අපි හුඟක් දෙනෙකුගෙ ගෙවල් වල අනවශ්‍ය ඇඳුම් ගොඩ ගැහිල තියෙන අවස්ථා බොහෝයි. උදාහරණයකට ලංකාවෙ අපේ මහ ගෙදර. මම ලංකාවෙන් එද්දි මගේ සාරි ගොන්න අක්කට, නෑනට දීල ආවත් මගේ අවශේෂ ඇඳුම් ගොඩ දෙන්න මම වගේ මෝස්තරයට අඳින , මගේ ප්‍රමානයේ කෙනෙක් පවුලෙ හිටියෙ නැහැ.
ඉස්කෝලෙ යන කාලයෙ ඉඳල මට ඕනෑම මෝස්තරයකට ඇඳුම් මහන්න පුළුවන් නිසා ඉතාම අඩු මිලට ගත්තු ලස්සන රෙදි වලින් මැහුව ඇඳුම් හැමදාම මහා ගොඩක් මට හැමදාමත් තිබුණා. ඉතින් ඒ හුඟක් ඇඳුම් තවමත් අම්මගෙ අල්මාරිවල පුරවල. දෙන්න කෙනෙක් නැතුව. විසි කරන්න ලෝබ කමට.
මෝස්තර ගවුම් මහනවට අමතරව පාට පාට පාවහන් එකතු කිරීම මගේ විනෝදාංශයක්. ඇඳුම් මමම මහගන්න නිසා සපත්තු ගන්න සල්ලිත් ඇතිතරම් තිබුණ. ලංකාවෙන් එද්දි ඒ සපත්තු එකතුව ඥාති නැගණියකට දීල ආව. ඒත් අවුරුදු දෙකකින් ආපහු ගිය දවසක ඒවායින් බොහොමයක් ඔවුන්ගෙ ගෙදර පිටුපස මිදුලෙ දිරාපත් වෙනවා දැකල මගේ හිත රිදවුනා.
පාවිච්චි කල ඇඳුම් සහ අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධව ලංකාවෙ ඔබ බොහොම දෙනෙක් අඩු වැඩි වශයෙන් මේ තත්වයේ ඉන්නවා ඇති.
මම මේ ප්‍රවේශය ගත්තෙ අද මම ජීවත් වන ලෝකයේ ඉතාම පොහොසත් රටක් වන ඩෙන්මාකයේ මේ සම්බන්ධව තියෙන විසදුම් කියන්න.
ඩෙන්මාකයේ බොහෝ තැන්වල , විශේෂයෙන් නිවාස සහ කඩමණ්ඩි ආශ්‍රිතව රතු කුරුස සංවිධානයට අයත් විශාල කළු පැහැති ප්ලාස්ටික් පෙට්ටි තියෙනවා. ලීටර් 2000ක වතුර ටැංකියක පමණ පරිමාවක් තියෙන මේ හතරැස් පෙට්ටියක කොටස් දෙකක් තියෙනවා . එකක් ඇඳුම් සඳහා සහ අනික පාවහන් සඳහා. අනවශ්‍ය සියළුම ඇඳුම් සහ සපත්තු ඒවාට බහාලන්න පුළුවන්.
ඊලඟට මේවට මොකද වෙන්නෙ?
රතු කුරුස සංවිධානයට ස්වේච්ඡාවෙන් සේවය කරන බොහෝ පිරිසක් මෙහි ඉන්නවා. ඔවුන් අතරින් බොහොමයක් විශ්‍රාම දිවිය ගතකරන ඉතාම වයසක උදවිය.
ඔවුන් මේ ඇඳුම් තෝරනවා.
එයින් බොහොමයක් දුප්පත් රටවලට බෙදාහරිනවා.
ඇඳීමට නුසුදුසු තත්වයේ ඇඳුම් වලින් සුරතල් සෙල්ලම් බඩු නිපදවනවා දුප්පත් රටවල දරුවන්ට.
ඒ වගේම සුදුසු තත්වයේ තියෙන බොහොමයක් ඇඳුම් සෑම නගරයකම තිබෙන රතු කුරුස සාප්පුවේ විකිණීමට තියෙනවා. රතුකුරුස සාප්පු වලට අමතරව ප්‍රදේශයේ පල්ලියට අයිත් සාප්පු ඇතැම් නගරවල තියෙනවා.
මේ සාප්පුවල වැඩ කරන්නෙත් බොහෝවිට වයසක ස්වේච්ඡා සේවක සේවිකාවන්.
ඒවායෙ පාරිභෝගිකයන් තරුණ , මහළු සාමාන්‍ය පුරවැසියන්.
මෙවැනි රතු කුරුස කඩ තුනක්ම මම ජීවත්වන නගරයේ තියෙනවා. ඒවගේ ඉතාම අඩුම මිලට ඇඳුම් සහ සපත්තු විකිණීමට තියෙනවා. ඇඳුම් වලට අමතරව පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ , ලී බඩු , පිගන් කෝප්ප , චිත්‍ර , ආභරණ ඇතුළු නොයෙකුත් දෑ මෙහි තියෙනවා ඉතාම සුළු මුදලකට. සමහරවිට ඉතාම වටිනා සන්නාම (branded) ඇඳුම් පවා තියෙන අවස්ථා මම දැක තියෙනවා.
ඩෙන්මාකයට පැමිණි අළුත , මුදල් හිඟ කාලෙ මම ඔවුන්ගෙ පිඟන් කෝප්ප මිලදී ගත්තා. වරෙක වටිනා ක්‍රිස්ටල් වයින් වීදුරු කිහිපයක්. එකල මගේ සැමියාට හදිසි මල ගෙදරකට සහභාගි වීමට කළු පැහැති full suit එකක් . තවමත් මම මිලදීගත් ඇඳුම් එක දෙකක් තියෙනවා. අඩුම මුදලකට ගත් නිසා ඉවත් කරන්න හිත හදාගන්නත් හරි ලේසියි.
අදටත් ඉඳහිට ඒ රතු කුරුස සාප්පුවේ රවුමක් යන්න මම පුරුදුයි සාප්පු සවාරියක යද්දි. අහම්බෙන් ආස දෙයක් ඉතාම ලාබෙට ගන්න අවස්ථා තියෙනවා තවමත්.
මේවායේ තියෙන සියල්ලම පාවිච්චි කල ඒවාමත් නොවෙයි. සමහර කඩ සාප්පු තියෙනවා ඔවුන්ගේ ඇඳුම් අවම මිලකට ටික දිනක් සේල් දැමූ පසු ඉතිරිවන සියල්ල රතු කුරුස සංවිධානයට හෝ පල්ලියට පරිත්‍යාග කරන. ඇඳුම් මෝස්තර ඝෘතු අනුව වෙනස්වන නිසා වසර පුරාම එම ඇඳුම් විකිණීමට අපහසුවත් ඒ පරිත්‍යාගයට හේතුවක්. මට මතකයි මම මිලදී ගත් ඇඳුමක් ඊට සති කිහිපකට පසුව විසි ගුණයකටත් අඩු මිලකට රතු කුරුස සාප්පුවක දුටුවා වරක්.
ඩෙන්මාකයේ Loppe market නමැති එක් එක් ප්‍රදේශවල කලින් සැලසුම් කරගත් දිනයකදි පවත්වන සල්පිල් විශේෂයක් තියෙනවා. මේ සල්පිල්වල විකුණන්නෙත් එසේ පාවිච්චි කල බඩු.
එවැනිම පෞද්ගලික කඩසාප්පු ත් තියෙනවා. මම ඉස්සර එකතු කලා නොයෙකුත් හැඩැති නොයෙකුත් පාටැති අලංකරණ වීදුරු භාණ්ඩ සහ බෝතල් . එවැනි පරණ බඩු සාප්පු වලින්. ඔබ දන්නවද දන්නෙ නැහැ ඒවායේ සාමාන්‍ය මිල හුඟක් ඉහලයි.
තව මිනිස්සුන්ට තමන්ගෙ පාවිච්චි කරන ලද දේවල් විකුණා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙබ් පිටු කිහිපයකුත් තියෙනවා. මුල්ම කෑම මේසය සහ පුටු අපි මිලදී ගත්තෙ එහෙම ඉතාම අඩු මුදලකට.
ඊට අමතරව පාවිච්චි කරන ලද දෙයක් දීම හෝ භාර ගැනීම මෙහි ලැජ්ජාවට කාරණයක් නොවෙයි. මගේ දුව කාලයක් ඉතාම ඉක්මනින් උස ගියා සහ මහත්වුනා . එහෙම ඇයට මදිවුන ඇගේ ඇඳුම් , සපත්තු ඇයත් සමඟ සෙල්ලම් කිරීමට පැමිණි ඩැනිෂ් ජාතික මිතුරියන්ට මම කිහිපවතාවකදිම දීල තියෙනවා. ඔවුන්ගෙ දෙමාපියන් ඉතාම සතුටින් ඒව බාරගත්තා. ඒ මව්පියන් කිසිම ආර්ථික අපහසුතාවයක් තියෙන අය නොවෙයි. මගේ දුවටත් කබායක් එහෙම එව්ව දිනක. ඉඳහිට මම ඇගේ මිතුරියන්ට ගවුම් මහල දෙනව අපේ ගෙදර ආවම. ඒවා නම් ඔවුන්ට දියමන්ති තරමටම වටිනවා. රෑට නවතින්න ආව දවසක ගෙනාව ඇඳුම් පැත්තක දාල දුවගෙ ඇඳුම් අඳිනව. ඔවුන් එතරම් දඟ සරල දරුවන්.
වරෙක මව්පිය ආරාධිත පාසැල් සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි ඇයගෙ මිතුරියක් දුවගෙන විත් ” මතකද මේ පහනිගෙ ටී ෂර්ට් එක. මම ඒකට ආස නිසා අද ඇන්ද” කියල ආඩම්බරයෙන් කිව්ව හුරතල් මුහුණ මට මතකයි. එය ඉතාම ලාබ ඉස්සරහ පින්තූරයක් තිබුණ සුදු ටී ෂර්ට් එකක්.
ඇගේ පාසැලේ අත්කම් සහ නිර්මාණ වලටත් ඉවත දමන ඇඳුම් , ටින් උපයෝගී කරගෙන පෑන් සහ පැන්සල් බහාලුම් , සුරතල් සතුන් නිමැයූ අවස්ථා කිහිපයක්ම තිබුණ.
ඒ වගේම අතීතයේ සීතල දවසක මගේ වයසක මිතුරිය ඇනී අපේ ගෙදර ආවම මට උණුසුම් කෝපි පෝච්චියක් තිබුණෙ නැහැ. ඊලඟට මම ඇයගෙ ගෙදර ගියාම “මට කෝපි පෝච්චි දෙකක් තියෙන නිසා මේ එකක් ඔයාට ” කිව්ව.
පාරෙ අයිනෙ මේසයක් තියල පාවිච්චි කල සුළු සුළු ගෘහ භාණ්ඩ නොමිලෙ අරගෙන යන්න තියල තියෙන අවස්ථා වාහනේ යද්දි ඉඳහිට දැකල තියෙනවා.
මිනිස්සු මේ හැමදේම කරන්නෙ ඇබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේද සහ ස්ථාන හැම ප්‍රදේශයකම පිහිටලා තියෙද්දි. ඒ කියන්නෙ විසි කරන්න තැන් නැතුවට නොවෙයි.
ඉතින් මෙච්චර සරල වෙන්න අපිට බැරිවෙයි. අපි ටිකක් ආඩම්බර ජාතියක් නිසා.
ඒත් මට හැමදාම හිතෙනවා. කටක් ඇරල ඉල්ලන්න බැරි නැතිබැරි අය කොයිතරම් අපේ රටේ ඉන්නවද ? ලස්සනට අඳින්න ආස ඒත් ගන්න මුදල් නැති කොච්චර තරුණ තරුණියො කෙතරම් ඉන්නවද?
ඒ වගේම පාවිච්චි කල , ඒත් වැඩිපුර තියෙන වටිනා දෙයක්වත් දෙන්නද අහන්න බයේ ලතවෙන අපි කී දෙනෙක් නම් ඉන්නවද?
ඇත්ත අපි හුඟක් දන් දෙනවා. ඒත් ගංවතුර ආධාර විදියට මගේ ඇඳුම් අම්මා දෙන දවසක මට හිතුන “මේ හිර සාය මගේ අක්කා වගේ චාම් ගැහැණු කෙනෙකුට ලැබුණොත් එයා මොනව කරන්නද ” කියල. අපි ආධාර දෙන බොහෝ ඇඳුම් ලැබෙන්නෙ එසේ නොගැලපෙනම කෙනෙකුට. බොහෝවිට. අදින්න බැරි ඒ නොගැලපෙන දේ ලඟ ඔවුන් කොතරම් අසරණ වෙනවා ඇතිද ?
ඉතින් ඩෙන්මාකයෙ රතුකුරුස සාප්පුවක් දකින හැම විටම මට හිතෙනවා ලංකාවෙ පන්සලේ බණ මඩුවෙ , ගමේ කුලගණ සමිතියේ ස්වේච්ඡා දායකත්වයෙන් , මෙහෙම ඇඳුම් වෙලඳ සැල් දාන්න අපිටත් පුළුවන් නම් කියල.
එහෙම නැතිනම් මහමෙව්නාව හරහා.
ඉතාම සුළු මුදලකට හොඳ ඇඳුම්. නැති බැරි කෙනෙකුට නොමිලේ ගන්නත් පුළුවන් වෙන්න. සමහරවිට දානපති ව්‍යාපාරිකයො අළුත් ඇඳුම් පරිත්‍යාග කරයි.
ලංකාවෙ නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශයක එහෙම වෙලඳ සැලක් තියෙන බව මම මුහුණු පොතේ දැක්ක. එනිසා අපිට බැරි නැහැ.
හැබැයි පෝසත් වාහන තියෙන ඉහල පෙලැන්තියෙ ඔබත් අවශ්‍ය උනත් නැතත් දෙයක් මිලදී ගන්නම වෙනව. නැති බැරි අහිංසක මිනිසුන්ගෙ ලැජ්ජාව බිඳින්න ඒක ලොකු උපකාරයක්. ඔබට දැනෙනවද නැති කෙනෙකුට වඩා තියෙන කෙනෙකුට ලේසියි බිම ඉඳගන්න. සමාජයේ තියෙන මාන්නය බිඳල සරල වෙන්න පටන් ගන්න, එහි පෙර ගමන්කරුවො වෙන්න ඇති හැකි ඔබටයි පුළුවන්.
උපුටා ගැනීම:Nandani Wijayabandara