අනාගතය නොපෙනෙන වර්තමානය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම පියනගමි. තවමත් බලාපොරොත්තු සහිතව පියනගමි. ඔහු සිටින්නේ මදක් දුරිනි. නමුත් මගේ සිතට ලගිනි. ඔහුත් තනිවමය මාත් තනිවමය. තනිකම ඉස්පාසුවක් නොදෙයි. අඩුතරමේ ඔහුට ආදරේ කරන්නට කෙනෙකු සිටීනම් සිතට සහනයකි. ඔහු ආදරේ කරන්නට දන්නේත් නැත දන්නා මට ආදරේ කරන්නට දෙන්නේත් නැත.
තනිව ඔහුට ආදරේ කිරීම වෙලාවකට මහත් හිසරදයකි. වැටක් උඩ සිටගන දෙපසට වැනෙන්නාක් මෙන් දැනෙයි.මාද හිතුවක්කාරයෙකු මෙන් වටේ දැවටෙමි. වද දිදී දැවටෙමි. මුහුදේ මාලු කොපමණ ඇතිදැයි ගණන් නොකරමි. ලග සිටින මුතු බෙල්ලා රැකගන්නට වෙර දරමි.
ඉස්සර මා ප්රතික්ෂේප කල දේවල් ඔහු කරනවිට හොදයි සිතේ. ඒ ඔහු ඒවා කරන නිසාය. ආදරේ ගැන මල පොතේ අකුරක් ඔහු දන්නේ නැත. ඒ වුනත් ආදරේ පතුලටම කිදා බැස ඇති මට අහස උසට බණ කියන්නේ මා ජීවිතේට ආදරේ කර නොමැති අයෙකු ලෙස සලකාය.
ඔහු මගේ ජීවිතයට ආවේ මම ජීවත් වීම අතහැරිය මොහොතකය. මා ඔහුට මෙතරම් ඇලුම් කරාවි කියා මට සිතුනේවත් නැත. ඒ ඔහු වේවි කියා සිතුවේත් නැත. නමුත් අද මා සතුටින් සිටින්නේත් , ජීවත් වන්නේත් , ලැබෙන සියලු දේවල් ලැබෙන්නත් ඔහු මා ලගින් ඉන්නා නිසා බව මට දැනේ. ඔහු මගේ ජීවිතයට වාසනාවත් බලාපොරොත්තුවත් බව මම විශ්වාස කරමි.
මම පෙර ද ආදරය කළෙමි. ආදරය ලැබීමි. විටෙක මට මගේ අනන්යතාව වෙනස් කරගන්නට සිදුවිය. මට මාව නැතිකරගන්නට සිදු විය. නමුත් ඔහු සමග ඉද්දී එසේ නොවෙයි. මගේ සියලු හොද නරක ගති ඔහු ළගදී දිගහරින්නට තරම් මගේ හිත සැහැල්ලු ය. මොකද ඔහුගේත් ඇති හොදක් නැත. මා මෙන්ම විකාරයකි. හිතටද බැම්මකින් බැන්දාක් මෙන් අපහසුවක් නොදැනේ. බොරුවට රගපාන්නටද අවශ්ය නැත. හොද මමත් නරක මමත් ඔහු ඉදිරියේ නිදහස් ය.
නමුත් ඔහුගේ ආදරය පිලිබද සිතුම් පැතුම් මහා බොළදය. පාසල් කාලයේදී ආදරය කරන අයෙකු මෙනි. පැහැදිලි කරන්නටද අවස්ථාවක් නැත. එකක් ඔහු අති පණ්ඩිතය. අනික දෙයක් කියා නිම වෙන්නට කලින් කකුල වදින ඇදක වැටී නිදයි. නැතහොත් ගමනාගමන මණ්ඩලයේ අධ්යක්ෂක මෙන් රට පුරා කරක් ගසයි.
දෙයක් කියන්නට වෙලාවක් නැත. පස්සේ කතා කරන්නම් යැයි කිව්වොත් ජීවිතේට කතා කරන්නේද නැත. කිව්ව මේ ලෝකේ දෙයක් මතක නැත. ආපසු අලුත් දෙයක් අසනවාක් මෙන් අසයි. මම නිසා ඉවසාගන සිටිමි. ඒ ආදරය පිලිබද ලැබූ හොද නරක අත්දැකීම් හා තේරුම් ගැනීම් නිසාය.
මේ ළදරුවා සිතාගන හැසිරෙන්නේ නම් සත්ය ප්රේරේම බෘංග රාජයා වගේය. ඒ වුනාට මට අවුරුදු දෙකක් වෙන කිසි දෙයක් නොකර ඔහුට ආදරේ ගැනම පමණක් උගැන්වීමට හැකිය. හැකි නම් යහපත් ය. නමුත් මා මෙය ලියන්නේද රාවණාගේ බාල සොහොයුරු කුම්භකර්ණ මෙන් ඔහු නිදමින් හෝ ඉහත දැක්වූ පරිදි කොහේ හෝ ගමනක් ගොස් අතුරුදහන් වී ඇති බැවිනි. හෙට උදෑසන පමණ නින්ද ගියා කියමින් එනතුරු මෙය ලිවීමට මා බලාපොරොත්තු වෙමි.
කෙසේ වුවත් මම ඔහුගේ විකාරරූපී වැඩ වලට ආදරය කරමි, පණ්ඩිත කියවිල්ලට ආදරය කරමි, කටහඩට ආදරේ කරමි , ඉල්ලීම් උපදෙස් වලට ආදරය කරමි. ඔහුගේ පෞරුෂයට ආදරය කරමි.ඔහුගේ යහපත් අයහපත් , සම්පූර්ණ අසම්පූර්ණ සියලු දෙයට ආදරය කරමි. කොටින්ම මා ඔහුටම පමණක් ආදරය කරමි.
යම් දිනක ඔහු මගේ ආදරය බාරගනු ඇත, නැතහොත් ප්රතික්ශේප කරනු ඇත. එතෙක් උපේක්ෂාවෙන් අපේක්ෂා විරහිතව දැඩිව ආදරය කරමි. නමුත් එක් දෙයක් මම දනිමි. මගේ ආදරය පිලිබද විශ්වාසයෙන් ම කියමි. එදිනට මා ඔහු සමග සිටීදැයි නොසිටීදැයි මම නොදනිමි. නමුත් ඔහුගේ අත්දැකීම් , මනස හා වයස මුහුකුරා ගිය එක්තරා දිනයක , ආදරය යනු මා යැයි ඔහුගේම මුවින් විග්රහ කෙරෙනු නොඅනුමානය . එතෙක් ඔහු සමග ගෙවනා වර්තමානය ජීවිතයේ සුන්දරතම කාලය ලෙස මගේ හදවතේ රැදෙනු ඇත.
 අල්තීනායි
උපුටා ගැනීම: නිසල දිය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!