
ඇත්තටම ලැජ්ජයි මට මං ගැන.
අපේ අම්මයි තාත්තයි කුණුහර්ප කියන් බැන ගන්නව අපි කවදාවත් දැකල නෑ. අතක් නම් කොහොමත් උස්සල නැ. ඒක අම්ම තාමත් කියනව. මට ඇහෙන්න ‘උඹ’ කියල තියෙන්නෙ එකම එක දවසයි. ඒකත් අම්ම මම වැස්සෙ තෙමුන කියල මට හොඳටම ගහපු දවසේ. අමිහිරි සිදුවීම්, අමිහිරි මතක කිසිම දෙයක් මට නෑ ඒ දෙන්නගෙ අතර සිදු උනා කියන්න.
ඉතින් මට දැන් ආඩම්බරයි, වයසින් මුහුකුරන්න මුහුකුරන්න මට තේරෙන්න ගත්තා රියල් බැඳීම් වලට මම හිතපු මෝඩ දේවල් අදාලම නෑ නේද කියලා. මේ මොහොත ගැන කියනව නම් මට දැනෙන්නෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම දරුවොන්ගෙ ගොඩේ මායි, නංගියිත් ඉන්නව කියල විතරයි. මොකද අර විදියට බලන බලන කසාදෙ හරි නොගිහින්, මිනිස්සුන්ගෙන් සෑහෙන්න වචනත් අහන්, අහම්බෙන් හමුවෙලා එකතු වෙච්ච දෙමව්පියෝ දෙන්නෙක්ගෙ මාරම ආදරයක් දකින්න, ලබන්න හැම දරුවෙක්ටම පින නැ කියල දැන් මට තේරෙනවා මම ලබපු, ලබන අත්දැකීම් එක්ක.
තාත්ත නැතිවෙලා මේ යන 7 වෙනි අවුරුද්ද. ඒත් දෙන්නගෙ ආදරේ තාම අපේ ගේ පුරාම තියනව. අම්මගෙ හිතේ ඊට වඩා තියනව. මට ඒක අනන්තවත් දැනිල තියනව. මම අම්ම එක්ක වලියක් දාගත්තම තාත්තගෙ ෆොටෝ එක ලඟට ගිහින් අම්මටත් ඇහෙන්නම තාත්තගෙන් අහනව.
“කොහොමද යකෝ මේ ගෑණිත් එක්ක වැසුවේ අච්චර ලස්සනට තමුන්?”
ඒ වෙලාවට අම්මගෙ මූණ තමයි බලන්න වටින මූණ. අම්මෝ ලැජ්ජාව බේරෙනවා. මගෙයි අම්මගෙයි වලියත් එතනින්ම කෙලවර වෙනවා. ඊට පස්සෙ ඉතිම් මට විනාඩි 10ක් 15ක් අහන් ඉන්න තියෙන්නෙ දෙන්නගෙ ලව් එක ගැන අම්ම රස කර කර කියන ඒව තමයි.
ඉතින් මෙච්චරයි. ආදරේ කියන්නෙ මොකද්ද කියල කවුරු හරි ඇහුවොත් මට කට ඇරලා කියන්න පුළුවන් ඒ මගේ අම්මයි තාත්තයි කියල. ඔයාලට භාරකරනව මන් ඉතුරුව හිතාගන්න. රූපය, වයස, කේන්දර, සල්ලි, වතුපිටි දේපළ, යාන වාහන, කුල මල, එකී මෙකී නොකී තවත් බොහෝ දේ ගැන. ඒකට උදව්වක් විදියට, අපේ තාත්තා රැකියාවට කලේ චිත්ර ඇඳපු එක. අම්ම හවුස්වයිෆ්.
මේක තමයි ඒ ලියුම. අර උඩ මම කිව්ව කවිය ලියපු. ඒක හරි ලස්සනයි, හරිම ආදරණීයයි, හරි සංවරයි. මම තාමත් මේක මං ලඟ තියන් ඉන්නෙ ඒකයි. මම වැලන්ටයින් සමරන්නත්, ඒක අමතක නොවෙන දවසක් වෙන්නත් එකම හේතුව මට තාමත් මගේ අම්මයි තාත්තයි විතරයි. ඒ හේතුව නිසාම මේ දවස ඔය සමහර අය වගේ අනිසි විදියට පාවිච්චි කරන්න ඕන වෙලා නැ මට. ඇත්තටම ඒ ආදරේ ලැබෙන්න ඕන පවුලෙන්මයි. ඒක මටයි නංගිටයි ලැබුණ නොඅඩුවම. අපි දෙන්න හරිම වාසනාවන්තයි. අපි දෙන්න අත්දැකපු, ඒක මාරම ආදරයක්. ඔව් දරුවෙක් අත්දකින්නම ඕන ආදරයක්.
උපුටා ගැනීම: UdeShi MuthuHewa