ඇච්චෝ බැච්චෝ කාලේ ඉඳන් අහලා පුරුදු මේ වචන පෙළ අපට මතක් කරන්නේ ලංකාවේ වාෂ්පයෙන් දුවපු කෝච්චි තිබුණු අතීතයයි. සුද්දගේ කාලේ බිහිවෙච්ච ලංකාවේ දුම්රිය ගමන්වලට මේ වෙද්දී අවුරුදු බර ගණනක් පිරිලා. මුලින් වාෂ්පයෙන් දිව්වට මොකද, ඊටපස්සේ කරළියට ආවේ ඩීසල් එන්ජින්. දැන් වැඩියත් ම තියෙන්නේ සෑහෙන වේගෙන් දුවන බලවේග කට්ටල.
අලුත් අලුත් “ගැජමැටික්ස්” තියෙන එන්ජින් ආවට මොකද, මුල අමතක කරන එක හොඳ නෑනේ. ඒකයි අද අපි හිතුවේ ලංකාවේ පාවිච්චි වුණු, පාවිච්චි වෙන ප්‍රසිද්ධ ඩීසල් එන්ජින් ටිකක් ගැන කතා කරන්න.
1. ලංකාවේ පළමුවෙනි ඩීසල් එන්ජිම; M1
ලංකාවට ගෙනාව පළමුවෙනි ඩීසල් එන්ජිම තමයි මේ. 1953 අවුරුද්දේ ලංකාවට ආව M1 පන්තියේ එන්ජිම 1983 වගේ වෙනකම් එක දිගට පාවිච්චි වුණා. මේ එන්ජිමේ උපරිම වේගය පැයට කිලෝමීටර 88ක්. හැබැයි 1984දී, ලංකාවට ගෙනාව M1 එන්ජින් 25ම භාවිතයෙන් අයින් කළා. මොකද ඒ වෙද්දීත් මේ එන්ජින්වලින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙනයි තිබුණේ. අනික අලුත්වැඩියාවට ඕනේ අමතර කොටස් හොයන්නත් අමාරු වුණා.
කඩුගන්නාව ඉස්ටේසමේ ප්‍රදර්ශනයට ඇති අංක 560 දරණ M1 එන්ජිම, අදට ලංකාවේ ඉතුරුවෙලා තියෙන අන්තිම M1 එන්ජිමයි.
2. සුනාමියට ගිය M2
2004 අවුරුද්දේ සුනාමියේදී පැරෑලිය ආශ්රිත ව සිද්ධවුණු දුම්රිය අනතුර මතකද? මේකෙදී අනතුරට පත්වෙච්ච දුම්රියේ තිබුණෙත් M2 එන්ජිමක්. 1954 ඉඳන්, අද වෙනකම් ම අවුලක් නැතුව දුවන මේ එන්ජිමට ලංකාවට මේක ඒ කාලේ තිබුණු “කොළඹ ක්‍රමය” කියන ආධාර ක්‍රමය යටතේ, කැනඩාවෙන්. මුලට ම M2 එන්ජිමෙන් දිව්වේ රුහුණු කුමාරි. ඊටපස්සේ උඩරට මැණිකේ එක්ක දුවන්නත් මේ එන්ජිම පාවිච්චි වුණා.
3. එදා ඉඳන් අද වෙනකම් වැඩ; M4
ගෙන්නපු දවසේ ඉඳන් අද වෙනකන් ම සාර්ථකව ගමනේ යෙදෙන එන්ජින් ගොන්නට මේකත් එක්කාසු වෙනවා. 1975දී ලංකාවට ආව M4 එන්ජිම පාව්ච්චි වෙන්නේ දුර දුවන ශීඝ්‍රගාමි දුම්රියන්වලට. කැනඩාවේ තමයි මේ එන්ජිමත් උපත ලැබුවේ. මේ වෙද්දී අපේ රටට ලැබිලා තියෙන M4 එන්ජින් ගණන 14ක්. යනඑන ගමන්වල හැටියට, හැම M4 එන්ජිමකට ම නමකුත් දීලා තියෙනවා. ඒ මඩු, සීගිරි, රුවන්වැලි, නමුණුකුල, කැලණි, වලවේ, දුන්හිඳ, ඉසුරුමුණි, දියලුම, පේදුරුතුඩුව, සමනල, මැණික්, මහවැලි, සහ ලක්ෂපාන විදියට. හැබැයි මේ යකඩ යක්කුන් ව, තව දුරටත් නිෂ්පාදනය වෙන්නේ නැහැලු. මොකද 2000 අවුරුද්ද කිට්ටු කාලෙදී මේවා හදන කම්හල ගින්නෙන් විනාශ වෙලා.
4. ජපන් රටේ උපත ලබා ලංකාවට ආ M5
පාරේ යන බස් එකක පෙනුමට සමාන මේ එන්ජිම වැඩිපුර ම පාවිච්චි වුණේ කඳුකර පැතිවල දුවපු කෝච්චිවලට. මේ වෙනස් හැඩයට හේතුවත් කඳුකර මාර්ගවල යනකොට දුෂ්කර දුම්රිය රියදුරාට පැහැදිලි ව මාර්ගය දැකගන්න සැලැස්වීමයි. උඩරට මැණිකේ, පොඩි මැණිකේ එහෙම එක්කරගෙන නුවර, බදුලු ගියපු මේ M5 එන්ජිම අද වෙද්දී දැකගන්න ලැබෙන්නේ හරි අඩුවෙන්. ඒකට හේතුව තමයි ගෙන්නලා පොඩි කාලෙකින් ම මේ එන්ජින්වල තාක්ෂණික ගැටලු ඇතිවෙච්ච එක.
1979දී තමයි මුලට ම මේ එන්ජිම ලංකාවට ගෙනාවේ. ඒ වෙද්දී තිබුණු අනිත් එන්ජින්වලට වඩා බරින් සැහැල්ලු එන්ජිමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. එදා ඉඳන් අද වෙනකම් මේ වර්ගයේ එන්ජින් 16ක් අපේ රටට ඇවිදින් තියෙනවා.
5. අපට ම කියාපු W2 එන්ජිම
W2 එන්ජිම ලංකාවට ආවේ 1969දී. මේ එන්ජිම ඒ කාලේ ඉඳපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ව ඉඳපු බී.ඩී රම්පාල මැතිතුමා සැලකුවේ ලංකාවට ගැලපෙන ම එන්ජිම විදියටයි. ඒ නිසා ම, මේ එන්ජිම හදපු ජර්මානු කොම්පැනිය, ලංකාව වෙනුවෙන් ම එන්ජින් 14ක් නිෂ්පාදනය කළා.
ඉස්සර උඩරට දුවපු ගැරට් කාණ්ඩයේ වාෂ්ප එන්ජින් පාවිච්චියෙන් අයින් වෙනකොට, ඒ වෙනුවට යොදාගැනුනේ මේ එන්ජිමයි. මිනිස්සුන් ව වගේ ම, බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන්නත් මේක හරි රුසියා.
6. කඳුරට ගමනට තකටතක; M6 එන්ජිම
1979දී ලංකාවට ගෙනාව M6 එන්ජිම, කඳුරට ගමන්වලට නියමෙට ම ගැලපෙන ඇත්තෙක්. මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ දිරන ගතිය අඩු අමුද්‍රව්‍යවලින්. ඒ නිසා සවි ශක්තිය සෑහෙන්න වැඩියි. ගොඩක් කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. වංගු අස්සෙන් ලස්සනට රිංගලා යන්න පුළුවන් විදියේ හැකියාවකුත් මේකට තියෙනවා. එන්ජිමේ කොතැන ඉඳන් ධාවනය කරත්, ඩ්‍රයිවර් මහත්තයට සෑහෙන්න පුළුල් දුරක් දැක බලාගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙන නිසා පරිස්සමටත් හොඳයි. එදා වගේ ම අදටත් M6 එන්ජිම පාවිච්චි වෙන්නේ උඩරට මැණිකෙලා, පොඩි මැණිකෙලා එක්කරගෙන යනඑන ගමන්වලට ම තමයි.
7. සයිස් එකේ හැටියටද වැඩ?; M7 එන්ජිම
දොඩම් ගෙඩි තුනක් සයිස් උස නැති වුණත්, සෑහෙන්න වැඩ කිඩ දන්න යාළුවෙක් ඔයාලටත් ඉන්නවද? මේ M7 එන්ජිමත් ඒ වගේ. 1981දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලබලා ලංකාවට ආව මේක, අද වෙද්දී ලංකාවේ යොදාගැනෙන එන්ජින් අතරින් අඩුම දිග, අඩුම බලය සහ අඩුම බර සහිත ඩීසල් එන්ජිමයි. ඔය උදේ හවා කන්තෝරු උදවිය කරගහගෙන යන සමහර කෝච්චිවලට මේ එන්ජිම පාවිච්චි වෙනවා. කඳුකර මාර්ගයේ නම් මේක පාවිච්චි වෙන්නේ වෙන කිසි ම එන්ජිමක් නැති වෙලාවක විතරයි.
ලංකාවට ආව M7 එන්ජින් දහසයෙන් 15ක් ම කිසි අවුලක් නැතිව ධාවනයේ යෙදෙනවා. මෙයින් එක එන්ජිමක් ම තමයි පහුගිය 1999 අවුරුද්දේ රඹුක්කනදී අනතුරකට ලක්වුණේ. සමහරු කියන විදියට, එලිසබෙත් මහ රැජිනගේ දෙවැනි ලංකාගමනයේදී, M7 එන්ජිමක් ඇති කෝච්චියක නැගලා රවුමක් යන්නත් ඇය අමතක කරලා නැහැ.
8. අසල්වැසියාගෙන් ලැබුණු තෑග්ග; M8 එන්ජිම
හොඳ ප්‍රතිචාර වගේ ම, රවුම් ගෙරවුම් නොසෑහෙන්න ලබපු එන්ජිමක් තමයි මේ. කිව්වත් වගේ මේක ලැබුණේ අපේ අල්ලපු රාජ්‍යය වන ඉන්දියාවෙන්. ඒ 1996දී. දැන් තියෙන බලවේග කට්ටල එන්න කලින්, ගාල්ල (සමුද්‍රදේවී), මහව පැතිවල උදවිය කර තියාගෙන උදේ හවස කොළඹ ආවේ M8 එන්ජිමයි. කෝච්චි පෙට්ටි 18ක් වගේ විශාල සංඛ්‍යාවක් පවා ඇදගෙන යන්න මේ එන්ජිමට පුළුවන්.
අසල්වැසියාගෙන් ලැබුණු තෑග්ගක් වුණත්, මේකේ මුල් බීජය වෙන්නේ ජර්මනියයි. කොටින්ම කිව්වොත් මේකේ තියෙන්නෙත් අපි කලින් කතා කරපු M4 එන්ජිමේ හැඩය (ඊට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාලයි). සිද්ධිය වුණේ මේකයි. ඉන්දියාවෙන් ජර්මනියේ ALCO සමාගමට ලොකු M8 එන්ජින් ඕඩරයක් ලැබුණා. කොච්චි එන්ජින්වල විශේෂඥයින් වුණත්, ALCO සමාගමට මේ ඕඩරය ඉවරයක් කරන්න තරමක් අමාරු වුණා. ඔන්න ඕක නිසා, ඉන්දියාව එයාලගෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ M8 එන්ජිම තමන්ගේ රටේ ම නිෂ්පාදනය කරගන්න ඕනේ කරන තාක්ෂණය සහ අනිත් පහසුකම් ලබා දෙන්නය කියලා. ඔයින් මෙයින් ඉන්දියාව එන්ජින් නිර්මාණය කරන්න ගත්තා. අද වෙද්දී, ලෝකේ තියෙන M8 එන්ජින්වලින් තුනෙන් එකක් ම වගේ හදලා තියෙන්නේ ඉන්දියාවයි.
9. මෙලෝ රහක් නැති M9 එන්ජිම
තිබුණායින් තිබුණේ නෑ මේ වගේ බැණුම් අහපු එන්ජිමක්. 2000දී ප්‍රංශයෙන් අපේ රටට ගෙනාව M9 එන්ජිම ලංකාවේ ධාවනයට සුදුසු නැති බවයි ගොඩක් අයගේ මතය.
මේ එන්ජිම සෑහෙන්න තාක්ෂණයෙන් ඉහළ එකක්. සේරම ධාවන කටයුතු පාලනය වෙන්නේ Windows CEවලින් මෙහෙයවෙන ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකින්. එන්ජිමේ විස්තර, ඒක රත්වෙන විදිය, ගමන් කරන වේගය වගේ දේවල් බලාගන්න තියෙන්නේ පරිගණක තිරයකින්. වෙන එකක් තියා එන්ජිමේ රස්නේ වැඩි වෙද්දී, දුම්රිය ගමන ස්වයංක්‍රීව ම අත්හිටුවන්න පුළුවන් විදියේ තාක්ෂණයක් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් එන්ජින් රියදුරුවරු ලීවර්, මීටර් කරකවද්දී, මේකේ රියදුරන්ට තියෙන්නේ “ජෝයි ස්ටික්” එකක් එක්ක සෙල්ලම් දාන්න.
සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන එන්ජින් බොහොමයක බඳ, සම්පූර්ණයෙන් ආවරණය වෙලා නැහැ. ඒත් මේක එහෙම්පිටින් ම ආවරණය වුණු එකක්. කට්ටිය කියන විදියට, මේක ප්‍රංශයේ සීතල දේශගුණයට ඔරොත්තු දෙමින් කාර්යක්ෂමතාවය තියාගන්න පාව්ච්චි කරන උප්පරවැට්ටියක්. ඒත් ලංකාව ස්වභාවිකව ම රස්නේ අධික රටක් නිසා මේ කතාව ගැලපෙනවද කියන ප්‍රශ්නයත් ඇතිවුණා.
M9 එන්ජිමේ අසාමාන්‍ය දිග, අමුතු ඇක්සල සැකසුම් නිසා දුම්රිය මාර්ගවලටත් හානි වෙන්න ගත්තා. ලංකාවේ තාක්ෂණික හැකියාව මදිකම වගේ ම මෙන්න මේ වගේ තවත් හේතු ගොඩක් නිසා තමයි හුඟක් අය මේ එන්ජිමට බණින්න පටන්ගත්තේ (හැබැයි ඉතින් නටන්න බැරිකමට පොළොව ඇදයි කියලා දෙස් දෙවොල් තියලා බෑනේ). කොහොම වුණත්, මුහුදුබඩ මාර්ගයේ, උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගවලත් මේ එන්ජිම සහිත කෝච්චි ධාවනය වෙනවා දැකගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් “ලංකාවේ කෝච්චි” කිව්වා ම මතක් වෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට වවුල්ලු වගේ මිනිස්සු එල්ලිලා යන දසුනක්නේ. හැබැයි නිකමටවත් ඔයාලා ඔය මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන එන්ජිම ගැන හිතුවද හැබෑටම? ඔන්න එහෙනම් ඒ වගේ කාටත් අමතක වෙච්ච එන්ජින් කීපයක් ගැන අපි දන්න විස්තරයක් කිව්වා. අපට මගහැරුණු දේවල් එහෙම සෑහෙන්න ඇති. ඒවා කට්ටියට ම පේන්න පොඩ්ඩක් කමෙන්ට් එකක් දැම්මනං…..
අන්තර්ජාලය ඇසුරෙනි
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න