ඔයාල ලගකදි අම්මව බදාගෙන ” අම්මෙ මං ඔයාට ගොඩාක් ආදරෙයි” කියල කිව්වද?
මගෙ අම්මා කවි වල විස්තර කරන විදිහේ අම්ම කෙනෙක් නෙවෙයි. අම්මගෙ කෑම රස නෑ, අපි පාඩම් කරල ඉවර වෙනකල් නිදි මරං බලන් හිටියෙ නෑ, ලෙඩක් දුකක් උනාම පන්සලේ බෝධි පූජා තිබ්බෙ නෑ. අපේ ඉස්කෝලෙ ඇදුම් හෝදල දුන්නේ නෑ. කරදරයකදි අඩා වැටුනෙ නෑ. ඉස්කෝලෙ පොත් වල අපි හරියට වැඩ කරලද බැලුවෙ නෑ.
පොත පතින්, කවි වලින් අර සංවේදී අම්මලා ගැන කියෙව්වම මමත් අනේ අපේ අම්මත් ඒ වගේ උනානං කියල හිතපු කාලයක් තිබුනා..
තාත්තා අයියගෙ අකල් මරණය මත්තේ දුවලගේ වගකීම් අමතක කරල හිටිය නිසාම අම්මගෙ කරපිට අපේ බර වැටුනෙ මං පොඩි කාලෙදිමයි. කාලයක් මැදපෙරදිග රැකියාවක් කලා. අපි කෙල්ලො ටික ලොකු වෙනකොට ගාමන්ට් එකක සෙකියුරිටි ජොබ් එකක් කරපු අම්මා උදේම වැඩට ගිහිං රෑ වෙලා ගෙදර ආවෙ.
රසට උයනවා තියා එදා වේල උයන්නවත් අම්මා ගෙදර නෑ. අක්කලා තමයි ඉව්වෙ. අම්මගෙ රෙදිත් එයාල හේදුවෙ. අපිට පාඩම් කරන්න බල කලෙත් නෑ. ගොඩාක් රෑ ඇහැරල හිටියත් නිදිමරන්න එපා පුතේ නිදාගන්න කියනවා.
ගුරු දෙගුරු රැස්වීම් වලට එන්න අම්මට නිවාඩු තිබ්බෙත් නෑ. පහුවෙනකොට ඒව තියෙන බවවත් අම්මට කීවෙ නෑ.
ටැප් එකක් ඇරියම වතුර අපතෙ නොයන විදිහට පාවිච්චි කරන්නයි, අනවශ්ය විදුලි පහන් නිවන්නයි අම්මා අපට පුරුදු කලේ වියදම් පාලනය කරන්න වෙන්නැති. ඒව අදටත් තියෙන හොද පුරුදු.
කාලයත් එක්ක අපි ලොකු වෙලා අම්මගෙ කරපිටින් අපේ බර අපිම භාරගත්තට පස්සෙ අම්මට විවේකයක් ලැබුනා. ඉතිං අපිට ඕනෙ උනා අම්මා ලවා පිං දහම් කරවන්න. ඒත් අපි සල්ලි දීලවත් මහා ලොකු පිංකම් කරන්න අම්මා කැමති උනේ නෑ. පෝයට සිල් ගන්න යන්න කැමති උනෙත් නෑ. ඇදුම තිබුනු නිසා අපි ඒකට බල කලෙත් නෑ. හැබැයි හැමදාම රෑට කරණීය මෙත්ත සූත්රය කියල නිදාගන්නෙ.
අලුත් ඇදුම් අරන් දුන්නත් ඇන්දෙ පරන ඒවමයි. අලුතෙන් ලස්සන ඇදුමක් ලැබුනොත් අපිට දුන්නා පුතේ ටික දවසක් ඇදල දෙන්න කියල. ගමනක් යන්න ටැක්සියකට සල්ලි දුන්නම ඒක තියං බස් එකේ හෝ පයින්ම එන්නෙ. (ඒව එකතු කරල අපිටම හදිසි අතමාරුවට දෙනව අපෙ අම්මා.)
මේ දේවල් නිසා අපෙන් නිතරම බැනුම් ඇහුව අම්මා. අපි කිව්වා අම්මෙ ලෝකයා හිතයි අපි අම්මට සලකන්නෙ නෑ කියලා. ලස්සනට අදින්න, පයිං හති දම දම යන්න එපා කියල. ඒත් කවදාවත් ඒව වෙනස් උනේ නෑ.
අම්ම බස් එකේ ලගින් වාඩි වෙන කෙනා එක්කත් කාලයක් තිස්සෙ දන්න කෙනෙක් එක්ක වගේ කතා කරනවා. අහල පහල අපි කතා කරන නොකරන හැමෝටම අම්මා කතා කරනවා. ගෙදරට යාලුවෙක් ආවම අපිට වඩා අම්මා කතාකරන්නෙ .මේකටත් අපි අකමැති උනා. අම්මෙ ඕනවට වඩා කතාවට යන්න එපා එයාලට කරදර ඇති කීවට අහන්නෑ ඉතිං.
අම්මා කියවන එක ආකාර දෙකෙන්ම කලා. කටින් හා ඇසින්. ඕනම පොතක් පත්තරයක් කියෙව්වා. ටීවී එකත් දාගෙන පත්තරෙත් කියවන ගමන් මගෙ ෆෝන් එකටත් එබෙනවා මගෙ face book එකේ තියෙන්නෙ මොනාද බලන්න.
එකම ටෙලි නාට්ය දහ සැරයක් දැම්මත් අද බලනවා වගේ බලන්න හැකියාවක් අම්මට තිබුනා. පත්තරේ බලන ගමන් ටීවී බලන නිසා ඇත්තටම අම්මා කතාව දන්නෙත් නෑ බැලුවට. ඒ වගෙම කතාව අතර මැද ඇඩ් යනකොට වෙන චැනල් වල නාට්ටිත් බලනවා. එකවර නාට්ටි දෙක තුනක් බලන නිසා අන්තිමේ එකක්වත් හරියට බලලා නෑ.ඒකටනම් අපි හැමදාම අම්මට විහිලු කලා.
ඔය විදිහට අම්මා සරලව ජීවත් උනා. කාගෙවත් ඕප දූප කේලම් කියනවා දැකල නෑ අපි. අපි අම්මට බනපොත් දුන්නට අම්මා නවකතා, නලුනිලියන් ගැන, චිත්රපටි ගැන ඒවා තමා වැඩිය කියෙව්වෙ. අම්මගෙ සම වයසෙ කෙනෙකුට වඩා විහිලු තහලුවෙන් හිටියා. පත්තරේ ප්රෙහේලිකාව පුරවන්න අඩු පාඩු වචන හොයන්න මටයි කෝල් කරන්නෙ.
අවස්ථා දෙක තුනක ඇදුම වැඩි වෙලා හුස්ම ගන්න අමාරු උන නිසා හිතයට දුකක් තිබ්බා අම්මා වයසට යනකොට දුක් විදීද කියලා. හොද දොස්තරල චැනල් කලාට මොනා හරි අඩුවක් කියල ගමේ ඩිස්පෙන්සරියෙන්ම තමා බෙහෙත් ගත්තෙ.
කාලෙන් කාලෙට අපේ ගෙවල් වල ඇවිත් හිටියා. දවසක් ලොකු දුවගෙ ගෙදරට මා එක්කම ගියා. එදා රෑත් හරි සතුටින් හිටියා. මං පහුවදා ගෙදර ආවා. මගේ විවාහ සංවත්සරය දවස එදා. පංසලටත් ගිහිං යාලුවෙකුගෙ අම්ම කෙනෙක්ගෙ මල ගෙදරක හිටියෙ මං.
රෑ නවයාමාරයි. ලොකු අක්කාගෙ අයියා කෑ ගහල අඩන ගමන් ” නංගී අම්මා නැති උනා ” කියල කෝල් කරල කීව හැටි ජීවිතේ තියෙන තුරා අමතක නොවේවි…
අනේ කිරිල්ලියක් වගේ හිටපු අපේ අම්මා අවුරුදු 76 දී එක විනාඩි පහක් ඇතුලෙ අපෙන් ඈතට ගිහින් තිබුනා . සතුටින් නාට්යක් බලන ගමන් හිටපු අම්මා කෑමට කලින් බෙහෙත් පෙත්ත බොන්න කාමරේට ගිහිං තිබුනා. කාටත් කරදර නොදී, අමිහිරි මතක නොදී අවසන් ගමන තනියම ගිහින් තිබුනා…
අම්ම බලන්න ගොඩක් සෙනග ආවා. අපි නොදන්න අය පවා. ඒ අම්මා මගතොටදි කතා කරන අය. ගොඩාක් අය අම්මා වෙනුවෙන් බොහෝ දේ කලා. හැමදාම වගේ අපේ අතින් ලොකු වියදම් කරවන්න අකමැති අම්මා එදත් අපට වියදමක් කරන්න ඉඩක් තියල තිබුනෙ නෑ.
අම්මා එදා මගෙ ගෙදර හිටියා නම් අපි දෙන්නා මල ගෙදර ගිය නිසා මේ දේ වෙන කොට අම්මා තනියම ඉන්න තිබුනා, පොඩි අක්කා ලග හිටියා නම් එයාලත් එදා රෑ උත්සවයකට ගිහින් හිටිය නිසා අම්මා තනියම. එහෙනං උන දේ නොදැන අපි ජීවිත කාලයක් පසු තැවෙන්න තිබුනා. ඒත් ලොකු අක්කාගෙ ගෙදර පිරිසක් මැද ඉදලා. එක විනාඩි පහක කාලෙක මේ දේ උනා. එතනදිත් අම්මා අපිට දුකක් දුන්නෙ නෑ.
දුක් නොවිද හිටි ගමන් අවසන් ගමන් ගිය අය ගැන අම්මා කීවෙ ” වාසනාවන්ත මරණයක්” කියල. අපි විහිලු කලා මරණය කොහොමද වාසනාවන්ත වෙන්නෙ අම්මෙ කියලා. අම්මටත් ඒ වගේම වාසනාවන්ත මරණයක් ලැබුන.
ඒත් අපි අවාසනාවන්ත උනා.
පොඩි අක්කගෙ අයියා අම්මා වෙනුවෙන් සති අන්ත පත්තර හතරක් ගත්තා, ටීවී එකක් කාමරේටම දීල තිබුනා, පොත් දුන්නා, අපි පුලුවන් තරම් අලුත් ඇදුම් , ආස
කරන පැනි රස කෑම ගෙනත් දුන්නා නිතර දුක සැප හොයල බැලුවා. අම්මා සතුටින් හිටියා. ඒ හැම දේම කලේ අම්මාට තියෙන ආදරේට. අම්මා ලගට ගිහිං කම්මුල් අතගානකොට පොඩි ලමයෙක් වගේ කම්මුල් පුම්බන හැටි අමතක වෙන්නෙ නෑ කවදාවත්.
අම්මගෙ මරණය එක්ක පිංකම් කරනවා කියන එක ගැන නැවත හිතුවා මං. අම්මා ලෝකෙට පේන්න මහලොකු පිං කලේ නෑ. සිල් ගත්තෙ නෑ. ඒත් පස් පව් කලෙත් නෑ. කාටවත් කරදරයක් නොවී සරලව සැහැල්ලුව ජීවත් උනා. අම්මාට සැනසිලිදායක මරණයක් ලැබුන. මරණයේදි ගොඩාක් දුක් විදින අය දැකල තියෙන නිසා මට මේ දේ ඇත්තටම සැනසීමක්.
ඒත්…. අම්මා නැති උනා කීවම මට මතක් උනේ එකම දෙයයි. අනේ මට අම්මට ” ආදරෙයි ” කියල කියන්න බැරි උනා නේද කියලා . මට ඒක අදටත් දැනෙන ලොකුම පසුතැවීමක්.
අපි පොඩි කාලෙ අම්මා බදන් ආදරෙයි කීවට ලොකු උනාම කියන්නෙනෑ නේද. අපි මහත්තයාට, දරුවන්ට කීවට අම්මට කියන්න මතක් වෙන්නෑ නේද. ආදරේ නැතුව නෙවී. ඒත් අපි වැඩිහිටි වෙනකොට ඒක අමතක වෙනවා ඉබේම.
ඉතිං මේක ඔයත් කියවනවා නම්… අම්මට ලගදි ආදරේ කීවෙ නැත්තං දැම්මම කියන්න කෝල් කරල හරි. එයාල ගොඩාක් සතුටු වේවි..
එදා මගෙ අම්මා අන්තිමට බලපු නාට්යය ” පාවෙලා වලාකුලේ ඒවිද අම්මා “
පාවෙලා වලාකුලේ එන්න අම්මේ… චූටියා ඔයාට ගොඩාක් ආදරෙයි …
උපුටා ගැනීම: Adhithi Jayasekara