මිනිසුන් ලෙස ජීවිතයේ විවිධ අවදි වලදී අපහට විවිධ වූ සුන්දර හා කර්කශ වූ අත්දැකීම් වලට මුහුන දීමට සිදුවේ..ඇතැම් දේ සිත පිනවන අතර ඇතැම් දේ සිත පාරවන්නේ හදවතේ කිසිදා නොමියෙන තුවාල ඇතිකරමිනි. දරුවෙකු ලෙස එකල මා විදි අත්දැකීමක් විස්තර කරමි..
එකල මා සිටියේ හතරෙ පංතියේය. අද මෙන් මහලොකු තරගයක් නොවූවත් , ශිෂ්යත්ව විභාගය සමත්වීම පිලිබද යම්තරමක උනන්දුවක් දරුවන් ලෙස අපහට නොමැති වුවත් දෙමාපියන්ටනම් තිබුණි..
අදමෙන් පරිසරය පංතිය, ගණිත ගැටලු පංතිය ආදී නානාප්රකාර පංති වලට අප එකල සහභාගී වූයේ නැත. අපේ ගම්මාන යම්තරමකට දුෂ්කර වීම ඊට හේතු වන්නටද ඇත. එලෙස කෙසේ හෝ මා හතර පංතියේදී අපේ ගමේම විසූ ගුරු උපදේශිකාවක්ද වූ එකල බොහෝ ප්රසිද්ධියක් ඉසිලූ ගුරුතුමියකගේ ශිෂ්යත්ව පංතියකට සහභාගී වුනෙමි.
සති අන්තයේදී පංති පැවැත්වුනු අතර මගේ යහලුවන් තම මව්පියන් සමග ඒවාට සහභාගි වන අයුරු බලමින්, මා නම් බොහෝ විට කෙල්ලො කුරුට්ටන් සමගම පංති යාම් ඒම් කලෙමි.. මගේ පියා මා කුසේ සිටි කාලයේදීම රිය අනතුරකින් මියගොස් තිබුනේ මටත් මගේ අයියාටත් පිය සෙනෙහෙස අහිමි කරමිනි.
හෙදියක වූ මගේ මවගේ රැකියාවේ පිහිටෙන් අප තුන්දෙනා අදටත් කිසිවෙකුට අතනොපා ජීවත්වෙමු. විවාහයෙන් පසු ගැහැනිය රැකියාවක් නොකල යුතුය යන තැන මගේ පියා එකල සිටියේ නම් අද අප තිදෙනාට වන්නේ මහපොලවේ පස් කෑමටය.
මා මේ කියනා කතාව මිනිත්තු පහකදී වූ කුඩා සිදුවීමකි. නමුත්, ඒ මිනිත්තු පහ ගෙවී අවුරුදු දොලහක් ගියත් එය මතක් කරන විට මා එතුල ජීවත් වනවා සේම දැනෙයි..
අද මෙන් එකලත් පංතිය තුල සෑම සතියකම පේපරයක් ලබාදී ඊලග සතියේ පිලිතුරු පත්රය ලබාදීම සිදුකෙරිණි.
වැඩිම ලකුණු ලබාගන්නා ලමයා රන් තරුව ලෙසින් නම් කොට අපහට එකල දුර්ලභ වස්තුවක් වූ..අදනම් ඕනෑතරම් ඇති දිලිසෙන තරු ස්ටිකර් තුනක් පේපෙරයේ උඩින්ම අලවයි.. එවැන්නක් ලැබුනු විට ඕනෑම ලමයෙක් මහත් උද්දාමයට පත්වීම සිදුවන්නේ නිතැතිනි .
ඉතින් එදින වාසනාවට හෝ අවාසනාවට වැඩිම ලකුණු තිබී තිබුනේ මා හටය. එකල අනිත් ලමයි තරමට උස මහත නැති කෙඩෑරි ලමයෙකු වූ මා පංතියේදී සිටියේ මදක් තනිවමය. හේතුව වූයේ මගේ පාසල් මිතුරියන් මෙම පංතියට සහභාගි නොවීමයි. කෙසේ හෝ මා නැගිට්ටවා රන් තරුව ලෙසින් නම් කොට තරු තුනකුත් පේපරයේ අලවන විටදී මා සිටියේ ගෙදර ගොසින් අයියාට හා අම්මාට මෙය පෙන්නා ආඩම්බර වෙන සැටි සිතින් මවමිනි..
නමුත් සතුට රැදුනේ විනාඩි කිහිපයකි. මගේ පිටුපස පේලියේ සිටි සැමදා එක සමානව ලකුණු ගන්නා ලමයින් දෙදෙනෙක් විසින් ගුරුතුමියට මැසිවිල්ලක් ඉදිරිපත් කලෝය. අත්භූත ලෙස ඔවුන් දෙදෙනාට එදිනද සමාන ලකුනු ලැබී තිබූ අතර , ඔවුන් පැවසූ ආකාරයට ගුරුතුමියගේ වැරදීමෙන් ඔවුන් දෙදෙනාගේම එකම ප්රශ්නයකට නිවැරදි වුවත් වැරදි ලෙස ලබාදීම නිසා ඔවුන්ගේ ලකුණු අඩුවී තිබුණි. අවසන ඔවුන් දෙදෙනාටම එක සමානව ලකුනු වැඩිවී මගේ ලකුණට වඩා ලකුණක් වැඩිවිය.
දැන් ඉතින් මගේ රන් ඔටුන්න ගැලවී යන මොහොතය. මාත් කට උල් කරගනිමින් බලා සිටියේ ගුරුතුමිය ඔවුන්ටද තරු ලබාදෙන තුරුය. අවාසනාවන්ත ලෙසකට ඇගේ පය තියවුනේ මා සිටි පේළියටය.
සැනින් මගේ පේපරය ගෙන පහත් වී මා හට කෙදිරුයේ ගනන් නොගන ලෙසත්, දන්නවනේ ලෙසටත්ය.
කදුලු පේලී දෙකම්මුලෙන් ගලා හැලෙද්දී මගේ තරු තුන ගැලවූයේ පේපරයද ඉරා යද්දීමය. එදින ඉරී ගියේ හුදෙක් ඒ පිදුරු පැහැ පේපරයම නොවන බව දැන් දැන් අවබෝධ වන්නේ අදටත් එය සිහිවනවිට ආත්මානුකම්පාවක් දැනෙන බැවිනි.
ඉන්පසු ඔවුන්ගේ පේපරවල මගේ තරු දිලිසුනේ මගේ මුලු අහසම අදුරු කරමිනි. පහතට නැඹුරු කර ගත් මගේ හිස පංතිය නිමා වන තුරුම ඉහලට එසනොවුනි.
ඉතින් කතාව අවසානය. මෙහි කතාවක් නැතිබව ඔබ ඇතැමෙකුට සිතිය හැක. නමුත් මගේ ගුරුතුමිය එදා මට අහිමි කල දෙයින් ඇතිවූ රිදුම තවමත් එලෙසටමය.
මෙය කියවන ඔබ ගුරුවරයෙක්නම් කිසිදා එවැනි දෑ ඔබේ දරුවන්ට සිදු නොකරන්න. මා කුහක දුෂ්ට ලමයෙකු බවට පත්ව මගේ ගතිගුන සියල්ල වෙනස් කරලීමට ඒ කුඩා සිදුවීම ප්රමාණවත්ය. එය කොතරම් දුරකට එසේ වූවාදැයි මා හටම මාව විනිශ්චය කල නොහැක. නමුත් ඒ ලමයින් දෙදෙනාත් මා මෙන්ම ශිෂ්යත්ව විභාගය සමත් විණි.
ඔවුන් අදටත් මගේ මිතුරියන්ය. එක් අයෙක් අනුවණ තීරණයක් ගෙන උසස්පෙල හෝ නොකර විවාහ වූ අතර අනෙකා විභාග කල් දමමින් තවමට් ඒවාට මුහුණ දෙයි..
අහිමිවීම් දරාගත් මා අද වෛද්ය ශිෂ්යාවක්මි.අවසන ඔබට කිවයුත්තේ
දරුවන් හැමවිටම දරුවන් පමණක්ම බව සිතන ලෙසටය..
ගුරුවරයෙකු ලෙස ඔබ එම භූමිකාවට පැමිණෙන විට ඔබගේ දැන ඇදුනුම්කම් ආදියෙන් නික්මී හැමදරුවාටම එක ලෙසටම සැලකිය හැකි ගුරුවරයෙකු ලෙස පැමිණෙන්න.
මා හට මෙලෙසට අකුරක් ගලපන්නට හෝ කියාදුන් සුවහසක් ගුරු මව්පියවරුන් හට දීර්ඝායු පතමි..
උපුටා ගැනීම: Sahasra Wikramasinghe