“අත්තම්මේ…මං දෙයක් අහන්නද…? “
ඉස්තෝප්පුව කෙලවරේ වේවැල් පුටුවේ වාඩි වෙලා ඈත වෙල් යාය දිහා බලාගෙන හිටපු මං මගේ මිනිපිරී අශල්යාගේ හඩින් තිගැස්සිලා ගියා. ඈ මගේ දිහාවට ඇවිදන් එමින් හිටියා.
අශල්යා මගේ බාල දෝණිගේ එකම දරුවා. ලංකාවේ මට ඉතුරු වෙලා හිටිය එකම මිනිපිරී හින්දා ද මන්දා පුංචි කාලේ ඉදන්ම ඈ මට හුගාක් කිට්ටුයි. වයසක මට හිටිය හොදම යාලුවා තමා මගෙ පුංචි මිනිපිරී.
“මොකද්ද මයේ පුතේ…” මං ඇහැව්වේ මගේ ඉදිරියෙන් තිබුන වේවැල් පුටුවේ හරි බරි ගැහෙමින් වාඩි වෙන ඈ දිහාවේ බලාගෙන.
“අත්තම්මා අපි කාටවත් නොකිව්ව කතාවක් හිතේ හිර කරන් නේද ඉන්නේ… අත්තම්මා මේ කතාව හින්දා හුගාක් විදවනවා කියලා මට දැනෙන්නේ…” මගේ වියපත් රැලි ගැහුනු දෑත සෙමින් පිරිමදිමින් මූණ අද්දරට එබෙමින් අශල්යා ඇහුවා.
ඈ මගේ මූන දිහාම බලන ඉන්නවා මට බොදවෙලා පේනවා. සුසුමක් හෙලුනෙත් ඇස් වලට කදුලු පිරීගෙන ආවෙත් එකසැරේටමයි.
“අනේ අත්තම්මා අඩන්න නම් එපා හොදද…” මගෙ දෑත ඇගේ අත්දෙක අතර හිරගනිමින් අශල්යා සිහින් හඩින් කෙදුරුවා.
“නෑ… නෑ පැටියෝ මං අඩන්නේ නෑ මට හිතාගන්න බැරුව ගියා මගේ පුතා එකපාරටම එහෙම ඇහුවේ කොහොමද කියලා…. සයිකෝලොජි කරන්න පටන් ගත්තාට පස්සේ හිත් කියවන්නත් ඉගෙන ගත්තාද…” මං කදුලු අතරින් හිනා වෙන්න උත්සහා කරමින් කිව්වා.
” අනේ නෑ ආච්චියෝ… එහෙම නෙවෙයි… මට ඒක හුගාක් කල් ඉදන් තේරුනේ…. ඒත් ඒක අහන්න ඕනිද නැද්ද කියලා මං හිත හිත හිටියේ… දැන් මං ලොකුයි නේ… ඒ නිසා අහන්න හිතුනා… ඔයා ඔහොම කල්පනා කරන හැම වෙලාවකම ඔයාගේ ඇස් ආදරෙන් පිරිලා තියෙන්නේ… මං හැමවෙලාවකම හිතුවා ඒ ආදරේ කවුරු වෙනුවෙන්ද කියලා…” මගේ රැලි වැටුනු අත පිරිමදිමින් ඈ කිව්වා.
” මගේ පුතාටත් මිනිස්සූ විනිවිද දකින්න පුලුවන් නේද..? ඉස්සර මටත් කිට්ටු මිනිස්සුන්ගේ හිත් දැනෙනවා… මං ඉස්සර ඔයා වගේම මෙහෙම කියලා ඒ අයව පුදුම කරලාත් තියෙනවා…”
” අනේ… එහෙනම් මටත් ඒක එන්න ඇත්තේ මගෙ අත්තම්මාගෙන් තමා…” අශල්යා මගේ කම්මුලක් සිප ගනිමින් කිව්වා. මගේ හිත එක්වරම සතුටින් පිරිලා ගියා.
“දැන් කියන්නකෝ ඉතින් මොනවද මෙන්න මේ පපුවේ හිර කරන් කාටවත් කියන්නේ නැතුව ඉන්නේ කියලා….” ඈ මගෙන් ඇහුවේ හොදම යාලුවෙක් අහනවා වගේ.
” ඒක හුගක් දිග කතාවක් නේ පුතේ….” මං හෙමීට කිව්වා.
” කමක් නෑ අත්තම්මේ මං අද කැම්පස් යන්නෙත් නෑනේ…මුලු හවසම ඔයා ගාවට වෙලා ඉන්න මට පුලුවන්… අද නම් ඔයා මට කියන්නම ඕනි හොදද…” ඈ සතුටින් හිනාවෙලා කියනවා මට පෙනුනා.
“හ්ම්ම්…” මට බර සුසුමක් හෙලුනා. කාටවත් කිව්වේ නැති කතාවක් හිතේ හිර කරන් ඉන්න එකත් ලේසි නෑ. හැමදාමත් අතීත මතකයන් වල හිර වෙලා මං ජීවිතේ වින්දද විදෙව්වාද කියලා මං ඇත්තටම දැන උන්නේ නෑ. මං කොතනින් කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න බැරුව උන්නේ. අන්තිමේදි හැම කතාවකම වගේ එයාව මුලින්ම මුණ ගැහුන තැනින් මං කතාව පටන් ගත්තා.
” මේ කතාව අවුරුදු පනස් හයක් පරනයි පුතේ… ඒ කතාව ආපහු කියන්න හදද්දී මට දැනෙන්නේ දූවිලි ගැහුන පොතක් ගසලා පිහදාලා ආයිත් කියවනවා වගේ… ” මං මොහොතකට අවුරුදු පනස් අටක් අතීතෙට ගියා.
“හ්ම්ම්… මට එයාව හම්බුනේ ගුරු විද්යාලෙ කැන්ටිමේදී.. එයාත් ඇවිත් තිබ්බේ නුවරින් උනාට මං කවදාවත් ඊට කලින් එයාව දැකලා නෑ.. එයාගේ නම පණ්ඩුල…”
මට නොදැනිම ඇස්වලට කදුලු පිරුනා. දෙතොල්වලට හිනාවක් ආවෙත් හුගාක් කාලෙකින් එයාගෙ නම මගෙ දෙතොලින් කියන්න ලැබුන නිසාද මන්දා.
“මායි මගේ යාලුවොයි නුවර කියලා දැනගෙන හිටිය නිසා එයයි එයාගේ යාලුවොයි ඇවිල්ලා මාත් එක්ක කතා කලේ අපේ විස්තර දැනගන්න.. එයා පේරාදෙනියේ… ගිහින් තිබ්බෙ විද්යාර්ථෙට.. මට වගේම කැම්පස් යන්න ලකුනු මදි හින්දා තමා ටීචින් කොලේජ් ඇවිත් තිබ්බේ… මුල ඉදන්ම අපි හොද යාලුවෝ වුනා.. ඒකට හේතුව වුනේ එයත් මං වගේම දේවල් ගැඹුරෙන් රසවිදින කෙනෙක් ඒ වගේම ලියන කෙනෙක්… එයා ඒ කාලේ කවි ලියනවා…. කෙටිකතා ලියනවා… ලිව්වාම මුලින්ම දෙන්නේ මට තමා විවේචනය කරන්න… සති අන්තේ ගෙදර යද්දී මට දෙනවා.. මං ඉරිදාට ආපහු යද්දී තමා මගේ අදහස් කියන්නේ… ආහ්… අපි දෙන්නා නුවර ගියේ ආවේ එකටමයි… ඒ කාලේ තමා සුදු පුතේ මං සතුටින්ම ජීවත් වුනේ… හ්ම්ම්ම්…..” මගේ ඇස් ඉස්සරහා ඒ කාලේ වුන හැමදෙයක්ම චිත්රපටියක් වගේ දිගහැරුනා.
“ඉතිං අත්තම්මේ ඊට පස්සේ මොකො වුනේ…?” මගෙ පුංචි මිනිපිරි අහන්නේ කුතුහලයෙන් මූන පුරෝගෙන.
” අපි එකට වේදිකා නාට්ය බැලුවා.. චිත්රපටි බැලුවා.. අපිට ඒකට යාලුවෝ ක්ණ්ඩායමක්ම හිටියා.. අපිට කිව්වෙ නුවර කල්ලිය කියලා… එයයි මමයි මගෙ යාලුවෝ දෙන්නා ශාරදායි රාණියි හිටියේ කෙල්ලෝ… එයාගේ නම් යාලුවෝ රොත්තක්ම හිටියා මට නම් මතක දෙන්නයි… ම්ම්.. නාලකයි තව පීටර්… අනිත් අය නම් මතකත් නෑ… අනේ අද ලොකේ කොහෙ කොහේ ඉන්නවද මන්දා… ආසයි දකින්නත්” මොහොතකට ආපහු අතීතෙට ගිහින් ඒ අය මුනගැහෙන්න මට ආස හිතුනා.
“ඉතින් ආත්තම්මා එයාට ආදරේ වුනේ කොයි කාලෙද…” අශල්යා දගකාර හිනාවක් මූනේ තියාගෙන මගෙන් අහනවා.
“අනේ අනේ… මොනවද මේ අත්තම්මාගෙන් අහන්නේ… මං කිව්වාද දැන් ආදරේ කරපු කතාවක්..” මං බොරු තරහක් මවාගෙන ඇහුවා.
“හීහී… අත්තම්මා කියන්න ඕනී නෑ මේ කතාව කියද්දී අත්තම්මාගෙ ඇස් ආදරෙන් පිරෙනවා මට පේනවා නේ
මේ තරම් සතුටක් මං කවදාවත්ම අත්තම්මාගෙ මූනෙන් දැකලා නෑ… අත්තම්මා එයාට කොච්චර ආදරේ කරන්න ඇතිද කියලා මට හිතාගන්න පුලුවන්..”
එහෙම කියද්දී ඇගේ ඇස් වලත් කදුලු දිලිසෙනවා මට පෙනුනා.
” හ්ම්ම්…” මං මදක් නිහඩව හිටියේ කදුලු ගලන එක නවත්තගන්න.
” ඒක වුනේ… කවදද කොහොමද කොතනද කියලා මට හිතාගන්න බෑ පුතේ… හැබැයි මට ඒක දැනුනේ අපි ගුරු විද්යාලේ දෙවෙනි අවුරුද්ද අග විබාගේ ලියන කාලේ… ඒ මාසේ අපි කවුරුත් ගෙදර ගියේ නෑ විබාගේ නිසා… ඒ නිසා එක සති අන්තෙක පණ්ඩුගේ අම්මා ආවා එයාව බලන්න… එයාගේ අම්ම හරි ලස්සනයි… මට අද වගේ මතකයි හරිම ලස්සන ලාලිත්යක් තිබුනා… ඔසරිය ඇදලා කොන්ඩේ බැදලා… අනේ මට දැක්ක ගමන්ම ආදරේ හිතුනා පුතේ.. හැබැයි එදා තමා මගේ ජිවිතේ කදුලින්ම පිරුන දවස… පණ්ඩුගේ අම්මා එක්ක තව ලස්සන ගෑනුලමයෙක් ඇවිත් හිටියා… මං හිතුවේ ඒ පණ්ඩුගේ සහෝදරී කියලා.. ඒ ලමයා දැක්ක ගමන් පණ්ඩුගේ අතේ එල්ලෙද්දී මගේ පපුවට කුලුගෙඩි පාරක් වැදුනා පුතේ… මට අයිති දෙයක් එයා උදුරගත්තා වගේ දැනුනේ… මහා ඉරිසියාවක් එක්ක වේදනාවක් දැනුනා…. අන්න එදා තමා පුතේ මට දැනුනේ මං කොච්චර පණ්ඩුලට බැදිලා හිටියද කියලා…” මට අදත් ඒ වේදනාව එදා වගේම දැනුනා. පපුව මොහොතකට හිරවෙලා යනවා වගෙ මට දැනුනේ. මං හිමීට පපුව උඩින් අත තියාගත්තා.
අශල්යා සෙමින් සුසුමක් හෙලනවා මට දැනුනා. ඈටත් මගේ වේදනාව දැනෙන්නට ඇති.
“කවුද ආත්තම්මේ ඒ ගෑනුලමයා…?”
” එයාද….? එයා තමා පුතේ පණ්ඩුගේ නෑනා… ඒ දෙන්නා බොහොම පුංචි කාලේදිමයි කසාද බන්දන්න තීන්දු කරලා තියෙන්නේ…” මං කිව්වේ පපුවෙන් පටන් ගත්ත වේදනාවක් ඇග පුරාම පැතිරෙද්දී.
” ඉතිං ඇයි ඒක පණ්ඩු කවදාවත් ආත්තම්මට කිව්වේ නැත්තේ…? අනික ඒ කියන්නේ පණ්ඩු ආත්තම්මට ආදරේ කලේ නැද්ද කවදාවත්..” මගේ පුංචි කෙල්ල අහන්නේ ඇස් වල කදුලු පිරෝගෙන.
මං සුසුමක් හෙලන ගමන් උපැස් යුවල ගලවලා පැත්තකින් තිබ්බා.
“එයා කවදාවත්ම මට ආදරෙයි කියලා නෑ පුතේ… එත් එයාගේ ඇස් මට හැමදාමත් ආදරෙයි කිව්වා.. එයාගේ බැල්ම හරි අමුතුයි පුතේ… මං දිහා බලන් සැරෙයක් ගානේ ඒ ඇස් ආදරෙන් පිරිලා තිබ්බේ…” මං මොහොතක් දෑස් පියාගෙන් පණ්ඩුගේ ඇස් දෙක මවාගත්තා.
“එයාට හයියක් නොතිබෙන්න ඇති නාමලී ගැන මට කියන්න… ඒ වගේම අවුරුදු ගානක් පැවතුන පවුලේ සිරිත් වෙනස් කරන්න…. ඒ දේවල් මොනවා වුනත් පණ්ඩු මට හුගාක් ආදරේ කරා කියලා මං දන්නවා පුතේ… ජීවිතේ දුකක් කරදරක් ආ හැමවෙලේම මං පණ්ඩු ගැන හිතුවා.. හැම වෙලේම ඒ හැගීම මට සතුටක් දුන්නා පුතේ..”
“අනේ….” අශල්යා මොහොතක් නිහඩව ඉදලා එක්වරම කතා කලා.
“ඉතිං ආත්තම්මට අපේ සීයාව හම්බුනේ කොහොමද… නුවර ඉදන් ගම්පහ ආවේ කොහොමද…. අනික… අනික දැන් ඒ පණ්ඩු කෝ…” ඈ ප්රශ්න වැලක්ම අහගෙන ගියා.
” එදා පණ්ඩුගේ අම්මා ආපහු යද්දී අපේ යාලුකම කවදාවත් ආයේ නොපෑහෙන්නම ඈත් වෙලා ඉවරයි පුතේ… මට මතකයි එදා හැන්දෑවේ එයාලා ගියාට පස්සේ කලුවර වැටෙනකම්ම අපි දෙන්නා වැඩියෙන්ම ගැවසුන වෙරලු ගහ යට අපි වාඩි වෙලා උන්නා.. කොච්චර වෙලා වාඩිවෙලා උන්නද කියලා අපිට හැගීමක් තිබුන් නෑ… පැය ගානක් කිසි කතාවක් නැතුව අපි දෙන්නා ඔහේ වාඩි වෙලා උන්නා… රැහැයියන්ගේ සද්දෙට අමතරව ඇහුනේ අපි දෙන්නාගෙ හුස්ම වැටෙන සද්දේ විතරයි… ටිකකින් හදත් පායන් ආවා… ඉතිං මං නැගිට්ටා හොස්ටල් එකට යන්න… එතකොටම එයා මගේ අතින් අල්ලගත්තා.. මං එයා දිහාවේ බලාගෙන හිටියේ..
මට සමාවෙන්න රෝසි…. මගේ ඇස් දිහාවේ බලන් ඔන්න ඔහොම කිව්වා… කලුවරේ මට පෙනුනේ එයාගේ ඇස් දෙක විතරයි.. මහා පසුතැවීමක් වේදනාවක් එක්ක ඒ ඇස් කදුලුවලින් පිරිලයි තිබුනේ… ” මං මොහොතකට කතාව නතර කරලා ඈත වෙල් යාය දිහාවේ බැලුවා. ඈත අහස අදුරු වේගන කලුවර වැටීගෙන එනවා.
“ඉතිං ආත්තම්මා මොකද කිව්වේ…” මගේ අත පිරිමදිමින් අශල්යා අහනවා මට බොදවෙලා පෙනුනා.
“මං මොනවා කියන්නද පුතේ… මං මොකුත් නොකියා හිනා වෙලා හොස්ටල් එකට ආවා… එදා රැයින් පස්සේ බොහොමයක් දේවල් වෙනස් වුනා… අපි දෙන්නා දෙන්නාගෙන් හුගක් ඈත් වුනා.. අයිතිකාරයෙක් ඉද්දී එයාව ලගින් ආශ්රය කරන එක මට දැනුනේ ලොකු වැරැද්දක් වගේ… ඒක එයාටත් තේරුන් යන්න ඇති.. තුන් වෙනි අවුරුද්ද වෙද්දී අපි අපෙන් හුගාක් ඈත් වෙලා තිබුනා… කවුරුත් ඒ ගැන කතාකලා මට මතකයි… අපේ අතරේ මොකක්හරි හබයක් වෙලා කියලයි කවුරුත් හිතුවේ… මට හම්බුනේ බදුල්ලේ ඉස්කෝලයක් එයාට නුවරටම ලැබුනා කියලයි මට ආරංචි වුනේ.. අන්තිම දවසේ උත්සවෙන් පස්සේ කිසි ආරංචියක් ලැබුනේ නෑ පණ්ඩු ගැන.. දැං ජීවතුන් අතර ඉන්නවාද කියලවත් හාංකවිසියක් නෑ… ” හුග කාලෙකින් මේ තරං එකදිගට කතා කරලාද මන්දා මගේ උගුරත් වේලුංකාලා ගිහින් දැවිල්ලක් දැනුනා.
” කාන්තිඅම්මට කියන්න පුතේ උණු වතුර එකක් ගේන්න කියලා… උගුර දැවිල්ලයි හොදටෝම… ” මං කියද්දිම අශල්යා පුටුවෙන් නැගිට්ටේ මං ගේන්නම් අත්තම්මේ කියාගෙන.
ඈ නැගිටලා ගියාම මට මහා පාලුවක් දැනුනා. හවස් වේගන එන නිසාම ඇග හීතල කරගෙන හීත හුලගකුත් හමන් යනවා. සංසාරේ කරපු පවක් නිසාද කොහෙද ආයේ කවදාවත් අහම්බෙන්වත් පණ්ඩු ව දෑහින් දකින්න හම්බුනේ නෑ. නුවර ගිය හැම සැරේම කොහෙන් හරි එයාගේ රූපේ මතු වෙයි කියලා බලන් ඉදලම මං හෙම්බත් වුනා. මට මතකයි ඉස්සර මහත්තයා නුවර යනවා කිව්ව දාට මට නින්ද යන්නෙත් නෑ හිතේ තිගැස්මට. මගේම මෝඩකං. පස්සෙන් පහු මං එයාව හොයන අදහස අතැර ගත්තා. මොකද කල් යද්දී හුරුපුරුදු මූණක් දැක්කත් ඒ පණ්ඩුද කියලා අදුරන්න මට බැරුව ගියා. කාලෙත් එක්ක පණ්ඩු කියන්නේ ඉදහිට වේදනා දෙන තුවාලයක් වගේ වුනා. ඒත් එයාව සදහටම අමතක කරන්න මං කැමති වුනේත් නෑ. මගේ ජීවිතේ මට ජීවත් වෙනවා කියලා මට දැනුනේ පණ්ඩුගේ මතකයන් නිසා…
” ආ අත්තම්මේ….” අශල්යාගේ හඩින් මාව කල්පනා ලෝකෙන් පියවි ලෝකෙට ආවා. වතුර වීදුරුව ඇගේ අතින් අරන් මං උගුරු කීපයක් බිව්වා.
“ඉතුරු ටිකත් කියන්නකෝ ඉතිං….” ඈ ආයිත් වාඩිවෙන ගමන් කිව්වා.
“හ්ම්ම්… පුතාලගේ සීයාගෙන් මට යෝජනාව ආවේ මං බදුල්ලේ ඉස්කෝලේ උගන්නන්න අරන් දෙවැනි අවුරුද්දේ … කසාද බැදලා ගම්පහ පදිංචි වෙනවා කිව්වට පස්සේ තමා මං එයාට කැමති වුනේ.. මොකද මට කලින් ආව යෝජනා ඔක්කොම ආවෙ නුවරින් පදිංචි වෙන්න.. පණ්ඩුව දකින්න හිත යට කොච්චර කැමැත්තක් තිබ්බත් එයාව දැක දැක විදවන්න මං බයේ හිටියේ පුතේ.. මට ඕනි වෙලා තිබ්බේ සදහටම නුවර දාලා යන්න… මට අදටත් මතකයි කසාද බැදලා මහත්තයා එක්ක කඩුගන්නාව කන්ද බැහැලා යද්දී පපුව පැලෙන්න වගේ වේදනාවක් ආවා. මට දැනුනේ මගේ ජිවිතේ තිබ්බ හැම සතුටක්ම නුවර තියලා යනවා වගේ….”
” අපේ සීයා ඔයාට ආදරේ කලාද ආත්තම්මේ…” අපේ අතර තිබ්බ නිහැඩියාව බිදින ගමන් අශල්යා හෙමින් ඇහුවා.
” ආ..දරේ…ද…. පුතාලගේ සීයා ඇත්තටම රත්තරන් මහත්තයෙක්… කවදාවත් අඩුපාඩුවක් නොදැනෙන්න මාව බලාගත්තා… හිත රිදෙන වචනයක්වත් කිව්වේ නෑ… මට හුගාක් වටිනා සුවාමිපුරුශයෙක් වුනා…. ඒත් පුතේ එයාට ජීවිතේ ගැබුරක් දැනුනේ නෑ… මට වඩා අවුරුදු දහයක්ම වැඩිමහලු නිසාද මන්දා අපි දෙන්නගේ අදහස් නම් ගැලපුනේම නෑ… ඒ නිසා අපිට ලං වෙන්න බැරි වුනාද නැත්නම් පණ්ඩු මගේ හිතම අයිති කරන් උන්නු නිසාද මන්දා අපිට ලං වෙන්න බැරි වුනා..
ඔයා දන්නවද මගේ පුතේ ආත්මය පිරෙන්න ආදරයක් ලැබුනට පස්සේ ඒ ආදරෙ අහිමි වෙලා…. වෙන කෙනෙක්ගේ හෙවනේ ඉන්න වෙන එක තරම් වේදනාවක් ගෑණියෙක්ට තවත් නෑ…
හ්ම්ම්…. අනික එයාට සාහිත්ය නම් තේරුනේම නෑ… මං ඉස්සර හරිම ආසයි පොත්පත් කියවලා කවි කියවලා ඒ ගැන කතා කරන්න.. ඒත් එයාට ඒ ගැන අවබෝධයක් තිබුන් නෑ… ඔන්න නර්මදා ලොකු වෙද්දී එයාත් පොත් ගුල්ලියෙක් වුන නිසා එතකොට නම් මට කතා කරන කෙනෙක් හම්බුනා… ඊට පස්සේ හැම හවසකම අපි දෙන්නා හුගාක් දේවල් කතා කලා.. ඒ කාලේ මතක් වෙද්දී නිකන්ම මගේ මුවේ සිනාවක් නැගුනා. ජීවිතේ නොදැනීම කොයිතරම් ගෙවිලා ගිහින් ද මං කල්පනා කලා.
දැන්නම් හදත් පායන් එනවා. කාන්ති විදුලි පහන් දල්වලා නිසා අදුර අතරින් මලානික එලියක් විහිදුනා. මාත් අශල්යාත් මොහොතක් නිහඩවම ඔහේ හිටියා. ඇගෙ කැරලි ගැහුන කෙස් රැලි හමන මද සුලගින් නැලවෙනවා. දුබුරු පාට පැහැපත් මූනේ කලුපාට දෑස දිලිසෙන්නේ කදුලු පිරිලා නිසාද මන්දා. දැන් වයසත් එක්ක පේනවා හොදටම හොරයි. මං හෙමින් උපැස් යුවල අරන් දා ගත්තා. මගේ දරුවන්ගේ දරුවොත් මේ තරම් ලොකු මහත් වෙලා ඉන්නවා දකිද්දී මට දැනුනේ මං කොයිතරම් වයසක මැහැලියක් ද කියලා. දෑත දිහා බැලුවාම කෝටු ගැහුනු දෑතේ රැලි පිට රැලි වැටිලා. උරහිස ලගටත් උස නැති සුදුම සුදු කෙස් ගස් දහයක් දොලහක්වත් නෑ. මගේ අත නොදැනීම හිස අත ගෑවුනා.
“ඉතිං ආත්තම්මට එයාව ආයිත් කොහෙදීවත්ම හම්බුනේම නැද්ද…” අශල්යා නැවතත් අහනවා.
“ම්ම්ම්… මෙ අහන්නකෝ පුතේ අපි දැන් ඇතුලට යමු… අම්මලා එද්දිත් කලුවරේ මෙහෙම ඉදලා බැනුන් අහන්නත් වෙයි… මට පුතාට පෙන්නන දේකුත් තියෙනවා….” මං උත්තරයක් නොදීම හෙමි හෙමිහිට නැගිට ගත්තා. උදව්වක් නැතුව තමන්ගේ වැඩ කර ගන්න එකත් දැන් අබියෝගයක් වෙලා… අශල්යා මාව වත්තම් කරගත්තා. මං හෙමිහිට ඇවිද ගියේ මගේ කාමරේ දිහාට.
…………………………………………………………….
මං කාමරේ විදුලි පහන දමලා මගේ ඇදුම් අල්මාරිය ගාවට ගිහින් ඒක විවෘත කලා.
“මෙහේ එන්නකෝ පුතේ… මේං මේ උඩම තට්ටුවේ සාරි ටිකට පිටිපස්සෙන් බිස්කට් පෙට්ටියක් ඇති.. ඒක ගන්නකෝ… මට ඒක ගන්න අමාරුයි….” එහෙම කියලා මං ඇවිත් ඇදෙන් වාඩි වුනා.
“මේකද අත්තම්මේ…” දම් පාට පතුරු ගියපු බිස්කට් පෙට්ටිය අතේ තියාගෙන ඈ ඇහුවා.
” ඕක අරන් එන්නකෝ පුතේ… ඕක තමා..”
ඈ ඇවිත් එය මා අතෙන් තියලා පැත්තකින් වාඩි වුනා. මං හෙමි හෙමිහිට එහි පියන විවෘත කලා. එතුල වූයේ තද දුබුරු පැහැ මහත පොතකුත් පැරණි කඩදාසි කීපයකුත් කලුසුදු ජායාරූපයකුත් විතරයි. එතුලින් ආ පරණ සුවද මා ආසාවෙන් ආඝ්රානය කලා.
“මේ පොතේ මොකද්ද තියෙන්නේ ආත්තම්මේ….??” ඒ දිහා කුතුහලයෙන් බලමින් ඈ විමසුවා.
“ඔයාම බලන්නකෝ….” කියමින් මා එය ඈ අතට දුන්නා.
“මේ ඔක්කොම ලියලා තියෙන්නේ පණ්ඩු ද ආත්තම්මේ…” පොත පුරාම පිලිවෙලින් අලවලා තිබු වරින් වර පණ්ඩු පුවත්පත් වලට ලියු ලිපි එකින් එක බලමින් අශල්යා විස්මයෙන් ඇහුවා. දුබුරු පාට ගැහුනු පොතේ කොල මා එක්කම වයසට ගිහින්.
“ඔව් පුතේ… එයා ඉස්සර ඉදන්ම පත්තර වලට ලිව්වා.. මට මතකයි ඒ කාලේ සමහරු එයාට ලිවුම් එවනවා… එයා ඒවා ගෙනත් අපිටත් පෙන්නනවා…
පුතා දන්නවද මට එයාව ආපහු හම්බුනේ එයා ලිව්ව දේවල් වලින්… එයා වයසත් එක්ක පරිණත වෙනවා මට දැනුනේ එයාගේ ලියවිලිත් එක්ක.. එයා ලිව්ව කවි වල මං ඉන්නවා වගේ මට දැනුනා පුතේ…. එයාව මතක් වුන හැමදාකම මං මේ පොත පෙරලලා බලනවා…”
“මේ තියෙන කවි ලියලා තියෙන්නෙත් එයාද…?” මගේ අතේ තිබුන පරන කොල දිහා බලමින් ඈ ඇහුවා.
“ඔව් පුතේ… මේ ඉස්සරම කාලේ එයා මට තියාගන්නම දුන්න කවි.. ” දුබුරු පැහැ ගැහුනු කොලවල නිල් පාට අකුරු තැනින් තැන මැකෙන්නත් පටන් අරන්. ඒ කොලවලින් පණ්ඩුගේ සුවද මට දැනුනා.
“අත්තම්මාගේ ආදරේ ගැන මට හරිම පුදුමයි ආත්තම්මේ… ඔයාගේ මිනිපිරීයෙක් වෙන්න ලැබුන එකත් මට හරිම ආඩම්බරයක්… මං මේ වගේ ආදරයක් ගැන අහලවත් නෑ… මං යාලුවෙක් එක්ක කිව්වත් විශ්වාස කරන එකක් නෑ… මෙච්චර ආදරයක් හිතේ තියන් ජීවත් වෙන්න කෙනෙක්ට පුලුවන් කියලා…” අශල්යා මාව තුරුලු කරගෙන කිව්වා.
“කෝ කෝ මට පොඩ්ඩක් ඉඩ දෙන්නකෝ… පුතාට දෙයක් පෙන්නන අමතක වුනා නේ…” මං හෙමීට ඈව එහාට කරමින් බිස්කට් පෙට්ටියේ පතුලේ තිබූ කලු සුදු ජායාරූපය ඈ අතට දුන්නා.
” අනේ…. මේ ඔයාලා දෙන්නාද….” පාට සේදුනු ජායාරූපය දිහා බලාගෙන ඈ අහනවා. ” ඔයා හරිම අහිංසක පාටයි ආත්තම්මේ… පණ්ඩු නම් හරිම උසයි නේද… එයාගේ හරිම ලස්සන පර්සනැලිටි එකක් පේනවා….” ඈ තවදුරටත් කිව්වා.
“හ්ම්ම්… ඒක ඇත්ත පුතේ…” තව එකම එක පාරක් පණ්ඩුලව දකින්න ඇත්නම් කියලා ඒ දිහා බලද්දී මට හිතුනා. ඒත් එයා ඉන්නවද දන්නෙත් නෑනේ මම..
“අද රෑට නම් මට නින්ද යන්නෙත් නැති වෙයි ආත්තම්මේ… මගේ ජීවිතේ අහපු හොදම ලව් ස්ටෝරි එක ඔයාගේ… මං මේ පොත කියවලා ආපහු දෙන්නද…” පොත පපුවට තුරුලු කරගෙන ඈ අහනවා.
“කමක් නෑ පුතේ… කොහොමත් දවසක මේක පුතාට දෙන්න මං හිතාන උන්නේ…මං වගේම මේ පොත පුතා රකී කියලා මං දන්නවා… මගේ කතාව ජීවිතේ පලවෙනි වතාවට තමා මං මේ කෙනෙක්ට කිව්වෙත්… ඒ කතාව අහන්නත් පුතා තරම් සුදුසු කෙනෙක් වෙන නෑ…” මං කිව්වේ ඈව මගේ පපුවට තුරුලු කර ගනිමින්.
අපි දෙන්නා කොයිතරම් වෙලා එහෙම හිටියද කියලා අපිට දැනුනේ නෑ. ඇගේ හදවත ගැහෙන සද්දෙත් දෑත්වල උණුසුමත් අතරින් තාම මට දැනුනේ කිරි සුවද. ගේට්ටුව අරින සද්දෙන් අපි දෙන්නා තිගැස්සුනා.
“අම්මිලා ඇවිල්ලා…. මං බලලා එන්නම් ආත්තම්මා.. මං එද්දී වොශ් දාන්න ලෑස්ති වෙලා ඉන්නකෝ…” කියමින් ඈ දුවලා ගියා.
“හ්ම්ම්….” ජීවිතේ කවදාවත් නොදැනුනු සැනසීමක් මගේ හිතට දැනුනා. ගැහැණියකගේ ජීවිතය කියන්නේ රහස් ගබඩාවක් නේද කියලා මට හිතුනා. මගෙ දරුවන්ටවත් මගෙ සුවාමිපුරුශයටවත් නොකියු කතාවක් මං අද මගේ පුංචි මිනිපිරියට කිව්වා. මට ඒ ගැන පසුතැවීමක් තිබුනේ නෑ. මගේ කතාව අහන්න සුදුසුම දෙසවන් වලට කතාව කිව්ව සැනසීම මට දැනුනා.
“දැං නම් හරී මහන්සී…” කාලෙකට පස්සේ වෙහෙසුන නිසාද මන්දා මට ලොකු වෙහෙසක් දැනුනා. පණ්ඩුගේ මතකයන් හිත අස්සේ තියාගෙන මං හෙමින් ඇදෙන් ඇලවුනා.
————————————————————————————
තදබල නිදිබර බවකුත් එක්ක ඇඟ පුරාම එක සේ දිවෙන වේදනාවක් මට දැනුනා. ඇහිපිය විවර කරගන්නත් අමාරුයි. ඉස්පිරිතාල වලට හුරුපුරුදු සුවදක් දැනෙද්දී මං මේ කොහෙද ඉන්නෙ කියලා මම කල්පනා කලා.
දෑස විවර කරගන්න බැරි වුනත් දෙදෙනෙක් සිහින් හඩින් කරන සංවාදයක් යන්තමින් කන වැකුනු නිසා මං ඒ වෙත අවදානය යොමු කලා.
” ඔව් සීයේ සෙකන්ඩ් ඇටෑක් එක නිසා අපි හොදටම බය වුනා…” ඒ ඇහුනේ අශල්යාගේ බියපත් හඩ.
“දූගේ කෝල් එකත් එක්ක මට දැනුනේ මාව කරකවලා අතාරියා වගේ… බැදලා ගම්පහට ගියා කියලා පරණ යාලුවෙක් හුග කාලෙකට පස්සේ කිව්වට පස්සේ රෝසි ගැන කිසිම විස්තරයක් තිබුනේ නෑ… මං එයා ගැන හොයනවාට රෝසිගේ කැමැත්තක් තිබුනේ නැති නිසා මං කිසි දෙයක් හොයන්න උත්සහා කලේ නෑ… අනිත් එක දූ මං අවුරුදු හතලිහක් ම හිටියේ කැනඩාවේ… නාමලී නැතිවෙලාත් දැන් අවුරුදු හතක් … මං ලංකාවට ඇවිත් අවුරුදු පහක් විතර ඇති… මට මැරෙන්න ඕනි මං උපන් රටේමයි කියලා මං තදබල විදියටම පුතාට කිව්වම මං ඉන්න වැඩිහිටි නිවාසේ එක්ක කතා කරලා මාව මෙහෙ එව්වා… එයාලා අවුරුද්දකට සැරයක් එනවා මාව බලන්න…” එවර මට ඇහුනේ අවුරුදු ගානක් තිස්සේ හීනෙන් විතරක්ම මට ඇහුන හඩක්. මගේ හිත එක්වරම නොසන්සුන්කමෙන් පිරිලා ගියා. දෑස විවෘත කරන්න කොයිතරම් උත්සහ කලත් ඇහිපිය එකට ඇලවිලා වගේ මට දැනුනේ. ඒ සැරේ උත්සහය අත් හැරලා මං තව දුරටත් ඇහුම්කන් දුන්නා.
“අනේ… මට සීයාව හොයගන්න හුගාක් අමාරු වුනේ ඒකයි එහෙනම්… ආත්තම්මා කතාව කිව්ව දවසේ ඉදන් මට ඕනි වුනේ සීයට කතා කරන්න.. මං මුලින්ම පත්තරේට කතා කරලා විස්තර හෙව්වා.. ඊට පස්සෙ හෙඩ් ඔෆිස් එකටත් ගිහින් ෆයිල් ගානක් හොයලා හොයලා තමා සීයාගෙ පුතා දේවක අන්කල්ගෙ නම්බර් එක හොයාගත්තේ… ඒකටත් සෑහෙන්න ට්රයි කලා දවස් ගානක්… මෙසේජ්ස් ගානක් තිබ්බාට පස්සේ එයා කතා කලේ… එයාගෙන් එල්ඩර්ස් හෝම් එකේ නම්බර් එක හොයන් තමා සීයට කතා කලේ… තව ටිකකින් ආත්තම්මාට සිහිය එයි… ඔපරේශන් එක නිසා තාම සිහිය නැත්තේ..අත්තම්මාට එක සැරේ හාට් ඇටෑක් එකක් ආවාම අපි හුගාක් බය වුනා…සීයාව නොදැකම ආත්තම්මා යයි කියලා මට ලොකු බයක් තිබුනා… දැන් මට හිතට සැනසීමයි… මට හිතාගන්න බෑ එයා කොච්චර සතුටු වෙයිද කියලා සීයාව දැක්කම…” ඇගේ හඩ සතුටින් උතුරලා ගිහින් තියෙනවා මට දැනුනා. මට නොසන්සුන්කමක් දැනුනේ ආයෙත් පණ්ඩුගේ හඩ අහන්න.
” පහුගිය කාලේ ගැන මට ලොකු දුකක් දැනෙනවා දූ… මට රෝසිව මතක් නොවුනු දවසක් නැති තරම්.. එයා ගැන හිතන් නැතුව ගෙවිලා ගිය දවසක් නැති තරම්… අනේ මන්දා දූ විශ්වාස කරයි ද කියලත්… කටින් එක් පාරක්වත් ආදරෙයි නොකිව්වට එයා ඇස්වලින් මට දහස් පාරක් ආදරෙයි කියන්න ඇති… මං හුගක් අසරන වුනා දූ… නාමලීව මට යෝජනා කලේ අවුරුදු පහලව දාසය කාලේ… එදා ඉදන් එයා අපේ ගෙදරමයි වැඩි හරියක් උන්නෙත්… අපෙ අම්මා එක්කත් එයා හරි එකතුයි… ඒත් එයාට මාව විනිවිද දකින්න තරම් ශක්තියක් තිබුනේ නෑ… ජීවිතේ ලොකුවට ගැඹුරෙන් වින්ද කෙනෙක් නෙවෙයි එයා… රෝසි හම්බවුනාම මට දැනුනා මං හීන දැකපු කෙනා එයා බව… මා දිහා බලල මාව තේරුන් ගන්න එයාට පුලුවන්.. ඒක පුදුම හැකියාවක් දූ… එයා පොතක් කියවනවා වගේ මාව කියෙව්වේ… අනිත් දේ තමා එයාගේ රසවින්දනය… මං මේ තත්වෙට එන්න ලොකුම හේතුව තමා රෝසි… ඉස්සර ගෙදර යනකම් එනකම් අපි දෙන්නා කතා කලේ පොත් ගැන කවි චිත්රපටි ගැන… මගෙ ලෝකේ පුලුල් කලේ රෝසි… මං අද රටම දන්න ලේඛකයක් වුනේ එයා නිසා…ඒකට මම ජීවිතෙන්ම රෝසිට ණයගැතී දූ…. මං ලිව්ව හැම කතාවකම කවියකම එයා උන්නා… ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි දූ…” ඔහු එහෙම කියාගෙන යනවා ඇහෙද්දී මගේ ඇස්වලට උණු කදුලු උනන්න ගත්තා.
“මං සීයාගෙන් මෙහෙම ඇහුවාට කමක් නැද්ද මන්දා… ඇයි සීයා නාමලී ගැන කවදාවත් ආත්තම්මට කිව්වෙ නැත්තේ…” ජීවිතය පුරාම මාව කුතුහලයට පත් කරපු ඒ ප්රශ්නේ අශල්යා ඇහුවා.
“හ්ම්ම්ම්…. මං එහෙම කලේ හේතුවක් ඇතුව දූ… මං මුලදීම රෝසිට එයා ගැන කිව්වා නම් එයා කවදාවත් මට ලං වෙන්නේ නෑ… මං අන්න එතැනදී ආත්මාර්තකාමි වුනා… මට එයාගෙන් ඈත් වෙන්න බැරි වුනා… මං එයාට ඒ ගැන කියන එක දවසින් දවස කල් දැම්මා… අන්තිමේදි අම්මා නොදන්වාම නාමලී එක්ක එදා එනකම්ම මට ඒක කියාගන්න බැරි වුන… මං හරි නරක මිනිහෙක් දූ… මං නිසා රෝසි කොයිතරම් නම් විදෙව්වාද කියලා මං එයාගේ ඇස් වලින් දැක්කා… මට ජීවිතේම ඒ විදවීමෙන් ගැලවෙන්න බැරි වුනා….. ඔහුගේ හඩ ඉකිබිදුමකට හැරෙනවා මට දැනුනා.
“දු මට මේ දුන්නු පොත තමා මගේ ජීවිතේ ලැබුනු හොදම තෑග්ග… මං ගාවවත් මං ලියපු ලිපි ඔක්කොම නෑ.. මට මේක නිධානයක් වගේ දූ… රෝසිගේ ආදරේ ගැන මට හිතාගන්න බෑ…. එයා මේක මට දුන්නට කැමති වෙයිද…” පණ්ඩු විමසනවා මට ඇහුනා.
” ආත්තම්මා තෑග්ගක් විදියට මට තියාගන්නමයි මට දුන්නේ… මේක ලබන්න සීයා තරම් වෙන සුදුස්සෙක් ඉන්නවා කියලා මං හිතන්නේ නෑ… ” අශල්යා පිලිතුරු දුන්නා.
ඉන්පසූ පැතිර ගියේ නිහැඩියාවක්. ඔහු පොතේ පිටු පෙරලන හඩින් වරින් වර නිහැඩියාව බිදුනා.
….. You’re the light.. you’re the night
You’re the color in my blood……
අශල්යාගේ දුරකතනය නාද වෙන හඩින් මාව තිගැස්සුනා. නොදැනීම මාව නින්දට වැටෙන්න ඇති.. මට හිතුනා. මං හෙමින් දෑස් විවර කලේ මා දුටුවේ සිහිනයක්ද කියලා සැකහැර ගන්නට. සුදුපාට පරිසරයට දෑස හුරු වෙන්නට මද වෙලාවක් ගත වුනා. කදුලු පටලයකින් වැසී තිබුනු දෑස වෙහෙස කර බලද්දී අසල සෝෆාවේ දෙදෙනෙකු අසුන් ගෙන ඉන්නවා මං දැක්කා.
“සීයේ අනේ මට කෝල් එකක්…. සීයා පොඩ්ඩක් අත්තම්මාව බලන්න… අම්මිලාත් එනවා කිව්ව දැන්… මං ඉක්මනට කතා කරලා එන්නම්….” කියමින් කාමරයේ වූ දොර විවෘත කරමින් අශල්යා පිටතට යනු මට බොදවී පෙනුනා.
සෝෆාවේ අසුන්ගෙන හිටිය කෙනෙක් හෙමින් හෙමින් මා දිහාට එනවා මට පෙනුනා. ඒ තත්පර කීපය මට දැනුනේ කල්පයක් වගේ… මං දෑස් අයාගෙන බලා හිටයේ ඒ රූපය පැහැදිලි ලෙස අදුනාගන්නට.. හෙමි හෙමිහිට ඇවිදින් දැන් මගේ ඇද අසලින්ම හිටගෙන මා දිහා බලද්දී මා ඔහුව හදුනාගත්තා.ඒ ඔහුම තමා. “මං එහෙනම් දැක්කේ හීනයක් නෙවෙයි” මං මටම මුමුනාගත්තා. ඔහු ඇද වෙත නැබුරු වී මුකුත්ම නොකියා මා දිහා බලාන ඉන්නවා.
“පණ්ඩූ…..” මාත් නොදැනීම මගේ මුවින් කෙදිරිල්ලක් පිටවුනා..
“රෝසි…. ඔයාට කොහොමද…?” සෙමෙන් සෙමෙන් මගේ වියපත් අත ගෙන පිරිමදිමින් ඔහු ඇහුවා. යන්තම් තට්ටය ආවරනය වෙන්න සුදෝ සුදු කෙස් කිහිපයකින් වට වුන හිසක් ද කටු කටු සුදු රැවුලක් පිරුනු වියපත් මුහුනක්ද මා ඉදිරියේ තිබුනා. තරුණ වියේ තිබූ ජීවය පිරුනු ඇස් එදා වගේම මා දිහා ආදරෙන් බලනු මට පෙනුනා. මා හෙමින් සැරේ රිදුම් දෙන සුරත දිගු කරමින් ඔහුගේ කොපුලක් ස්පර්ශ කලා. රැලි වැටුන හමත් කෙටි රැවුලත් මගේ සුරතට දැනුනා. ඔහු තමන්ගේ අතින් මගේ සුරත අල්ලා ගත්තා.
මගේ ඇස් වලින් වැටුනු කදුලු කොපුල තෙමාගෙන ගලායනු මට දැනුනා. රැලි වැටුනු වියපත් අතකින් මගේ කොපුල් පිසලනු දැනෙද්දී මගේ කදුලු අලුත් වුනා. කතා කරන්නට මුව විවර කලත් වචනයක්වත් පිට වූයේ නෑ.
“හරී දැන් මං ඉන්නවානේ… අඩන්න එපා රෝසී…” මගේ හිස මුදුලෙස අතගාමින් ඔහු සිහින් හඩින් තෙපලුවා.
මගේ සුරතේ වෙලී තිබුනු ඔහුගේ අත දැඩි ව ග්රහනය කර ගනිමින් මම ජීවිතේ කවදාවත් නොතිබුනු සැනසිල්ලකින් සෙමින් දෑස් පියාගත්තා.
••••••••••••••••••••••••••••••••••••••••••••
ඔහු කවදා හෝ එතැයි බලාපොරොත්තුවෙන් මා අනන්තය දෙසබලා කල ප්රාර්තනාව ඉටු වී ඇත. මට මේ ජීවිතයේ ලබන්නට වෙනත් සතුටක් නම් නැත. අත්හැරීමේ පාඩම මං නුබෙන් උගත්තෙමි. නමුත් මතු සසරේ නැවත නැවතත් නුබව මග නොහැරෙන්නට පතමින් මම මියෙමි.නැවත ඉපදෙමි.නුබ මගේම වෙන තුරා.
පෙති පුරා සුවද විහිදුනූ
අනන්තයේ යලි හමුවෙමු
මල් පුරා බමරු ඉගිලෙන
ඒ ලොවේ යලි හමුවෙමු
මේ මට නුබව මගහැරෙන අවසාන භවයයි.
*නිමි*
උපුටා ගැනීම: Thanusi Bandara