අහම්බෙන් මෑත දිනෙක මතුගම නගරයේදි එක්තරා යුවතියක් නෙතු ගැටුනි, ඈ විසින් මා දෙස ඉතා ඕනෑකමින් බලන සේයාවක් හැගී ගියෙද එහෙත් මුඛ ආවරණ පැලද සිටි නිසා හදුනා ගැනීමට නොහැකි විය, එසේ වුවත්…
ඒ ඇස් වල හැදුනුම්කමක් තිබුනි,
” අද නිවාඩුද සර්..”
ඇය මාගෙන් විමසන ලදී..
මේ නම් ගුරුවරියක් බව හදුනා ගන්න මට ගත වූයේ නිමේෂයකි..එසේම ඇය කවුද යන්නත් හදුනා ගැනීමට ඒ සමග හැකි විය..
“ඔව්..මිස්..ඉතිං කොහොමද ..
මොකද අද ටවුන් එක පැත්තේ..”
පඩි ගන්න ආවද..?
ඔන්න අපි වෙලාවට පඩි දාලා ඇති..”
“අනේ නෑ සර් පේපර් වගයක් ප්රින්ට් කරගන්න ආවා..”
“මොන පේපර්ද..?
දැන් ඉස්කෝලෙ නිවාඩුනෙ ක්ලාස් කරත් ඔන්ලයින් නෙ..”
“මිස් කොහෙද වැඩ..”
ඇය බිම බලාගත්තේ සිනාවෙමින්ද කණගාටුවෙන්ද මට සිතා ගැනීමට නොහැකි වූයේ ඈ පැලද සිටි මුඛ ආවරණය නිසාවෙන් වුවත් එහි මොකක්දෝ දෝමනස්සයක් තිබූ බව ඉදුරාම කිව හැකිය..
“මම වැඩ ….ඉස්කෝලෙ ……”
“මගේ දරුවන්ට මොන ඔන්ලයින් ද සර්..
ඒ ළමයින්ට ස්මාට් පෝන් නෑ තියෙන අම්මලා තාත්තාලත් නෑ ..
තිබ්බත් කීපදෙනෙකු ට විතරයි …”
ඇය එක හුස්මට කියාගෙන ගියාය.
අහපු ප්රශ්ණය ගැන ලැජ්ජා වුනත් ඒ බව නොපෙන්නා මගේ ඊලග ප්රශ්ණය වුනේ …
මේ ප්රින්ට් අවුට් මොකටද යන්නයි..
“මේ පේපර් ටික තාත්තා කෙනෙක් අතේ යවනවා,…..
එයා ඉස්කෝලෙන් ගිහින් තියනවා.. දෙමාපියෝ ඇවිත් අරගෙන ගිහින් ළමයින් මේවා කරාට පස්සෙ ආයෙමත් ගෙනත් තියනවා…
යවපු ක්රමය හරහා ආයෙමත් මම ටවුන් එකට ඇවිත් ගන්නවා..”
මිස් ගෙ ගෙවල් කොහෙද ?..
“මම ඉංගිරියෙනෙ සර්..”
අප්පා…ඔයා එහෙ ඉදන් ද මේ ආවෙ..
ඔව්..අපි ගන්න පඩියට ණය වෙන්න හොද නෑ සර් මේ සේරම දරුවො වෙනුවෙන්නෙ….ඒ දරුවො මගේ දරුවො වගේ…….”
“මිස් කීය පංතියද කරන්නේ..?”
“5 වසර “
ඈ……..
“කොහොමද ශිෂ්යත්ව ප්රතිඵල ? කීදෙනෙක් ලිව්වාද මොකද වුනේ? කීදෙනෙක් ගොඩ ගියාද..???
මාගෙන් ප්රශ්න පත්තරයක් ඇයට ලැබුණි…
“දරුවො 15ක් පෙනී හිටියා 15 ම සමත් ලකුණ පහුකරා එක දරුවෙක් ලකුණු 184ක් ගත්තා……”
ඇය පුදුම නිරහංකාර සතුටකින් මට ප්රකාශ කලාය.
දන්නෙත් නෑ නෙ මිස් ෆේස් බුක් එකේවත් දැක්කෙ නෑ…
අපේ දරුවන්ගෙ දෙමාපියෝ ෆේස් බුක් නෑ සර් අනික මම දැම්මෙත් නෑ මොකද ඒක මගේ රාජකාරීය,
ඒ යුතුකම ඉටුකරා කියල සතුටුයි ඒ මට ඇති..
ඒක ලෝකෙට ප්රාකාශ කරන්න ඕනෙ නෑ නේද….?
ඇය මගෙන් විමසුවාය…
ජනප්රිය යැයි පැවසෙන පාසල් තුල ඕනෑම විභාගයක සමත් වූ සංඛ්යාව ගැන මහ ඉහළින් ඉස්මතු කරද්දී
අසමත් වූ පිරිස ගැන මතකය පෑල දොරින් පලායන බව ප්රසිද්ධ රහසකි………..
මන්ද සියල්ලෝගෙම අවධානය යොමුවෙන්නේ එවැනි පාසල් තුල සමතුන් වෙතය,.
බහුතරයක් දෙනා තමාගේ ළමයා කෙසේ හෝ එවැනි පසලකට ඇතුලත් කරගන්න උත්සහා ගනු ලබන්නේද එම ජනප්රිය නැමති නාමයටය..
එහෙත් කැලේ පිපුණු මල් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිට මුලු ජීවිතයේ වටිනාම කාලය දුප්පත් දරුවන් වෙනුවෙන් කැපකර දිය බිදක හෝ වාසියක් නොපතනා දිසාපාමොක් පරපුරේ අංකුර අදටත්
විරළව හෝ දැකීමට ලැබීම සතුටට කරුණකි……..
මෙසේ කොපමණ කැප කිරීම් කරනා අල්ප වූ ගුරු දේවතාගාවන් අතර….
විටෙක පඩි පතේ සත පනහේ වෙනසට රුපියල් 35/= බස් ගාස්තු ගෙවා එය විමසීමට පැමිණෙන සමහරක් ඇදුරන් ද මා හට හමුවී ඇත…….
ඔන්ලයින් පංතියේ මුදල ඊසි කෑෂ් නොකලේනම්….
එම පංතියෙට සම්බන්ධවීමේ දිගුව ලබා නොදීමටත් සමහරක් ගුරු වෘතිකයෝ සිටිනා මෙවැනි යුගයක..
ගුරු සේවය ගරු සේවයකටත් එහා ගිය ගෞරවාන්විත ලෙස ජාතික වගකීම ඉටුකරනා ගුරුභවතුන් ද ඇත.
මන්ද යත්….
මාගේ කතා නායිකාව මගේ මතකයේ…කිසිදු දිනෙක
ඇයගේ වැටුප් වර්ධකයක් ගැන හෝ මොනයක් හෝ ලැබීම් සම්බන්ධයෙන් මා ඇමතූ බව මතකයේ නැත……
ඇයගේ ජීවිත කතාවේ බොහෝ පරිජේදයන් ලියවී ඇත්තේ දැයේ දරුවන්ගේ හෙට දිනය සවිකරලීම වෙනුවෙන් ඇයගේ කොටස සපුරාලීමට බව මා හට ඒ මොහොතේ හැගී ගියේය..
අහස් කුස සිප ගන්න
තක්සලා ඉදිනූන..
රට හුලං හමා එන
සිප් කුටිත් හිමි නූන..
ස්මාට් කළු ලෑලි
හීනයක් වී තියෙන..
රට වටේ නම් දරපු
දේශකයො හමු නූන..
මේ බිමෙත් පිපුණාලු
ශිෂ්යත්වෙ මල් බෝම..
ඇගයුමක් නැති නමුත්
දර්ශකෙන් උඩ දාන..
නුඹට පිං ගුරු මව්ණි
කුඩම්මෙක් සේ නූන.
උපුටා ගැනීම: තිලින එන් කන්නන්ගර