සජිතය තාත්තට කරන්ට් එක වද්දපු කතාව කියෙව්වට පස්සෙ මටත් මතක් උනා අපේ තාත්තගෙන් නසරානි කෑමක් කාපු අවස්ථාවකට සම්බන්ධ නිධාන කතාවක්.
මතක විදියට මම හයවසරෙ. ඒකාලෙ ඉස්කෝලෙ ට්රෙන්ඩ් එකක් තිබ්බ ඉස්සර පේලියෙ ඉන්න එකා පුටුවෙ වාඩිවෙද්දි සෙනිකව පුටුව පස්සට අදින. නැගිටින්නෙ මොකාද ඌ ආයෙ වාඩිවෙන්න කලිං පුටුව පස්සට අදිනව. ඌ දන්නෙ නැතුව ගැම්මට වාඩිවෙනව කියනෙ උඩ පැනල පුප බිම ඇනගන්නව වගේ සීන් එකක්. හය වසරෙ වයසට ගැලපෙන නානාවිද කුනුහරුප රාසියක් කියාගෙන පස්ස අල්ලගෙන දෙකට නැවීගෙන තමයි වැටුන එකා නැගිටින්නෙ.
මේක උනේ පුටු සීන් එකේ පීක්ම කාලෙ. නොතේරුම් කමට මේක ගෙදරදි අත්හදා බලන්න ගිහිල්ල තමා රෙස්ලිං ෆීලින් එක තාත්තගෙන්ම ලැබුනෙ.
එදා රෑ කෑම වෙලාව. ගෙදර ඔක්කොමල බත් එක බෙදාගෙන ඇවිල්ල කන්න වාඩි උනා. තාත්ත ආවෙ අන්තිමට. මම ඉස්කෝලෙ පංතියෙ වගේ තාත්ත වාඩිවෙන පුටුවට පිටිපස්සෙං පුටුවක් තියං ඉඳගත්ත. තාත්ත බත් එක අරං ඇවිල්ල පුටුවෙ වාඩි වෙන්න පහත් වෙද්දිම මම පොඩ්ඩක් පුටිව පස්සට ඇද්ද. ප්ලාස්ටික් පුටුව නිසා හිතුවට වඩා පුටුව පස්සට ඇදිල ආව. අහසට පිඹිනා එරං කලේයා පාර්ට් එක නටාගෙන හම්මට කියාගෙන තාත්ත බිම වැටුන. අත්දෙක උඩ ගියා බත් පිඟාන මගේ ඔලුවටත් උඩිං පියාඹන පීරිසිය වගේ ගිහිං පිටිපස්සට වැටුන. කටට ගත්ත බත් කට කටේ දාගෙන මම බලං හිටියෙ කටත් ඇරං බිරාන්ත වෙලා. හිතුවෙ නෑ වට්ටන්න. පොඩ්ඩක් ඇදල ගස්සන්න ගියේ. වැඩේ දෙල් උනා. තාත්ත නැගිට්ට. මගේ පැත්ත හැරුන. ඇස් රතුවෙලා, දත් මිටි කාගෙන බලං ඉන්නව. මම බයට වෙව්ලනව. තාත්ත තරහට වෙව්ලනව. ඒ අස්සෙ මේ උනදේ හිතාගන්න බැරුව අම්ම බලං ඉන්නව. පේන විදියට අම්මටත් හොඳටම තදවෙලා. අම්ම බත් අනනව නෙවෙයි පොල් මිරිකන්න වගේ බත් එක මිරිකනව.
අම්මගෙන් අනන්ත ගුටි කෑවත් තාත්තගෙන් ගුටි කන්නෙ හදීසියෙන්. කියල කියල බැරිම තැන තමා තාත්ත ෆයර් වෙන්නෙ. එහෙම වෙලා ගහන්න අත උස්සද්දිම මගේ ඉනෙං පල්ලෙහා ටැප් එක අනිවා ඇරෙනව. ගහද්දි කලිසම තෙමිල ඉවරයි. එදානං ටැප් එක කැඩිල වතුර විදින්න වගේ ගිහිල්ල පුටුවෙං එකයි. පුටුව උඩ මම යූරින් විලක් මැද ගැහි ගැහි ඉන්නව බත් එකත් පූජ වට්ටිය වගේ අල්ලගෙන. බත් කට කටේ තියං අනේ බුදු තාත්තේ කිව්ව විතරයි. තාත්ත ලඟට ආව. ගිලපං ඔය බත් කට කිව්ව. මම ගිල්ල. බත් පිඟාන තියපං පැත්තකිං කිව්ව. ඒකත් තිබ්බ. එච්චරයි මතක. සුපුරුදු පිට මැදට එල්ලකරන දැවැන්ත ප්රහාරය එදත් එල්ල උනා. ඒ පාර නිකං හිරෝසිමාවට දාපු නස්ටික බෝම්බෙ පිට මැදට පතබෑඋනා වගේ දැනෙන්නෙ. මට වේදනාවට වඩා දුකයි. ආනන්තරීය පාපකර්මයක් කරගත්ත වගේ පීලින් එකක් ආවෙ. තාත්ත නොබැන ගහල ගියේ මේක පොඩි කමට කරපු එකක් නිසා. එහෙම කියල අම්ම අතෑරියෙ නෑ.නසරානි වැඩක් කරාම ගහන්න වෙනම අරන් තියල තියෙන කෝපි කෝට්ට කැඩෙනකල් එදා ගැහුව. කලේ ලොකු වැරැද්දක් ආයෙ කරන්නෑ කියල මගේ කටිං පිටවෙනකල් ගැහුව. අන්න ඒමයි අපේ දෙමාපියො අපිව හැදුවෙ.
උපුටා ගැනීම: Kasun Gimhana