අමු මස් අනුභවකරන එස්කිමෝවරු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

එස්කිමෝවරු  කිව්වගමන් මතක් වෙන ජන කොට්ටාශයක් තමයි සුදෝ සුදු හිම අතර වාසය කරන එස්කිමෝවරුන්. එස්කිමෝවරුන් ලොව වැඩියෙන්ම ජීවත් වන්නේ ඇලස්කාවේය. 20 වන සියවස අවසානයේදී ඇස්තමේන්තු කළ ආකාරයට ග්‍රීන්ලන්තයේ, ඩෙන්මාර්කයේ, ඇලස්කාවේ, කැනඩාවේ සහ සයිබීරියාවේ එස්කිමෝවරුන් 1,17,000ක් ජීවත් වන බව වාර්තා වනවා. එස්කිමෝවරුන් වාසය කරන ප‍්‍රදේශ අනුව ඔවුන් කොටස් තුනකට බෙදන්න පුළුවන්.

  • ඒ නැගෙනහිර එස්කිමෝවරු,
  • මධ්‍ය එස්කිමෝවරු
  • බටහිර එස්කිමෝවරු වශයෙන්.

නැගෙනහිර සහ බටහිර ගී‍්‍රන්ලන්තවාසී එස්කිමෝවරු නැගෙනහිර එස්කිමෝවරුන්ගෙ ගණයටත් ග්‍රීන්ලන්තයේ වයඹ ප‍්‍රදේශයෙහි ජීවත් වන ධ‍්‍රැවාසන්න එස්කිමෝවරුන්ද ලබුදෝර්, අකුඩ්නර්මියුට්, ඉග්ලුලික්, කැරිබු ආදින් මධ්‍ය එස්කිමෝවරුන්ගේ ගණයටත් මැකෙන්සි ඩෙල්ටාවෙන් එහා සිටින ආසියාතික එස්කිමෝවරුන් ද බීරිං මුහුදුබඩ එස්කිමෝවරුන් ද ඇල්ස්කානු අර්ධද්වීපයට දකුණු දිගින් වාසය කරන පැසිපික් එක්සිමෝවරුන් ඇලූෂන් ඇස්කිමෝවරුන් ද බටහිර ඇස්කිමෝවරුන් ගේ ගණයටත් අයත් වෙනවා.

‘එස්කිමෝ’ යන්නෙහි තේරුම රතු ඉන්දියානු භාෂාවෙන් ‘අමු මස්කන්නෝ ‘ යන්නයි. එස්කිමෝවරුන් හැඳින්වීම සඳහා වෙනත් නම් ද තිබෙනවා. ඉනුයිට් තවත් නමක්. මේ නම් සියල්ලෙහි තේරුම ‘මිනිස්සු’ යන්නයි. එස්කිමෝවරුන් පැවත එන්නේ ආසියාතික මොංගෝලියානුන්ගෙන් බව විශ්වාස කරනු ලැබේ. ඔවුන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන් ඔවුන්ගේ රුධිර ගණය ‘B’ බව හඳුනාගෙන තිබේ. අධික ශීත දේශගුණයට ඔරොත්තු දෙන පරිදි ඔවුන්ගේ ශරීර මිටි ස්වභාවයෙන් නිර්මාණය වී තිබේ. සම කහ පැහැතිය. හිසකෙස් කළු පැහැතිය. ගොරෝසුය. ඍජුය.එස්කිමෝවරුන් ආහාර සපයා ගනු ලබන්නේ ඔවුන් වෙසෙන වටපිටාවෙන්ය. තල්මසුන්, වෝල්රස් මත්ස්‍යයින්, සීල් මත්ස්‍යයින් ‘කැරිබු’ පිනිමුවන් සහ හිම වලසුන් ඔවුන්ගේ කුසගින්න නිවන සත්වයෝ වෙනවා. මාළු ඇල්ලීමට සහ දඩයම් කිරීමට එස්කිමෝවරු අති දක්‍ෂයෝයි.

මොවුන් ජිවත්වෙන්නේ වසරේ අඩු කාලයක් ඉර එලිය ලැබෙන, හිමෙන් වැසීගිය ප්‍රදේශවල. මාස කිහිපයක් දිගු සිත සමයන් ඇති, සමහරවිට ඍන 40, 50 පමණ වන දැඩි සීතලකින් යුතු අයිස් හා හිමෙන් වැසුණු, හිම කුණාටු ගහන, ගහකොලක් නොවැඩෙන ප්‍රදේශවලයි. සිත කාලයට ඝන හිම කුට්ටි වලින් ගෙවල් හදාගන්නවා. ඉර එලිය වැටුණුවිට දියවී නැවත ඝනවන අයිස්වලින් හිම කුට්ටි අතර ඉතිරිවන සිදුරු වැසි යනවා. හිම මගින්ම ඇතුලත උණුසුම ආරක්ෂා වන ලෙසයි මෙම ගෙවල් සැකසී තිබෙන්නේ.

ජිවත්වන පෙදෙසේ සතුන් හිඟ වූ විට වෙනත් තැනකට ගමන් කරන සංචාරක ජිවිතයක් ගතකළ ඉනුඉට් ජාතිකයන් ග්‍රීෂ්ම කාලයේ ඉක්මණින් හා පහසුවෙන් ලි දඬු වලින් ගෙයි රාමුව සාදා, සත්ව හම්වලින් කුඩාරමක් බඳු ගේ වසා ගන්නවා. පරිසරයේ ද්‍රව්‍ය වලින් ගෙවල් සාදාගත්තත්, ඔවුන් ඉන්නා පරිසරයේ ලී දඬු හිඟ නිසා ඒවා බොහෝ ආරක්ෂා කර තිබෙනවා.

ඔවුන් ජීවත්වීමෙන් ලද අත්දැකීම් පරම්පරාවෙන් ගෙනෙමින් පරිසරයට ගැලපෙ එළවලු, පලතුරු නැතිවම හදාගෙන තිබෙනවා. වියලිමෙනුත්, සීල් තෙල්වල ඉවිමෙනුත්, අයිස් යට තැබිමෙනුත්, කල් තබාගත් ආහාරයි  දඩයම් අඩු සීත කාලයේ අනුභවකර තිබෙන්නේ. සීල් මසුන්ගේ හම ඇඳුම් සකස් කරගැනීමටත්, නිවෙස් ආවරණයටත්, බෝට්ටුවල කොටස් සඳහාත් යොදාගෙන තිබෙනවා. සීල් මේද තට්ටු වලින් සාදාගත් ඉටිපන්දම්වලින් ආලෝකය ලබාගෙන තිබෙනවා.

දඩයම් සඳහා අවශ්‍ය උපකරණ සාදා ගත්තේ සත්ව ඇටකටු, දත් හා සම මගින්. ගමනාගමනය කළේ හිමමත ලිස්සායන ක්වමුටික් පාරු මගිනුත්, හිම බල්ලන් ඇදගෙන යන dogsled මගිනුත්, ක්වුජක් කියන තනි කෙනෙක්ට පමණක් යා හැකි ඔරු මගිනුත්ය.

ඔවුන් භාවිතා කළ අවි ආයුධ උපකරණ වන්නේ හාර්පුන්, හෙල්ල, දුනු, ඊතල ආදියයි. සත්ව ඇටකටුවලින් මේ උපකරණ ඔවුහු සාදා ගන්නවා. ඔවුන්ට දඩයම් කටයුතු සඳහා මෙන්ම ගමනා ගමන කටයුතු සඳහා ද උපකාර කරන්නේ ‘හස්කි’ නමින් හැඳින්වෙන බල්ලන් වර්ගයකි. කරත්ත ඇදගෙන යන මේ බල්ලන්ට ඔවුන් සලකන්නේ දේවත්වයෙනි. බල්ලන් 12 ක් හෝ 16 ක් බඳින ලද කරත්තවලින් බඩු ප‍්‍රවාහනය කිරීමත් ගමනා ගමන කටයුතුවල යෙදීමත් ඔවුහු සිදුකරති. ‘කෛයැක්’ නමැති ඔරුවල නැගී මුහුදට යති. බටහිර ග්‍රීන්ලන්තවාසී එස්කිමෝවරු තල්මසුන් මැරීමට යාම සඳහා සහ ළමයින් සහ කාන්තාවන්ට ගමන් කිරීම සඳහා ‘උම්යැක්’ නමැති වඩාත් පුළුල් බෝට්ටු වර්ගයක් භාවිතා කරයි. ගිම්හාන කාලයේදී එස්කිමෝවරුන් කැරිබු පිනිමුවන් දඩයම් කරන අතර අධික ශීත කාලයෙදී ජලය හිම තට්ටු බවට පත්වූ පසුව ඒවා සිදුරු කර ජලය යට සිටින මාළුවෝ අල්ලයි.

එස්කිමෝවරුන් අධික ශිතලෙන් ආරක්‍ෂාවීම සඳහා පිනිමුවන්ගේ ලොම්වලින් නිම කළ ඝන ඇඳුම් අඳිනවා. සත්ව සමින් ඇඳුම් සහ සපත්තු මැසීමට එස්කිමෝ කාන්තාවන් ඉතා දක්‍ෂය. ඔවුහු වොල්රස් දළවලින් ඉඳිකටු සකසා ගනිති.බොහෝ දෙනෙකු සිතන්නේ එස්කිමෝවරුන් සීත කාලයට සාදා ගනු ලබන හිමගෙවල් ‘ඉග්ලූ’ නමින් හඳුන්වන බවයි. ඉග්ලූ ගෙවල් හිමවලින්, ගල්වලින්, ලීවලින්, සත්ව සම්වලින් සහ කීල්තාර කොළවලින් සාදනු ලැබේ. ‘ඉග්ලූ’ යන්නෙහි තේරුම ආවරණය යන්නයි. කැනඩාවේ සහ උත්තර ධ‍්‍රැව ප‍්‍රදේශයේ වාසය කරන එස්කිමෝවරු සීත කාලයේදී හිමවලින් ‘ඉග්ලූ’ ගෙවල් සාදනවා. ඝනව මිදුණු හිම කුටිට් අඩි දෙකක් දිගට අඟල් අටක් පළලට ද අඟල් පහක් උසට ද කපා එක මත එක සිටින සේ කවාකාරව තබා සකසාගනු ලබනවා. පැහැදිලි තුනී හිමවලින් ජනෙල් ද සකසා ගන්නා ඔවුන් අධික ශීතල එක්වරම නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉතා මිටි දොරටුවක් සකසා ගනිති. මේ නිසා හිමගෙය තුළට ඇතුළු විය යුත්තේ බඩගා ගෙනය. තම අසල්වැසි ‘හිමගෙවල්’ තුළට යාම සඳහා ද ඔවුන් ගේ තුළින්ම මාර්ග සාදා ගෙන තිබේ. නැගෙනහිර එස්කිමෝවරු පස් පිඩැලිවලින් තනනු ලබන ගෙවල්වල ද බටහිර එස්කිමෝවරු ලී කොටන්වලින් තනනු ලබන ගෙවල්වල ද ශීත ඍතුව ගත කරනවා.

සොබාදහම මිනිසුන් වෙනුවෙන් නිර්මාණය වී තිබෙන බව විශ්වාස කරන එස්කිමෝවරු මිනිසුන් ද සොබාදහමට ආදරය කළ යුතු බව විශ්වාස කරනවා. ඔවුහු ආහාර සහ ඇඳුම් පැළඳුම් සඳහා පමණක් සතුන් දඩයම් කරන අතර නිකරුණේ සතුන් නොමරයි. සතුන්ට ගෞරව කරයි. එස්කිමෝවරුන් එකිනෙකාට ආචාර කරගනු ලබන්නේ නහයට නහය තැබීමෙනි.  එස්කිමෝවරුන්ගේ ඔවුන්ටම වෙන්වූ සාම්ප‍්‍රදායික ගීත, කතන්දර සහ නැටුම් තිබෙනවා. මේ කතන්දර සහ ගීත ගෙතී තිබෙන්නේ ඔවුන් දඩයමේ යාමේ දී සිදුවුණු ත‍්‍රාසජනක කි‍්‍රයා ඇසුරිනි.එස්කිමෝවරුන් අතරේ පාලකයෙක් නොමැත. ‘ෂමාන්’ නමින් හඳුන්වන ගෝත‍්‍රයේ වයස්ගතම පුද්ගලයා ඔවුන්ට මඟපෙන්වයි.

ඔවුන් අද දඩයම් සඳහා රයිෆලය භාවිතා කරයි. ගමන් බිමන් යාම සඳහා අද ජංගම හිමරථ, මෝටර් බෝට්ටු භාවිතා කරයි. වෙළෙඳසැල් කරාවිත් ඇඳුම් පැළඳුම් මිලදී ගනිති. අද බොහෝ එස්කිමෝවරු නිවාස සාදා ගෙන ජීවත් වෙයි. ඔවුහු අද ගුවන්විදුලියන්ත‍්‍ර, රූපවාහිනී යන්ත‍්‍ර පවා භාවිතා කරයි. එදා භාණ්ඩ හුවමාරු ආර්ථික රටාවකට හුරු වී සිටි ඔවුහු අද මුදල් භාවිතා කර භාණ්ඩ මිලදී ගනියි.

නවීන ලෝකය සමඟ යම් යම් වෙනස්කම්වලට ලක්වූවත් එස්කිමෝවරුන්ට සිය අනන්‍යතාව රැකගෙන ඉන්නට අදටත් පුලුවන්කම තියෙනවා.

 

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!