අපේ තාත්තා ෆොටෝග්‍රැෆි කරේ. ඉස්සර දැන් වගේ ඩිජිටල් කැමරා නෑ. ෆිල්ම් රෝල් දාලා එහෙම තමයි ෆොටෝ ගන්නේ. ඒ කාලේ වෙඩින් එකක් කරනවා කියන්නේ විභාගයක් කරනවා වගේ. මොකද ගෙදර ඇවිල්ලා රීල් ටික කලර් ලැබ් එකකට දාලා, ඩිවලොප් කරලා, නෙගටිව් එක බලනකන් නින්ද යන්නේ නෑ. මොනවා හරි වෙලා තිබ්බොත් කාට කියන්නද? අමුතුවෙන් වෙඩින් එකක් ගන්න කියන්නද ?
මම ඒ ලෙවල් කරලා ඉන්න කාලේ අපේ තාත්තා එක්ක මම යනවා වෙඩින් වලට. ඉස්සර දැන් වගේ නෙමෙයි. ෆොටෝග්‍රැෆර්ට තියෙන්නේ එදාට කපල් එකටවත් නැති තැනක්. මම යන්නේ තාත්තට සපෝර්ට් එකට. ඔය ලයිට් අල්ලන්න, කර්ට්න් දාන්න, බැටරි චාජ් කරලා දෙන්න, තෑන්ක්යූ කාඩ් එක ගහන්න රීල් එක අරගෙන කලර් ලැබ් එකට දුවන්න. ඔය වගේ වැඩ වලට.
හැබැයි දෙවනි මනමාලි එහෙම පොඩි , ලස්සන , දැක්කම වයලින් පාරක් වගේ වැදිලා හුලන් පාරක් හමාගෙන යන එකක් නම් තාත්තගෙයි මගෙයි රෝල් දෙක මාරු වෙනවා. එතකොට තාත්තා තමයි ගෝලයා. මේවා කටින් කියලා නෙමෙයි කරන්නේ. අන්‍යොන්‍ය අවබෝධයෙන්. මම පොඩ්ඩක් කැමර් එක අරගෙන හැරෙනකොට තාත්තා දන්නවා. මොකද මම තාත්තගෙම පොඩි වර්ශන් එකනේ. කොහොම උනත් අපේ තාත්තා ඕවට බකට් දාන්නේ නෑ. ඕවා උපරිම දවස් දෙකේ කතානේ.
කොහොම හරි මම යන ගොඩාක් වෙඩින් වල තාත්තට හරි අමාරුයි අරහේ මෙහේ දුවලා. ඒ දවස් වලත් මම තාත්තට වඩා උසයි. තාත්තත් කොල්ලා වගේ හිටියේ. ගොඩාක් අය හිතන්නේ අයියයි මල්ලියි කියලා.
දවසක් වෙඩිමකට ගියා. මම ෆොටෝග්‍රැෆර්. තාත්තා ගෝලයා. වැඩේ යනවා. දෙවනි මනමාලිගේ නංගියෙක් ඉන්නවා මට බීම දෙනවා, වෙඩින් කේක් දෙනවා. විනාඩි පහකට සැරයක් වත් ලඟට එනවා.
මේකි පොඩ්ඩක් එහාට යනකන් ඉඳලා තාත්තා මට කිව්වා. පුතේ.. මේ මනමාලි ඉපදුන දවසේ ඉඳලා උපන් දිනද , ලොකු ලමයෙක් උන එකේද , මේ වෙඩින් එකේද ඔක්කොම ෆොටෝ ගත්තේ මම. උඹ පුලුවන් නම් අර වේටර් කෙල්ලත් ඒක්ක එකතුවෙලා ඒකත් නැති කරපං කියලා.
මම ඇහුවා මොන වේටර් කෙල්ලද කියලා. ඇයි අර උඹට සැරින් සැරේ කේක් කෑලි බීම දිදී යන එක කියලා තාත්තා කිව්වා. සාන්ත වගේ හිනාවක් දාලා මම කිව්වා මම මොනවත් කරේ නෑ නේ කියලා.
තාත්තා මගෙන් අහනවා උඹ වෙඩින් කේක් කන්න කැමතිත් නැතුව මොන මගුලටද අරකි දෙන හැම කේක් කෑල්ලම ඔය කැමර් බෑග් එකේ ඔබන්නේ.. මොකද උඹේ වෙඩින් එකට දැම්ම තියා කේක් එකතු කරනවද කියලා.
ශික් .. ලමයෙක් කාලා, ඇඳලා ඉන්නවට කැමති නැති තාත්තලා කියලා හිත හදා ගත්තා.
අපේ තාත්තාගෙත් මාර මාකටින්. වෙඩින් එකකට ගියාම වෙසක් එකට වෙසක් කාඩ් බෙදනවා වගේ බිස්නස් කාඩ් බෙදන්නේ ඉස්සර. මනුස්සකමට හිනා උනත් කාඩ් එකක් දෙනවා. ඉතින් ඔය හැම එකේම තියෙන්නේ ගෙදර නම්බර් එක. කොහොම හරි එදා ගෙදර ගියා. රෑ හතට විතර ගෙදර නම්බර් එකට කෝල් එකක් ආවා. අම්මා තමයි ආන්සර් කරේ. මට ඇහෙන්නේ මෙහෙමයි.
හෙලෝ.. ආහ්.. ඔව්.. ඔව්
ඉන්නවා. පොඩ්ඩක් ඉන්න.
ෆෝන් එක අතින් වහගෙන මට කිව්වා තාත්තට කෝල් එකක් කියන්න කියලා. මට නැගිටලා යන්න කම්මැලි කමට එතන ඉඳලම කෑ ගැහුවා “තාත්තී මෙන්න කෝල් එකක්” කියලා.
තාත්තා ආවා. ෆෝන් එක ගත්තා. මේ තාත්තා කතා කරපු ටික.
හෙලෝ.
ඔව්.. කවුද මේ කතා කරන්නේ.
ඔව්. එයා තමයි.
ආහ්. නෑ.. නෑ..
දැන් පොඩි වෙලාවක් සද්දයක් නෑ. මගේ දිහා බලනවා අමුතු විදියට. එහෙම බලලා කිව්වා.
ආහ්. නෑ. මම මේ එයාට උදව්වට ආව කෙනා. ඉන්න මිස්. ඉන්න පොඩ්ඩක් මම ඒ අයියට දෙන්න කියලා මට ෆෝන් එක දික් කරලා. කනට කරලා කිව්වා අර උඹ ගෙනාපු කේක් දිරවන්න හදන්නේ කියලා. හම්බකරගෙන කාපු රස්සාවත් පුලුවන් නම් මට නැති කරපං කියලා ගියා.
මට එලෝ පොල් පෙනුනා. මම විලියෙන් ඇඹරිලා ෆෝන් එක ගත්තා.
ඒකි කතා කරනවා නෙමෙයි කතා කියනවා, හිනා වෙනවා, නටනවාදත් මන්දා. අපේ තාත්තා මට ටිකක් එහා පුටුවක වාඩි වෙලා පත්තරයක් බලනවා. ඒ මදිවට ඒ වහන්තරාව අහනවා ඇයි අනේ ඔයා දවල් වගේ නැත්තේ. හොරාට කතා කරන්නේ කියලා. මම කිව්වා නෑ අපේ අම්මා ඉන්නවා කියලා. මේ අහන මගුල් වලට මමත් හොරාට උත්තර දෙනවා තාත්තා දිහා බල බලා.
කොහොම හරි එයාට පන්ති තියෙන දවසට දැන් මම එන්නත් පොරොන්දු උනා. ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ මේ තාත්තයි මායි.
මොනවද ඒකි අහන්නේ?
මොනවත් නෑ.
මොනවත් නොකිය විනාඩි පහලොවක් විතර උඹලා දෙන්නා දෙපැත්තේ ෆෝන් දෙක කනේ තියාගෙන හිටියද?
නෑ.. ලොකු දෙයක් කිව්වේ නෑ.
මම අහන්නේ ඒ විනාඩි පහලවේ පොඩි දේ තමයි පුතේ.
එහෙම මොනවත් නෑ. කේක් කෑවද ඇහුවා.
ඇයි .. කේක් ඒකිද හදලා තියෙන්නේ.
මම දන්නේ නෑ අනේ.
ඇයි ඇහුවේ නැද්ද?
මට මොකටද අනේ කවුරු හැදුවත්.
ඒකත් ඇත්ත. ඒක නෙමෙයි .. දැන් කවදද , කොතනටද එන්න කිව්වේ.
පි.. පිස්සුද අනේ තාත්තිට. එහෙම එකක් නෑ. එයාගේ තනියෙන් ගනිපු ෆොටෝ එක කවදද දෙන්නේ කියලා ඇහුවා.
ආහ්.. උඹ තනියෙනුත් ෆොටෝ ගත්තද?
ඔ.. ඔව්. මට අරගෙන දෙන්න කිව්වා. මම ගත්තා.
ඒ ෆොටෝ එක ගේන්න කියපු දවසයි තැනයි මටත් කියපං. මොකද එදාටත් මම එන්නම් ගෝලයා වගේ. උඹ ඔය ෆොටෝ උස්සගෙන යන එක හරි නෑ නේ..
මට රෙදි නෑ සාන්ත. අපේ තාත්තා අන්දන්න මම ලඟ තියෙන රෙදි මදි.
අම්මා ආවා ගිණි පිඹගෙන. ශෝක් තාත්තයි පුතයි. මීට පස්සේ උඹ යන්නේ නෑ තාත්තා එක්ක වෙඩින් වලට.
තාත්තා කින්ඩි හිනාවක් දැම්මා. දාලා, මට ඇහැක් ගහලා කියනවා “ඒක හොඳයි මාලි. මූ නිසා මට දෙයක් කරගන්නත් නෑ” කියලා.
මට ආව හිනාව හිර කරන්න ගියා විතරයි ඒක පිටිපස්සෙන් ගියා පොඩි සද්දෙකුත් එක්ක.
අම්මා තාත්තා දිහා බැලුවා බැලිල්ලක්. තාත්තා පත්තරේ කෑවේ නැතුව විතරයි.
උපුටා ගැනීම: Sajitha Roshan