ඔහු සිටියේ අලුතින්ම ඉදිවූ සාප්පු සංකීර්ණයේ ඉහළම මාලයේය. එහි එළිමහන් අවන්හලක් විය. හරියටම ඉර මුදුන් වන මද්දහනේ වුවත් පහළින් පෙනෙන ඉන්දියානු සාගර දෙස බලාගෙන බියර් වීදුරුවක් තොලගාන ඔහු වැනිම තවත් දෙතුන් දෙනෙක් එහි සිටියේය. මුහුද දෙසින් හමා එන සුළඟ විසින් හිසට ඉහළින් ඇති සූර්යාගේ තාපය මකා දමයි. වරින් වර අවුල් වන කෙස් රැල්ල එක අතකින් නැවත තිබුනු ලෙසම තබා ගැනීමට උත්සාහ කරන අතරේ අනෙක් අතින් බියර් වීදුරුව තොල ගෑමට යම් ආයාසයක් දැරිය යුතුය. සිකුරාදා දිනයක් වුවත් එහි දෙතුන් දෙනෙකුට වඩා නොසිටියේ තවමත් මද්දහනය නිසා විය යුතුය. මුහුද දෙස බලමින් සිටියත් ඔහුගේ මනස තිබුනේ රට අභ්යන්තරයේ වූ කඳුකරයේය. ඒ හෙට දිනයේ යෑමට නියමිත චාරිකාව ගැනය. නුවරඑළියේ විනෝද චාරිකාවක් යෑම කිසිසේත්ම ඔහුගේ අදහසක් නොවීය. එය බිරිඳගේ පෙරැත්තය නිසාම සංවිධානය වූවකි. පියාගේ වියෝවෙන් මාස පහක් ගතවී තිබුනත් ඔහු එදා පටන්ම කිසිදු විනෝදාත්මක කටයුත්තකට සහභාගී වී නොතිබුනේය. දිනපතාම නිවසේ සිට දරුවාගේ වැඩ කටයුතු කර හෙම්බත්ව සිටි යශෝධරා නිවාඩුවක් ගැන කියවීමට පටන්ගත්තේ කාලයකට පෙර සිටය. නමුත් හදිසියේ සිදුවූ පියාගේ අභාවය නිසා ඇයට ඒ මැසිවිල්ලට මද විරාමයක් දීමට සිදුවූවාය. මෙය ඔහුගේ සැනසීමට කාරණයක් විය. නමුත් මෙවර ඔහුට එය නොඇසුණු සේ සිටීමට කිසිදු හේතුවක් හමුවූයේ නැත. ඔහු අද දිනයේද ව්යාපාරික කටයුතු වලින් නිවාඩුවක් ලබාගත් බව ඇය දැන සිටියේ නැත.
“ ට්රිප් එක ගියාට ඩ්රින්ක් එකක්වත් දාන්න ලැබෙන්නෙ නෑනේ . .. එක්කො ලමයා එක්ක නැත්නම ඩ්රයිව් කරන්න වෙනවා. ඒක නිසා ට්රිප් එකට කලින් දවසෙවත් බියර් එකක්වත් බොන්න ඕන “ ඔහුගේ සිත කීවේ එලෙසය. පියා මිය යන තෙක්ම ඔහු කිසිම දිනක මත්පැන් පානය කර නොතිබින. සීතල බියර් බෝතලයෙන් භාගයක් පමණ හිස්වනවිට පියාගේ සෙවණැල්ලක් සිත තුල නැගෙන්නට පටන් ගත්තේය. ඔහු හා කුඩාකල ගෙවූ ජීවිතයේ රූප රාමු එකින් එක සිහිවන්නට පටන් ගත්තෙය. පියා ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේදී වැවකට පෙරළුණු දිනය දක්වා වූ ඔහු හා සම්බන්ධ මතකසටහන් නැවත එකින් එක මෙනෙහි කිරීමට පටන් ගත්තේය. පියා හා ඔහු අතර තිබුනේ මෙලොව කිසිම පියෙකු සහ පුතෙකු අතර නොතිබුනු තරම් තද බැඳීමකි. ඔහු එසේ විශ්වාස කලේ ඔහුගේ යහළුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් අතරේ තිබූ බැඳීම් ගැන දැක තිබූ නිසාය. මව අහිමිව කුඩා කල සිටම පියා තනිවම ඔහු රැක බලා ගත්තේ කුඩා ව්යාපාරයක්ද මෙහෙයවන අතරේය. කෙතරම් කාර්යබහුල අයෙකුවුවත් පියා ඔහුගේ දිවියේ සුළු හෝ විශේෂ මොහොතක් මග හැරියේ නැත. පියාගේ මැදිහත්වීමකින් තොරව ඔහුගේ දිවියේ කිසිවක් සිදු නොවීය. ඇඳුම් පැළැඳුම් වල සිට උසස් පෙළ විෂය පථය තෝරා ගැනීම දක්වා පියාගේ මැදිහත්වීම ඔහුගේ දිවිය පහසු කරා යැයි ඔහු විශ්වාස කළේය. පියා නොසිටින්නට තමාට යශෝධරා වැනි බිරිඳක්ද හමුනොවන බව ඔහු තේරුම් ගෙන සිටියේය. පියාගෙන් සිදුවූ මැදිහත්වීම ඔහු මියගියද නැවතුනේ නැත. ඔහු සෑම විටම පියාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් රාත්රිය පුරා නිදිවර්ජිතව සිටියේය. නමුත් මෙවැනි එළිමහනකදී පියා ඔහු වෙත පැමිණීමට අදි මදි කරයි. නැත්නම් ගෙවත්තේදී මෙන් එක්වරම බංකුවේ අනෙක් පස වාඩිවී ඔහු දෙස බලා සිටින්නට ඉඩ තිබුනේය. නමුත් යම් අයෙක් ඉදිරියෙන් තිබූ අසුනේ වාඩිවූ බව කල්පනාවේ ගිලී සිටි ඔහුට එක්වරම දැනුනේය. මුහුද දෙසින් හිස ඉවතට ගෙන එක්වරම ඔහු ඉදිරිය බැලුවේය. කිසිවෙකු ඔහු හා සිනහා වෙමින් සිටියි. එක්වරම ඔහු පසුපසට වීසීවී ගියේ කැඩපතකින් මුහුණ දුටුවා සේය. ඉදිරියේ සිටි මිනිසා ඔහුගේම පිටපතකි. ඔහුගේ සිදුවූ වෙනස්වීම මිනිසාට දැනුනා සේය. ..
“ තාත්ත කියල නේද හිතුවෙ … නෑ .. මේ මම … මේ ඔයා “ මිනිසා කීවේ මද සින්හවක් නගමිනි.
“මම … ඔයා ?” ඔහු ගොත ගසන්නට විය.
“ ඔව් … හරියටම අවුරුද්දකට පස්සෙ ඔයා “
“ ඒ කිව්වෙ … ? “
“ මම ආවෙ අනාගතයෙන් .. අඳුරු ..හුදකලා අනාගතයකින්“
ඔහුට කිසිවක් සිතාගැනීමට නොහැක. ඉදිරියේ සිටින මිනිසා තමාම බව ඔහුට සැකයක් නැත. දිනපතාම උදෑසන කැඩපත් ඉදිරියේ දකින ඔහුගේ රුව සහ මේ රුව අතර වෙනසක් නැත. සිතට දැනුනේ දැඩි බියකි. ඔහුට පියා මතක් විය. මෙය ඔහුගේ තවත් ක්රියාවක්ද .. පියාගේ ක්රියාවක් නම් බිය වීමට කිසිදු දෙයක් නැත.
“ මො .. මොකක්ද ..වෙන්න ඕන “ ඔහුට කීමට වෙන කිසිවක් සිතාගත නොහැකි විය.
“ මම ආවේ අවවාදයක් දෙන්න .. ජීවිත දෙකක් බේරෙන අවවාදයක් ..
ඔහු වික්ෂිප්තව බලා සිටියේය .. .. අවන්හලේ සිටි අනෙක් මිනිසුන් දෙස බැලුවේය. ඔවුන් සියල්ල ඔවුන්ගේ ලෝක වලය. ඔහුට නැගිට දිවයාමට සිතුණේය ..
“ කලබල වෙන්න එපා. මම දන්නවා මේක තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මම අවුරුද්දක්ම මහන්සි වුනේ මේ දවසට එන්න. “
“ මට මොනවත් තේරෙන්නෙ නෑ .”
“ හෙට නුවර එළි යන ගමන කැන්සල් කරන්න. හැටන් වලදි කාර් එක පල්ලමකට පෙරළෙනවා. තමුන් විතරයි බේරෙන්නෙ. යශෝධරයි පුතයි දෙන්න නැතිවෙනවා. තමුන්ට වෙන්නෙ මෙන්න මෙච්චරයි. “ අමුත්තා නළල මත ඇති පැරණි කැපුම් පහරක් වැනි දෙයක් පෙන්නුවේය.
ඔහු පළමු වරට අමුත්තා සහ තමාගෙ ඇති වෙනසක් දුටුවේය. අමුත්තා කියූ දෙය ඔහුගේ සිත බියෙන් සලිත කලේය. තමා පියාගේ මරණයෙන් පසුවම මෝටර් රථය ධාවනය කර නොමැත. හෙට ඔහු මෝටර් රථය ගෙන යෑමට තීරණය කරේ සංචාරයට රියදුරා ගෙන යෑමට යශෝධරා දැඩි ලෙස විරුද්ධ වීම නිසාය. තමාගේ අතින් මෝටර් රථය පෙරළීයාමට ඉඩක් ඇති බවට ඔහුට සැකයක් නොවීය. අවුරුදු තිහක් වාහන පැදවූ පියාටත් වරදක් සිදුවූවා නම් තමාටද එසේ සිදු නොවීමට හේතුවක් නොමැත.
“මම අවුරුද්දක් තිස්සේ මේක වෙනස් කරන විදියක් ගැන හිතුවා. අන්තිමට මම කොහොමහරි අතීතයට ආවා. මාව විශ්වාස කරන්න .. “
“ කොහොමද අතීතයට ආවෙ …. “
“ ඒක දිග කතාවක් .. අකාල සන්ධ්යා බැලුවා මතකද ? ..අන්න ඒ වගේ. .. ඒත් මට හරියටම අවුරුද්දක් පස්සට විතරයි එන්න පුලුවන් වුනේ. ඒත් ඒ හොදටම ඇති. “
අකාල සන්ධ්යා ඔහුගේ ප්රියතම ටෙලි නාට්යයයි. පියා මිය ගිය දිනයේ සිට ඔහු හීන මැව්වේ නාගසේන මෙන් අතීතයට ගොස් පියා නැවත දැක ගැනීමටයි. ඔහු ඒ සඳහා රාත්රී කාලයේ යශේධරාටත් හොරෙන් වත්තට ගොස් බංකුවක් මත හිද භාවනා කිරීමට පුරුදු විය. නමුත් ඔහු අතීතයට යාමට පෙර පියා ඔහු සොයා ආවේය. තමා අනාගතයේදී එය සාර්ථක කරගෙන ඇති බව ඔහුට තේරුම් ගැනීම අපහසු නොවීය.
“මම යනවා .. යශෝධරාට ගිහින් කියන්න. මම අද විතරයි ඉන්නෙ. මාව ආයෙ දකින්න ඕනනම් අතනට එන්න .. රෑ දහයට. මම ඉන්නවා ..” අමුත්තා වෙරළ දෙසට අත දිගු කලේය. ඔහු ඒ දෙස මද වේලාවක් බලා සිට නැවත හැරී බලන විට අමුත්තා දක්නට නොවීය.
හුන් තැනින් වහා නැගී සිටි විකුම් විශ්වනාත් චන්ද්රසේකර නිවස බලා යාම පිණිස සාප්පු සංකීර්ණයෙන් පිටතට පැමිණ කුළී රථයක් අල්ලා ගත්තේය. පැය භාගයක් යාමට මත්තෙන් නිවසට පැමිනි ඔහු බිරිඳ සොයා ගියේ සිදුවූ දේ පවසා හෙට දින ගමන අවලංගු කිරීම පිළිබඳ පවසා සිටීමටය. ඔහු වචන ගලපාගත්තේ ඉතාමත් අසීරුවෙනි. බිරිඳ දෑත් බැඳගෙන ඔහු කියූ දෙය සාවධානව අසා සිටියාය. ඔහුගේ පැටලිලි සහගත කථාව හැඟීම් විරහිත මුහුණින් අසා සිටි බිරිඳගේ ඇස් දෙස එක එල්ලේ බැලීම ඔහුට නුපුළුවන් විය.
“ඉවරද …කථාව .. ? ඇය අවසානයේ ඇසුවාය ..
ඔහු හිස් බැල්මකින් බලා සිටියේය.
“ දැන් තාත්තා දකින එක ඉවර වුනාද .. ඒ පාර තමුන්ම දකින්න පටන් ගත්තෙ මේ මහ දවල් … ? “
“ මම කියන එක තේරුම් ගන්න යශෝධරා .. “
“ මට හොඳට තේරෙනවා .. මේ ගමන යමු කිව්ව දවසෙ ඉඳලා මොනවහරි කියලා මග අරින්න හැදුවා. හරියට බිස්නස් වැඩ බලන්නෙත් නෑ. ඒවයෙ හොරු වැහි වැහැලා… වාහනයක් ඩ්රයිව් කරන්නෙ නෑ .. රෑ තිස්සෙ එක එක බහුබූත වැඩ …. ඒ ගමන අනාගතයක් කියවනවා .. මම කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ .. ? “
“ යශෝධරා .. ඒ මිනිහා මම ගැන හොඳටම දන්නවා. තාත්ත මට කතාකරන එකත් දන්නවා … ඒ මමමයි. “
“ ඇත්තටම තමුසෙට පිස්සුද … ? පහුගිය මාස ගාණක් මම ඉවසුවා …තවත් නම් මට මේ පිස්සුව ඉවසන්න බෑ .. මම යනවා ඔලුව හැරුනු අතක මේ ලමයත් එක්ක. නැත්නම් මටත් පිස්සු හැදෙනවා “
ඔහුට කීමට කිසිවක් සිතාගත නොහැකිවිය. ඇය කවදාවත් තමා කිවූ දෙයක් පිළිගත්තේ නැත. නමුත් මෙය කෙසේවත් අත නොහැරියයුතු කාරණයකි. ඔහු තද තීරණයක් ගත යුතුය.
“ඔයා මොනව කිව්වත් .. හෙට අපි ගමන යන්නෙ නෑ “
ඇය ඉදිරියට කඩා පැන්නාය .. අතින් පයින් ඔහු වෙත පහර දුන්නේ කෝපයෙන් කෑ ගසමිනි. ඔහු එම පහරවල් වැළැක්වීමට උත්සාහ ගත්තේය. ඇයගේ පහරවල් වල වේගය අඩුවන විට ඇයගේ කෑගැසීමද ක්රමයෙන් හැඬුමකට පරිවර්තනය වූවාය. ඔවුන්ගේ කුඩා දරුවාද ඔවුන්ගේ මෙම රණ්ඩුව දෙස බලාසිටිනු දෙදෙනාම දුටුවෝය. යශෝධරාගේ අත ගසා දැමූ විකුම් නිවසින් පිටතට ආවේ අරමුණක් නොමැතිව පාවෙන අයෙකු පරිද්දෙනි. ඔහු අවට සිදුවූ කිසිවක් නොදැක්කේය. හිස් බැල්මකින් යුතුව පාරදිගේ ඇවිද ගියේය. පියා සිටියානම් මෙසේ වන්නෙ නැත. පියා මියගිය දින පටන් ඔහු වාහන වලට දැක්වූයේ අසීමිත බියකි. මේ චාරිකාවේදී අනතුරක් වන බව ඔහු මුල සිටම දැන සිටියේය. අනාගතයෙන් පැමිණි තමාම එය ස්ථිර කල විට ඔහුට එහි යම් දෙගිඩියාවක් තිබුනේ නම් එයද පහව ගියේය. ඒත් යශෝධරා ඒවා දන්නේ නැත. පියා සිටියානම් … පියා සිටියානම් …… පියා සොයායා යුතුය.
සවස්වනතුරු ඔහු පාර දිගේ ඇවිද්දේය …ඇවිද්දාට වඩා එය ඉබාගාතේ යෑමකි. අනාගතයෙන් පැමිණි තමා කිවු දෙය ඔහුට මතක් වූයේ ඇඳිරි වැටීගෙන එද්දීය. ඔහු හමුවීමට යායුතුය. ඔහු සතුව මෙයට පිළිතුරක් තිබෙන්නට පුළුවන ..
තමා මුහුද දෙස බලා සිටිනු ඔහු දුටුවේය. හාත්පස වූයේ අඳුරකි. නමුත් මිනිසුන් පිරිසක් එහි විය. ඔහු තමාට කිට්ටුවිය.
“ආවද …. ? යශෝධරා හරිම මුරණ්ඩුයි නේද ..”
“ හ්ම් … තාත්ත හිටියනම් මේ ප්රශ්ණ මොනවත් නෑ .. “
තමාගේ මුහුණ දිළිසෙනු ඔහු දුටුවේය. තමා මෙන්ම ඔහුටද පියා මතක් වීම වේදනාවක් වූ බව ඔහුට දැනුනේය.
“තාත්තා හමබවෙයි දවසක … අපිත් යනවනේ කවදහරි. . “ අනාගතයෙන් ආ ඔහු කීවේය.
“ ඉක්මණටම එහෙම වෙනවනම් හොඳයි … “ ඔහු කීවේ සුසුමක් හෙළමින් ය.
“අපි යමු ටිකක් එහාට … කවුරුවත් නැති තැනකට වෙලා පොඩ්ඩක් බොන ගමන් කතා කරමු … “ ඔහු සාක්කුවකින් ගත් බාගේ බෝතලයක් පෙන්විය.
“ යමු .. මට මාත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා .. “
ඔහු නිවසට ලඟාවූයේ පසුවදාය .. යශෝධරාට මුහුණ දීමට අපහසු බවක් ඔහුගෙන් පෙණුනේය. නමුත් ඇයගෙන් දිස්වූයේ පෙරදා තිබුනු නපුරු පෙනුම නොවේ. ඇය ඔහුට සමාව දී ඇති සෙයකි. අපිළිවෙලට තිබුනු ඇඳුම් සහ අවුල්වූ හිස දෙස බැලූ ඈ ඔහුට තුවාය ගෙනවිත් දී නා ගන්නා ලෙස නොකියා කීවාය. ඔහුද කිසිදු කතාබහක් නොමැතිව එය අතට ගෙන නාන කාමරයට් වැදුනාය.
සංචාරය ඇණ හිටියද ඔවුන්ගේ දවස සාමකාමීව ගෙවුනේය. වෙනදා දරුවා සමග වැඩි කාලයක් ගෙවුවද ඔහු එදින කල්පනසහගතව සිටින ආකාරයක් යශෝධරාට දැනුනේය …
ඔහුගේ කල්පනාව බිඳ දමමින් යශෝධරා සාලයේ සිට කෑ ගැසුවේ ඉක්මණට එන ලෙස දන්වමිනි. ඔහු එදෙසට දිව ගියේ කලබලයෙනි.
“ මේ බලන්නකෝ … වෙරළට මිනියක් ගොඩගහලලු .. ඔයා වගේමයි නේ .. “
ඔහු රූපවාහිනිය දෙසට ගියේ වික්ෂිප්ත වූ ස්වරූපයෙනි. ඔහු එදෙස මද වේලාවක් බලා සිටියේය.
“මල්ලි” ඔහුට කියවින.
“ මල්ලි ..? “ යශෝධරා ඇසුවේ පුදුමයෙනි.
“ඔයා නොදන්න කතාවක් තියෙනවා යශෝධරා .. අපේ අම්මා මැරිලා නෑ. එයා තාත්ත දාලා ගිහින්. දාලා ගිහින් නෙවෙයි තාත්ත එයා එළවලා. ඒත් එයා ගිහින් තියෙන්නෙ මගේ මල්ලිත් අරගෙන. ඒ කිව්වෙ මගේ නිවුන් සහෝදරයා. අපි කවදාවත් හම්බවෙලා නෑ… “
“ විකුම් .. ඔයා ඇත්තටමද මේ කියන්නෙ”
“එයාලා ගොඩක් දුක් වින්දලු … තාත්ත එක්ක ගොඩක් වෛරයෙන් මල්ලි ඉන්න ඇති. අපි සැප විඳිද්දි එයාලා ගොඩක් දුක් විඳලා “
යශෝධරා ඔහුගේ කතාව අසා සිටියේ විශ්වාස කල නොහැකි බැල්මකිනි.
“ දැන් අපි මොකද කරන්නෙ විකුම් “
“ එයාට කවුරුවත් නැතුව ඇති. දැන් අම්මා මැරිලත් ඇති. සමහරවිට අම්මා එයාට මේ කතාව කියන්නත් ඇති. අපි අවසන් කටයුතු කරන්න බාරගමු. “
“ඒත් .. මේ මැරුණෙ කොහොමද කියලා .. ..
“ සමහරවිට ලොකු වෛරක්කාරයෙක් එයාව මරන්න ඇති. එයා මරණ එකෙන් ලොකු වාසියක් ලැබෙන්න ඇති. “ ඔහු එසේ කියා කාමරයට වැදුනේය.
එදින රාත්රියේ ඔහු යශෝධරා සමග ආලිංගනයේ යෙදුනේ අලුත්ම මිනිසෙකු ලෙසය. යශෝධරා මින් පෙර ඔහුගේ නොදුටු නළලේ තිබූ කැපුම් පහරක් වැනි දෙයක්ද දුටුවාය. ඇය ඔහුගෙන් කෙතරම් දුරස්වී සිටියා දැයි එවිට ඇයට අවබෝධ වූවාය.
රාත්රියේදී යශෝධරා හැර ආ ඔහු වත්තේ තිබූ බංකුව මත වාඩිවිය. මද වේලාවකින් ඔහුගේ පසෙකින් කාන්තාවක් වාඩිවිය. ඔහු ඇය දෙස බැලුවේ දීප්තිමත් දෑසකිනි.
“ ඔන්න අම්මේ මම කාලයක් තිස්සෙ ප්ලෑන් කරලා තාත්ත වගේම අයියත් එව්වා අම්ම ලඟට .. අම්මට මම නැතුවට පාළු නැතුව ඇතිනේ ..”
ඇය තවදුරටත් එහි සිටියේ නැත. පිටුපසින් පැමිණි යශෝධරා ඔහු බදාගත්තාය.
“ආයෙත් තාත්තා බලන්න එන්න ඕන නෑ .. මම ඔයාට හැම දේටම උදව් කරන්නම්”
උපුටා ගැනීම: Sha Danthanarayana