අපේ එහා ගෙදර ඉන්නවා සැමියගේ නැන්දා කෙනෙක්. එයා තාම මෙනෙවියක්. ගෙදර වැඩ කරන්න කම්මැලි නිසා එයා තරුණ කාලේ ගෙදරින් හොයපු හැම යෝජනාවකටම බෑ කියලා තාම තනිකඩව ඉන්නේ. එයාට තේ එකක්, බිත්තර ඔම්ලට් එකක් තරමවත් හදාගන්න බැ. එයාට ඕනේ දේවල් අහල පහල නෑයින්ට කියලා හදෝගන්න එකයි එයා කරන්නේ. හැබැයි අපිට උපදෙස් දෙන්න ගියාම නම් පබිලිස් සිල්වා පරාදයි.
උදේම දොර අරිද්දිම එනවා අපේ ගෙදරට. ඇවිත් මම උයලා තියෙන වලං ඔක්කෝම අරිනවා.
“පරිප්පුව තැම්බිලා වැඩි/මදි”
“වැටකොලුවලට කහ මදි”
“මාලුවලට මිරිස් දාන්න එපා. කහයි ගම්මිරිසුයි විතරක් දාන්න”
“මැල්ලුමට පොල් වැඩි”
“ලුණු මදි”
මිරිස් වැඩි”
“ආයේ බණ්ඩක්කා ගෙදරට ගේන්න එපා. සෙම හැදෙනවා”
වගේ දාහක් ඇද කියන ගමන් අරයා කන්න කැමති මෙයා කන්න කැමති ගගා වලංවලට අත දදා එයාගේ සහෝදරයින්ගේ ලමයින්ට එලවලු උස්සන් දුවනවා. මම ඉතින් දැක්කේ නෑ. ඇහුනේ නෑ වගේ ඉන්නවා.
විවාහ වෙලා නැති වුනාට උන්දෑ කසාද දහයක් බැදපු කෙනෙක්ටත් වඩා සෑහෙන්න දන්නවා විවාහ ජීවිතේ ගෙවන හැටි ගැන. මට ඉතින් සෑහෙන්න උපදෙස් දෙනවා.
“සැමියා ලග වාඩි වෙන්න එපා”
“සැමියා සමග විනෝද ගමන් යන්න එපා. යනවනම් නෑදෑයෝ ටිකත් අරන් යන්න”
“අපේ ගෙදර හදන හැම කෑමක්ම නෑදෑයෝ ඔක්කෝටම ඇතිවෙන්න හදන්න”
“කඩෙන් ගේන ජාතිත් හැමෝටම ඇතිවෙන්න ගේන්න”
“අපේ ගෙදර වැඩ කරලා ඉවරනම් අනිත් නෑදෑ ගෙවල්වලටත් ගිහින් ඒවයේ වැඩත් හොයලා බලලා කරන්න”
වගේ මසුරන් වටින උපදෙස් සෑහෙන්න දෙනවා. මම ඉතින් ඒ නැන්දගේ අම්මට සිතින් පින් දෙනවා
.

එයාට ආදායමක් නැති නිසා එයාට ඕනේ දේවල් හැමදේම ඉල්ලන්නේ අපේ ගෙදරින්. හැබැයි ඉතින් ඒ ගේන හැම දේකටම මොකක්හරි වැරැද්දක් කියලමයි භාර ගන්නේ.
ඉතින් ලගදී දවසක් අපේ නැන්දම්මට කිව්වලු එයාට ගෙදරට අදින්න බ්ලවුස් තුනක් මහලා දෙන්න කියලා. අපේ නැන්දම්මත් ඉතින් ලොකු නෑනට හෙන භක්තියෙන් රෙදිත් ගෙනල්ලා මැහුවලු පලවෙනි එක.
“අයියෝ ඔයා මේකට කොලර් එකක්වත් දැම්මේ නැද්ද? මම මෙහෙම ආස නෑ. කොලර් එකක් දාන්න”
ඔන්න ඉතින් කොලර් එකක් දාලා ඒක මහලා දීලා. පහුවදා දෙවෙනි එකත් කොලර් එකක් දාලා මැහුවලු.
“අයියෝ කොලර් දාන්න එපා අනේ. දාඩිය දානවනේ. ඕවා ඇදන් ඉන්න බෑ”
නැන්දම්මා සද්ද නැතුව ඉදලා අන්තිම එක මැහුවලු කොලර් නොදා
“අනේ… කොලර් එකක්වත් නෑ නේද? මෙහෙම හරියන්නේ නෑ අනේ. කර පාලුයි වගේනේ. කොලර් එකක් ආවනම් හරි.”
අපේ නැන්දම්මා ඉතින් වැඩිහිටියන්ට ගරු කිරීම පිණිස කට පියන් හිටියලු

උපුටා ගැනීම: Ahinsa Nimnadee