මට අනුරාධපුරේ ඉදලා ශිෂ්යත්වෙං පාස් වෙලා කොලඹ ඉස්කෝලෙකට යන්න සෙට් උනා.ඉතිං මට හය වසරෙ ඉදලා ඕ ලෙවල් වෙනකන් ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉන්න අවස්ථාව ලැබුනා.ඔය කාලේ වෙච්ච ආතල් සීන් නම් ගොඩායි.ඒවගෙන් එකක් තමයි අද මේ පලවෙනි වතාවට අඩයාලමට ලියන්නෙ.
මේ සීන් එක 2015 අවුරුද්දෙ තමයි උනේ.ඒ කියන්නෙ අපි හොස්ටල් එකේ හිටපු අන්තිම අවුරුද්ද.
අපි හොස්ටල් එකට ගියපු කාලෙ ඉදන් හොස්ටල් එකේ පිටිපස්සේ එලිමහන් බාත් රූම් එකක් තිබුනා.ඒක ඇත්තටම තිබුනේ ඉස්කෝලෙ ම තාප්පෙට ම හේත්තු කරල.ටයිල් කැටත් අල්ලලා.රූම් කිව්වට ඉතිං කිසිම රූම් එකක් නෑ.නාගන්න ශවර් හයි කරල තිබුනේ.ඉතිං ඔය නාන පොට් එකට එහායින් තිබුනා සුපිරියට හැදුනු ආනමාලු පඳුරක්.කෙසෙල් ගස් උනාට ඉතිං පොල්ගස් තරම් උස.කාලෙන් කාලෙට ඉතිං ඕවගෙ කෙසෙල් කැන් වැටෙනවා.හොදට වතුර සප්ලයි එක තියෙන නිසා උපරිම සරුවට කෙසෙල් කැන් මතුවෙනවා.ඒ උනාට ඉතිං එව්වා අපිට අයිති නෑ.තහනම් ගහේ කෙහෙල්.අයිතිවාසිකම් කියන්නෙ ඉතිං ලොකු අයියාලා.නැත්තං කුස්සියේ වැඩට ඉන්න සෙට් එක.
ඉතිං අපිත් කාලෙක ලොකු අයියල උනා.
ඒ කාලෙත් ඉතිං කෙහෙල් පදුර දඩාර ආනමාලු කැනක් වට්ටන්න අමතක කලේ නෑ ඉතිං.සුපුරුදු විදිහට ම කෙහෙල් කැන මතු වුන දා ඉදලා කුස්සියේ වැඩ කරන එවුන් ටික මාන බල බල හිටියෙ.කෙහෙල් කන්නද.නෑ නෑ…ඒක කපලා විකුනලා ඒ සල්ලි වලින් අඩියක් ප්ලේ කරන්න. තවද මේ කාලෙ ඉස්කෝලෙ අනධ්යයන කාර්යමන්ඩලේ වැඩ කරපු එවුං දෙතුන් දෙනෙක්ම හොස්ටල් එකේ නතර වෙලා හිටියා.එවුන්ටත් මේ ආනමාලු කැන පිලිබද විශාල ආසාවක් තිබුන බව හොදින්ම දනිමු.එතනින් ජීවන්තයා කියා සිටි එකෙක්ට අපිට තිබුනෙ පුදුම තරහකි.මොකද ඌ අපේ බාත් රූම් එකක තිබුණු කණ්නාඩියක් ගලවාගෙන ගොස් ඌ හිටි කාමරයේ සවි කරගෙන සිටින බවට ලද දූසමාන ආරංචි නිසාවෙනි.දැං ඉතිං තේරෙනවනෙ නිකං හැදිච්ච කෙසෙල් කැනට එන්න එන්නම අයිතිකාරයො වැඩි වීගෙන වීගෙන එන බව.ඉතිං අපද මූකලං බස්සන් සේ බලා නොහිද කෙසෙල් කැන ඩැහැ ගැනීමට විවිධ ඌ උපායන් කල්පනා කරමින් කෙසෙල් කැන ගසේම පැසෙන තුරු බලා සිටිමට සිදුවුණා.අප වයසේ ද කණ්ඩායම් කිහිපයක් ම මාන බලමින් සිටි බැවින් දවසින් දවස වැඩේ අමාරු වෙන පාටක් මිසක් ලෙහෙසියක් නම් නොලැබුනි.මා ඇතුලු හතර දෙනෙක් වූ කෙසෙල් සොර මුල මෙසේය.නුවරින් පැමිණි සනත්.පදවියෙන් පැමිණි නිවුන් ඩබල තරූශ හා මදූශ.අප හතර දෙනාම සිටියේ පාසලේ එකම පන්තියේ ය.එබැවින් පාසල් කාලය තුල කිසිවෙකුටවත් නොදැනෙන ප්ලෑනක් ගැසීමට අපි සමත්වීමු.
ඔන්න දැං කෙසෙල් කැන පැහිලා. හැබැයි ඉතිං තව දවස් තුන හතරක් වත් ගහේ තිබ්බොත් තමයි හොදටම පැහෙන්නේ.පිස්සුද යකෝ තව දවස් ගනන් ඕක ගහේ තිබ්බොත් අපිට කන්න වෙන්නේ ආනමාලු ගහ තමයි.අද රෑම වැඩේට බහින්න වෙනවා.
කෙසේ හෝ අපට අවශ්ය වූයෙ කෙසෙල් කැනේ වහල්ල ගසේ තිබිය දීම ඇවරි ටික පමණක් බිමට බාගෙන උදෑසන කෙසෙල් ගස දෙස බලන එවුන්ට කින්ඩියක් දැමීමට ය.යක්ෂයාගේ හෝරාව උදා විය.මම සනතා තරූශයා හා මදූශයා අනික් එවුන් වැඩි හරියක් නිදා ගන්නා තුරු මග බලමින් නොයෙක් දෑ කරමින් රාත්රි 12.00 ත් පසු වන තුරු කල්මරමින් සිටියෙමු.ඔය කාලෙ ඉතිං රෑට රෑ වෙනකන් කොරිඩෝ වල දිවීම,ඇවිදීම ,ලයිට් දමා තිබීම මහා රෑ පවා නෑම සාමාන්ය දේවල් ය.ඒවා නිසා වෝඩ්න්ගෙන් ගුටි කෑ වාරද අනන්තය.ඒ නිසා රාත්රියේ වුව එහෙ මෙහෙ ඇවිදීම එතරම් සැකයට කරුණක් නොවීය.දිරච්ච කඹයක් හා මෙලෝ රහකට නැති මොට පිහියක් ද රැගෙන කෙසෙල් පඳුර අසල පැමිනියෙමු.
කෙසෙල් ගසට නැග ඇවරි පමණක් කපා ගැනීම සුලුපටු නොවීය.ඒතරම් කෙසෙල් ගහ උසය.එම නිසා ඇවරි පමණක් කපා ගැනීමේ අදහස අත් හැර ගැනීමට සිදු විය.දැං ඉතිං එකා එකා ගස තරණය කිරීමට උත්සාහ දරයි.නැවත පහලට රූටයි.ලෙහෙසි නම් නැත.අවසානයෙ තීරණය වූයේ සනතා මට ගසට නැගීමට කර දෙන අතර අනික් එවුන් දෙන්නාද සනතාට හා මා හට අධාර කිරීමත් හා ලද සැනින් කෙසෙල් කැන ගල් කීරීමත් ය.කෙසෙල් පදුරට යාබදව තාප්පය තිබූ බැවින් කෙලින් ම ගසට නොනැග තාප්පයට නැග කෙසෙල් කැන බාගත කිරීමට තීරණය විය.තාප්පෙට උඩින් කටුකම්බි රෑන් කිහිපයක් තිබූ බැවින් වැඩේ තවත් අපහසු විය.කටු කම්බිවලට මගේ කකුල තුවාල වූවා හා කලිසම ද ඉරුනා කියා මතකය.ඒ කිසිවක් නොතකා සෑහෙන වෙලාවකට පස්සෙ කඹය කෙසෙල් කැනට ගැට ගැසීමට මට හැකි විය. දැං ඉතිං තියෙන්නේ සීරුවෙන් කපා ගැනීම ය.මොට පිහියෙන් පැයක් විතර අතුල්ල අතුල්ලා අන්තිමට කෙසෙල් කැන බිමට පත බෑ විය.කඹය දැමූයේ කුමට දැයි සිතාගත නොහැකි විය.කඩාගෙන ම වැටුනා.සියල්ලෝම කටවල් වහගෙන හික් හික් ගාලා සිනා සෙන්නේය.දැං ඉතිං කෙසෙල් ගහ දිග බුරුස් ගාලා පල්ලෙහාට බැස ගැනීමට හැකිය.වැඩි වෙලාවක් නැත.කවුරු හරි ආවොත් වැඩේ නෝන්ඩි ය.
වහ වහාම හතර දෙනාම කෙහෙල් කැන උස්සාගෙන උඩ තට්ටුවට නැග ගත්තා.කෙසෙල් කැන පිටින් සැඟවීම කිසි සේත්ම කල නොහැකි ය.එසේ මෙසේ එකක් නොව එය පත කෙසෙල් කැනකි.එලෙස සැග වීමට තරම් තැනක් අප සතු නෝවීය.ඒ නිසා ඇවරි වෙන වෙනම කපා නමය වසරේ අයිතිකාරයෙක් නැති ලොකර් එකකට දමා සැගවීමට තීරණය විය.මදූශයා ද කොහෙද ලොක් එකක් අරගෙන ඇවිත් කලුවරේම හයි කලා මතකය.දැං ඉතිං මූලික වටය අවසන්.
වැඩේ ඉවර වෙනකොට පාන්දර එකහමාර දෙක වන්නට ඇත.දැං ඉතිං ගිහින් සාමාන්ය පරිදි නිදා ගැනීමට තමයි තියෙන්නේ.
පසුදා උදෑසන විය.අපි ඇහැරෙනකො මහා කලබලයක්.කෙසෙල් කැන කපලලු.
එක එක උන් එක එක කතා කියන්නට විය.
අපද ඔවුන් හා එක්ව කෙසෙල් හොරු ඇල්ලීමට උත්සාහ දැරුවෙමු. හවස් වන විට වෝඩ්න් හිටපු සරත් සර්ට ද කවුරු හරි මේ ගැන කියා තිබුනා.කුස්සියේ එවුන් හරි.අනධ්යයනයො හරි තමයි ඉතිං.
සරත් සර් ද දැං ඉතිං මෙය සොයා ගැනීමට විවිධ දේ කියයි.කෙසෙල් කැන ඉදුනට පස්සෙ හොස්ටල් එකේ ඔක්කොටම බෙදලා දෙන්නලු හිටියේ.හිතාගන්න පුලුවන් නේ කෙසෙල් කැනේ තරම. ඔහු කැපූ අයට පාපොච්චාරණය කිරීමට කියයි.අපි හතර දෙනාද මූනෙන් මූණ බලයි.කිසිමදාක පාපොච්චාරණය නොකරන බව සනතාගෙ මූනෙන් පෙනුනි. දැං ඉතිං කෙසෙල් කැන කපපු එකෙක් නැත.දැං තර්ජනය තවත් වැඩි වී ඇත.අපේ වයසෙ සිටි උන්ට ද ලොකු ප්රශ්නයකි.මොකද උනුන් බලාගෙන හිටියෙ ඔක්කොටම කෙසෙල් බෙදාගෙන කන්න වෙන්නැති.
ඔන්න දැන් දවස් දෙක තුනක් ගත විය.කෙසෙල් කෑ අයෙක් වත් පේන්ට නැත.කොහෙ කන්න ද ඉතිං තාම ඉදිලා නෑ යකෝ.
වැඩේ හරියන පාටක් නැත.කුමක් හෝ කල යුතු ය.දුම්ගැසීමෙන් කෙසෙල් ඉදවිය හැකිබව හොදින් දන්නා නිසා පරණ පත්තර හා හඳුන්කූරු අරගෙන දින තුන හතරක් ගතවෙනකන්ම දුම් ගැසීමට සිදුවිය.එය ශිෆ්ට් එකට කිරීමට අපිට සිදුවිය.දෙදෙනකු දුම් ගසන තුරු තවත් දෙදෙනෙකුට ඔත්තු බැලීමට සිදුවිය.එසේම සගවා තිබූ තැන වෝඩ්න්ගෙ නිවසේ උඩු මහලට පෙනෙන නිසා රාත්රී කාලයේදී අඳුරේදී තමයි දුම්ගැසීම කීරීමට උනේ.මෙසේ දින දෙක තුනක් දුම් ගැසූ විට ආනමාලු ඉදෙන සුවඳ කෙමෙන් කෙමෙන් දැනෙන්නට විය.
දැනෙන සතුට කියාගන්නට බැරිය.තර්ජන ගොඩක් මැද්දෙ කපපු ආනමාලු කැන අවසන් අදියරට පැමින ඇත.එතැන් පටන් රාත්රී වලදී පැමින කෙසෙල් ගෙඩියක් රස බැලීම දින කිහිපයක් යනකන් දෛනික සිරිත විය.කෙසෙල් කන අතරවාරයේ හර්ෂයාට හා අභීතයාට පමණක් මාට්ටු වූවා මතක ය.
ඔවුන් සමග සිනාසෙනු හැර කුමක් කරමුද??අල්ලස් ලෙස ආනමාලු ලබා දී වෙන කාටවත් නොකියන ලෙසට ශේප් කර වැඩේ ගොඩ දා ගැනීමට හැකිවිය.
විවිධ සයනාගාරවල ඩස්ට්බින් වලින් කෙසෙල් ලෙලි පමණක් මතුවූ අතර උදෑසන දී සියල්ල එකම ඩස්ට්බින් එකකට එකතු විය.කෙසෙල් කැන හොස්ටල් එකේම වළඳන බව සියල්ලෝම දැන ගත්තත් අද වන තුරුම කැපූ අයෙක් සොයා ගැනීමට නොහැකි විය..
උපුටා ගැනීම: Srimal Dayarathne