“මොකක්ද බන් ඔය ආදර තටාක න්‍යාය කිය කිය උඹ ඔය දෙසා බාන කතන්දරේ ” ඔහු හිනා වුනා පමණයි.
මිතුරා යළිත් හඩ අවදි කරා .
“සිරාවටම අහන්නෙ මචං මට ඒක දැන ගන්න ඕන .” තම මිතුරා දෙස,බලා ඔහු යළිත් ඇහුවෙ කලින් සැරේට වඩා ටිකක් බැරූරුම්ව
“ඒක දිග කතාවක් බන් උඹට ඒකෙන් වැඩක් නෑ ” තම සගයා සමග මෙවන් මොහොතක ඔවැනි දේ කතා කරනවාට වඩා වටින්නේ දෙදෙනාගේ පාසල් සමයේ සිදුවීම් කතා කරමින් සතුටින් කාලය ගත කිරීම වටින බව දේශක මිතුරාට හැගී ගිය නිසයි .
“මචං මම කවුන්සලර් කෙනෙක් .මට ඒක හුගක් වටිනව ඒකයි ඇහුවෙ .ඔය ඔන් ලයින් ප්‍රේමයක් ගැනද උඹ ඔය කියන්නෙ .මොකද මන් උඹගෙ ලෙක්චර්ස් උඩින් පල්ලෙන් ඇහුවට තේරුනේ නෑ ඒක මොකක්ද කියල “
“ආ එහෙමද එහෙනන් අහගනින් ” කිව් මිතුරා වයින් වීදුරුව අතට ගත්තෙ තමන්ගෙ මිතුරාට පාඩමක් උගන්වන්න සූදානමින්
” මෙහෙමනෙ මචං කසාද බැදල ටික කාලයක් යනකොට දරු මල්ලො ලැබෙනව උන් එක්ක සතුටින් කාලයක් ඉන්නකොට ගෙවල් දොරවල් එහෙම හදල හරි ටිකක් ප්‍රශ්න අඩු වෙනකොට අවුරුදු තිස් පහ හතළිහ වෙනව .මේ කාලෙ වෙද්දි ගෑනු පිරිමි දෙපාර්ශවයම ශරීර අභ්‍යන්තරයෙන් වෙනස්කම් කීපයක් වෙනව .කොටින්ම ටිකක් තරුණ වෙනව .මේ කාලෙ වෙද්දි ෆෝන් භාවිතයත් ටිකක් වැඩියෙන් වෙනව .ඒ වගේම ළමයි ඉස්කෝලෙ දාන්න මොන්ටිසෝරි දාන්න වෙන නොයෙක් දේ වෙනුවෙන් ගෙදරට වෙලා කාලයක් හිටිය කාන්තාවොත් එළි පහළියට එනව .සමාජ මාධ්‍ය තුලත් ටිකක් වැඩි වෙලාවක් ඉන්න මේ දෙගොල්ලට නිදහස ලැබෙනව .”
කී මිතුරා වයින් උගුරකින් තොළ කට තෙමා ගත්ත .තමන්ගෙ සගයා බොහොම උනන්දුවෙන් තමන් දිහා බලන් ඉන්නවා .
“මෙහෙම සමාජය එක්ක මේ දෙගොල්ල මුහු වෙද්දි එකිනෙකා අතර සහ සම්බන්ධතා ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩී .මුලින් මිතුරු කමක් විදියට හරි දැන හැදුනුම් කමකින් හරි පටන් ගන්න සම්බන්ධතාවල මුලින් කරන්නෙ අදහස් හුවමාරු කර ගන්න එක .” මෙතනදි මිතුරා බාධා කලා .
“ඒ කියන්නෙ උඹ ඔය කියන්න යන්නෙ අනියම් සම්බන්ධ ගැනද “
“ඔව් සමහර ඒවා අනියම් සබදතා ,සමහර ඒවා අනියම් නොවන ඔන් ලයින් සබදතා ඒ කොහොම වුනත් මේවා තියෙන්නෙ අවුරුදු එක හමාරයි “
මිතුර කියද්දි අනෙක් මිතුරා විශයෙන් බැලුවෙ ඒ කතාව අනුමත කරන්න බැරි නිසා
“වෙන්න බෑ මම දන්න උන් ඉන්නව අවුරුදු හතරෙ පහෙ දහයෙ දොළහෙ ඔය වගේ සබදතා පවත්වන අය “
“ඔව් ඇත්ත ඕනෑම සබදකමක් අවුරුදු හතරට වඩා වැඩි නම් ඒ ගොල්ලො ලේසියෙන් අතහැරෙන අය නෙමේ .කොටින්ම බලහන් උඹයි මායි දැන් අවුරුදු කීයක් ද ? අපි තරහ වෙලා රංඩු වෙලා ෆෝන් වලින් බ්ලොක් කරල .කොච්චර ඉන්නවද ඒත් අවසානයෙ ආයෙම බ්ලොක් ඇරල කතා කරගන්නෙ අපේ යාළුකමට අවුරුදු හතරට වඩා වැඩි නිසා .බලහන්කො එහෙම යාළුකම් හරි වෙන සම්බන්ධ කම් ගැන හරි හිතල ” ,මිතුරා ඒ වෙලාවෙ ඔළුව වනල පිළි ගත්ත .
“මන් වගකීමෙන් කියනවා එහෙම නොවෙන අනෙක් සම්බන්ධතා වලට ආයුෂ අඩුයි .වැඩිම අවුරුදු එක හමාරයි ” .
“මට ඒක පැහැදිලි නෑ කියහන් ඒ ගැන ” මිතුර උනන්දුවෙන් ඇහුව .
“හරි මෙහෙමයි ඔය ෆෝන් ලව් පටන් ගත්ත මුල් කාලෙ තියෙනවනෙ ඒකෙදි මුලින්ම කෝල් මැසේජ් .මේ කාලෙ තමයි හුගක් දෙනෙක් ජීවිතේ සුන්දරම කාලෙ මේක කියල හිතන්නෙ .දවසට මැසේජ් සීයක් දෙසීයක් නෙමේ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් .කෑවද ,බීවද ,නිදිද ,මහන්සිද ,බෙහෙත් බිව්වද වගේ ප්‍රශ්න අහද්දි දෙන්නටම හිතෙනව මෙයා මන් ගැන ගොඩක් හොයල බලනව කියල .ඊට පස්සෙ ” දැන් රෑවෙලා දොරවල් වහල නිදා ගන්න .පරිස්සමින් ඉන්න ., වැඩිය එළියට යන්න එපා .වගේ දේ කියද්දි දෙන්නම හිතනව මෙයා මට රැකවරණය දෙනවා කියල .මට ඔයා නැතුව ඉන්න බෑ .ඔයා මගෙ පණ වගේ කතා කියද්දි හිතනව මේක ආත්මීය බැදීමක් .අපි සසරෙ එකට ඉදල තියෙනවා හැබැයි හමුවෙන්න පරක්කු වෙලා කියල .ඔය වගේ දෙබස් එක්ක මේ ගොල්ලො ආදරෙන් බැදෙනවා .ඒ එන කෝල් එකේ රින්ගින් ටෝන් එකට පවා ආදරේ කරන්න ගන්නවා .මැසේජ් ටෝන් එකෙන් පවා හිත පිනා යනවා “
මිතුර කියද්දි අනෙක් මිතුරා ඔළුව වැනුවෙ තමන්ටත් මෙහෙම අතීතයක් තිබුන නේද කියන මතකයත් අත්දැකීමත් මේ කියන දේ එක්ක ගැලපෙන නිසා .
“දෙවැනි අවස්ථාවෙ මේ ගොල්ලො කතා කරන්නෙ සෙක්ස් ගැන .එකිනෙකා බොහොම ආදරෙන් බොහොම විවෘතව ඒ ගැන කතා කරනවා .එතනදි දෙන්නටම හිතෙනවා අපි දෙන්න කොච්චර ගැලපෙනවද අපේ සිතුම් පැතුම් අදහස් ආසාවල් එකිනෙකට පුදුම විදියට ගැලපෙනව කියල .මොකද තමන්ගෙ වයිෆ්ට හස්බන්ඩ්ට නොකී කතා පවා මෙතනදි කතා වෙන්න තරම් මේ අය හදවතින් බැදිලා ” ඒ කතාවත් ඇත්ත කියල මිතුරට හිතුනෙ තමන් මේ ඉදිරියේ ඉන්න මිතුරටවත් නොකී මෙවන් සබදකමක් තමාටත් තිබුන නිසා .තමා මහා වරද කරුවෙක් බව ඔහුට දැනුන නිසාම මිතුරට බාධා කලා
“මචං ඔය වගේ ඒවා සමාජයේ ගොඩක් තියෙනව බලන් යද්දි නේද “
“අනිවාර්යයෙන් දැන් වෙද්දි මේව සීයට අසූවක් විතර තියෙනව ඒත් කවුරුත් මේවයෙ අනිසි ප්‍රතිඵල දන්නෙ නෑ දරුවො අසරණ වෙන තරම තමන්ගෙ සහකාරිය සහකරුට දැනෙන වේදනාව ,තමන්ට එයින් වෙන හානිය දන්නෙ නෑ ඒ නිසයි මම ඔය ගැන දැනුවත් කරන්නෙ .”
මිතුරා කී දෙයට ඔහු එකග වුනේ තමාගෙ මෙවැනි සබදකමක් ගැන බිරිද දැන ගත් අවස්ථාවෙ ඇය හැඩූ දෙඩූ හැටි ශාප කල හැටි දුක් අදෝනා කී හැටි මෙන්ම දරුවන් බයේ ගැහි ගැහි අසරණ වෙලා හිටි හැටි මතක් වීමෙන් .
“මචං ඔය වගේ දේ රහසෙම තියන් කරගෙන යන අයත් ඇති නේද ” ඔහු ඇහුවෙ ඒ ගැන ඇති වූ කුතුහලයෙන් .කොක් හඩලා හිනා වුන මිතුර මෙහෙම කිව්ව
“කවදාවත් නෑ බන් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියල කියමනක් තියෙන්නෙ ඒකනෙ .ඊටත් වඩා ලෝකෙ නියතයක් තියෙනවා මේ වගේ දෙයක් මුලින්ම අහුවෙන්නෙ බිරිදට නැත්නම් තමන්ගෙ සැමියට .” මිතුරා කිව්වම අනෙක් මිතුරා ගැස්සිලා ගියා .මොකද ඉතාම සූක්ෂම ලෙස තමා මාස අටක් පැවැත්වූ සබදතාවයත් තමන්ගෙ බිරිදටම අහු වුන නිසා .
“දැන් මේ සබදතාවයෙ තුන් වෙනි මාස තුන කොහොමද “
“තුන් වෙනි අවස්ථාව අර වගේ විවෘතව කතා කරපු මේ අය කොහේ හරි තැනක හමුවෙන්න කතා කරගන්නවා .” මිතුරගෙ කතාවත් එක්කම ඔහුට හුස්මක් පිට වුනේ තමන්වත් නොදැනීම .
අලුත්ම තැනක් ,සුපිරි පහසුකම් ,විළවුන් සුවද ,නැවුම් බව ,චකිතය කුතුහලය ,නිදහස එක්ක මේ අය ගොඩාක් දුරට යනවා තමන්ගෙ ජීවිතේ තමන්ට ලැබුන මහගු වස්තුවක් විදියට හිතනවා.නමුත් තව කොටසක් මේ අවස්ථාවෙන් පස්සෙ සබදතාව නවත්වනවා .ඒකට හේතු කීපයක් තියෙනව .ඒව දිග වැඩී .ඒත් තමන්ගෙ හිත පාලනය කරගන්න බැරි වුන ගොඩක් අය මේ රසය හොයාගෙන නැවත නැවත හමුවෙනවා මේක තමයි හතරවෙනි තටාක අවස්ථාව .
මේ විදියට කාලය ගත වෙද්දි තමන්ගෙ වෙනස්කම් ගැන අදින පළදින විදිය ගැන ෆෝන් එක හංගල තියෙන එක ගැන .කෝල් මැසේජ් එද්දි වෙන කලබලය ගැන , වෙනදට වඩා සතුටින් ඉන්න එක ගැන ,නිවාඩු ගන්න එක ගැන , ඔෆිස් එකේ වැඩ අතපසු වීම ගැන ,කෝල් කරනකොට කතා කරන විදිය හැසිරීම ගැන , හිනාව ගැන , තමන්ගෙ යුතුකම් ගෙද්රරට ඉටු නොවීම ගැන ,බිරිද/ සැමිය නැතුව තනිවෙන්න තියෙන උවමනාව ගැන මේ අයට වඩා ලෝකය අවදියෙන් .ආදරය අන්ධ වෙන්නෙ මේ අයට විතරක් වුනාට මේ අවස්ථාවෙ ලෝකය අන්ධ නෑ . මේ අවස්ථාව වෙනකොට තමන් තනිකරල පවුල ,කාර්යාලය සමාජය ඉදිරියට ගිහින් රහසේ තමන්ට අවමන් කරනව නින්දා කරනවා ” මිතුරාගෙ කතාවට තමා එකග වෙමින් හිස,වැනුවෙ ඔහු තමා ගැනම ඇති වූ කළකිරීමෙන් .
“පස් වෙනි තටාකය වෙද්දි ලෝකයට සියල්ල හෙළි වෙලා තමන්ගෙ මිල මුදල් නැති වෙලා දරුවො ගිලිහිලා සහකාරිය /සහකරු දුරස් වෙලා .කාර්යාල කටයුතු අතපසුවෙලා ,නින්දා අපහාස චෝදනා බැනුම් අහන්න වෙලා ,පවුලක් විනාශ වෙලා .තව පවුලකත් එවැනිම තත්වයක් .මහා පව් කන්දරාවකුත් පුරවගෙන ලෝකයෙනුත් තනිවෙලා මේ අවස්ථාවෙ එක්කො තටාකයෙ ගිලෙන්න ඕන .එහෙම නැත්නම් එතනින් මිදෙන්න ඕන .මේ ටික අවුරුදු එක හමාරක් වෙද්දි වෙලා ඉවරයි.” ,
මිතුරා මේ තරම් මේ ගැන කල පැහැදිලි කිරීම තමන් අත්දැකීමෙන් දන්නා දෙයක් නිසා ඔහුටත් කට උත්තර නැති වුනා .
“ඇයි බන් මේකට තටාකය කියන්නෙ “
” මෙහෙමනෙ බන් තටාකය කියන්නෙ පූල් එකක්නෙ .ගමේ කුඹුකෙ ගහක් අයිනෙ සීතල වතුරින් හරි වැවක ගගක ඔයක හරි ගෙදරම කරාමයෙන් හරි වතුර මලෙන් නෑවත් තටාකයක් දැක්ක ගමන් අපිට ශා ලස්සන නා ගන්න තිබ්බ නම් කියල හිතෙනවා .සාමාන්‍ය මිනිස්සුන්ට තටාකයක් හදාගන්නත් බෑනෙ .අනික ඒක අනුන්ගෙ. ඒක පාවිච්චි කරන්න යන්න වෙනම ඇදුමක් ඕන .මුදල් ඕන වගේම අපිට තටාකය පාවිච්චි කරන්න නියමිත කාලයක් දෙනව.කාලෙ වැඩි වෙන්න වෙන්න අය කිරීම වැඩියි .අනික විෂ බීජ තියෙන්න පුළුවන් .කොච්චර ආස වුනත් මේක ගෙදර අරන් යන්නත් පුළුවන් .ඒ විතරක් නෙමේ අපෙන් පස්සෙ කී දෙනෙක් තව පාවිච්චි කරනව ඇතිද නේද ” හිනාවෙලා මිතුර කිව්ව
උපුටා ගැනීම: කාංචනා පෙතියාගොඩ