ඒ කාලෙ මම දහතුන වසරෙ. දහතුන වසරෙත් අන්තිම මාස කීපය කීවොත් වැරදි නෑ. විභාගෙ කිට්ටුවෙලා තිබුණ නිසා අපේ පංතියෙ ගොඩක් කොල්ලො කෙල්ලො ඉස්කෝලෙ නෑවිත් අමතර පංතිවලට ගියා. මට මතක විදියට හැමදාම ඉස්කෝලෙ ආවෙ මමයි , චාමරයි , තරංගයි , හසන්තිකායි තව කෙල්ලො දෙතුන් දෙනෙකුයි විතරයි. ඉස්කෝලෙ ගුරුවරුන්ගෙත් හිඟයක් තිබුණ නිසා හරියට ඉගැන්වීම් කටයුතු වුණේ නෑ. එහෙම එකේ පංතියකටවත් නොයා ඉස්කෝලෙට ඇවිත් කාලෙ නාස්තිකරන්න තරම් වටින හේතුවක් මටයි හසන්තිකාටයි තිබුණට අනිත් උන් ටික මොකටද හැමදාම ඉස්කෝලෙ ආවෙ කියන්න මට තේරුණේ නෑ. චාමරටනම් ඉස්කෝලෙ නෑවිත් ටියුෂන් යන්න තරම් වත්කමක් තිබුණෙ නෑ. තාත්තා එකතැන් වුණාට පස්සෙ ඌ පුදුම කට්ටක් කෑවා ගෙදර වැඩ ටික බලන අතරෙ ඉගෙනගන්න. ඒත් අනිත් උන් ඇයි…? සමහරවිට ඉස්කෝලෙට තිබ්බ පුදුමාකාර ආදරේ නිසා වෙන්න ඇති. එහෙමත් නැත්තන් මටයි හසන්තිකාටයි වගේ වෙන වෙන විදියෙ ලෙන්ගතුකම් තිබුණා වෙන්නත් පුළුවන්.
හසන්තිකා අපේ ඉස්කෝලෙට ආවෙ උසස්පෙළට. කෙල්ල ආපු මුල් කාලෙනම් පෙන්නපු සමහර ආඩම්බර ගතිගුණ නිසා මං ඒතරම් පැහැදීමකින් නෙවේ හිටියෙ. හැබැයි ඒකි ලස්සනයි වගේම හිත ඇතුළෙනුත් ගොඩාක් අහිංසකයි කියන එක තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියෙ නෑ. ඒ තේරුම්ගැනීමත් එක්ක මගෙ හිතේ මටම නොතේරෙන මොකක්දෝ හැඟීමක් කෙල්ල ගැන ඇතිවුණා. ඒ පළවෙනි වතාව. ඊටකලින් මට ඒ විදියෙ දෙයක් දැනිලා නෑ. හසන්තිකා ගැන මට තිබුණ කැමැත්ත හිතේ තියන් හිටියා මිසක ඒක කෙල්ල එක්ක කියන්න තරම් හයියක් ඒ කාලෙ මට තිබ්බෙ නෑ. චාමරයගෙ පෙරැත්ත කෙරිල්ල හින්දමයි මම දොළහ වසරෙ පළවෙනි වාර විභාගෙ දවසෙ කෙල්ලගෙ පොතක් අස්සට මගෙ හිතේ තිබුණ අදහස ලියලා පොඩි ලියුමක් දැම්මෙ. ඊට පහුවෙනිදා හසන්තිකා ඉස්කෝලෙ ආවෙ නෑ. මට කවදාවත් නැතිවිදියෙ කළකිරීමක් දැනුණා. ඕනෙවට වඩා මාව හදිස්සි කෙරෙව්ව එකට මම චාමරයටත් නොසෑහෙන්න දොස් කිව්වා.
ඊට පහුවෙනිදා හසන්තිකා ඉස්කෝලෙ ආවට මගෙත් එක්ක කතා කළේ නෑ. මම කෙල්ලට මූණදෙන්න බැරිකමට එදා ගුරුවරයෙක් නැති රසායන විද්යාව පීරියඩ් දෙකේදි චාමරයා එක්ක පුස්තකාලෙට වෙලා හිටියෙ. හවස් වරුවෙ මම ආපහු පන්තියට ආවට පස්සෙයි දැක්කෙ මගෙ ඩෙස් එකේ යට කොටසෙ පොඩි කොළ කෑල්ලක් තිබුණා.
” ඒ තරමටම මට කැමතිනම් ඇයි දැන් කතා නොකරන්නෙ…? ” හසන්තිකාගෙ අකුරු. මගෙ මූණ පුරා දාඩිය දැම්මා. මට හිතාගන්න බැරි වුණා ඒ සිද්ධවුණ දේ ගැන. මම හීන්සීරුවෙ කෙල්ල දිහා බැලුවා. ඒකි එවෙල මගෙ පැත්තට හැරිලා කට කොණින් හිනා වුණ විදිය මට තාම මතකයි. ඒ විදියටයි අපි දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තෙ. අපිටත් නොදැනිම තමයි අවුරුදු දෙකකට කිට්ටුවෙන්න කාලෙ ගතවෙලා ගියෙ.
හැමදාම එකම විදියට ගෙවිලා ගිය අපේ ඉස්කෝලෙ ජීවිතේ එකපාරටම වෙනස් වෙන්න පටන් ගත්තෙ විභාගෙට මාස කීපයක් තියෙද්දි අලුතෙන් ගුරුවරු දෙන්නෙක් අපේ ඉස්කෝලෙට ආවට පස්සෙයි. භෞතික විද්යාවට ඇවිත් හිටියෙ අලුතින් පත්වීම් ගත්ත පොඩි සර් කෙනෙක්. අපේ කොල්ලො විහිළුවට කිව්වෙ ‘අයියා සර්’ කියලා. හැබැයි රසායන විද්යාවට ටිකක් මැදිවයසෙ සැර පෙනුමක් තියෙන ටීච කෙනෙක් ඇවිත් හිටියා. අනුලා මිස්… මිස් පංතියට ආව දවසෙ වැඩි කතා බහක් පෙන්නුවෙ නෑ. මූණෙ කිසිම හිනාවක් තිබුණෙත් නෑ. ඒත් එදා අනුලා මිස් එක දිගට විනාඩි කීපයක්ම මගෙ දිහා බලන් හිටියා වගේ එකක් මට තේරුණා. මම ඒ පැත්තට පොඩ්ඩක් හැරිලා බලන හැමවෙලේම මිස් මගෙ දිහා බලාගෙන. මම එක එල්ලෙ මිස්ගෙ ඇස් දෙක දිහා බලන් ඉන්න බැරිකමට පොතේ හිස් පිටුවලට එබිලා නොතිබුණ අකුරු මවාගෙන කියවන්න පටන් ගත්තා. ඒත් ටික වෙලාවකින් ආයෙමත් කුතුහලේට මිස් දිහා බැලවෙනවා. ඒ වෙද්දිත් මිස් මගෙ දිහා බලාගෙන. මට ඒ වෙලාවෙ දැනුන අපහසුතාවය විස්තර කරන්නත් අමාරුයි. ගුරුවරයෙක් ඒ විදියට මගෙ දිහා බලන් ඉන්නෙ ඇයි කියන්න මට තේරුණේ නෑ.
දවස් කීපයක් ගතවෙලා ගියා. අනිත් අයට නොතේරුණ මිස්ගෙ අමුතු හැසිරීමක් ගැන මට හොඳටම ඒත්තුවුණා. මිස් ඕනෙවට වගේ මගෙ ගැන උනන්දුයි. මම බයෙන් හිටියෙ හසන්තිකාට ඒ ගැන පොඩි හරි වෙනසක් තේරෙවි කියලා. ඒත් මොකක්දෝ වාසනාවකට කෙල්ල නිකමටවත් එහෙම දෙයක් ගැන මගෙත් එක්ක කතා කළේ නෑ. ඒත් ඉස්කෝලෙදි අනුලා මිස්ගෙ ඒ හැසිරීම ගැන සෑහෙන අප්රසන්න ගතියක් දැනෙන්න පටන් ගත්තා. ඉස්කෝලෙ නොයා ඉන්න හිතෙන තරමට මට එපාවුණා. වෙන කරන්න දෙයක් නැතිකමට මම ඒ දවස්වල ඉස්කෝලෙ ගියෙ.
දවසක් මම ගුරුවරුන්ගෙ ස්ටාෆ් රූම් එක ළඟින් යනකොට අනුලා මිස් එතන ඉඳලා මට හිනාවුණා. මමත් හිනා නොවී බැරිකමට මූණට බොරු හිනාවක් මවාපාගෙන ඉක්මනට එතනින් ගියා. මම ආපහු එනකොට ආයෙත් අනුලා මිස් එතනට වෙලා හිටියා. මට තේරුනේ මිස් මම එනකම් එතනට වෙලා ඉන්නවා කියලයි. ඒ වෙලාවෙ මට මිස් ගැන ලොකු කේන්තියක් ආවා. ඒත් මම කියලා මොනව කරනන්ද?
” රුවන්….. ” මිස් මගෙ නම කියලා කතා කරනවා. මම ඇහුණෙ නැති විදියට යන්න හැදුවට මිස් ආයෙම කතා කළා.
” රුවන්… පොඩ්ඩකට එන්නකො. “
” ආ… ඇයි අනුලා මිස්…? “
මම ස්ටාෆ් රූම් එක ගාවට ගියා. මිස් මගෙ ඇස් දෙක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා හිනාවුණා.
” පොල් ටොෆි වගයක් තියේ. ඒක දෙන්න කතා කළේ. ගොඩක් තියෙනවා. මමයි ජීවන්ත මල්ලියි විතරයි ඉන්නෙ අද ස්ටාෆ් එකේ. අපි දෙන්නට කාලා ඉවර කරන්න බෑනෙ. රුවන් අරන් ගිහින් පංතියෙ අයටත් දීලා කන්න. “
මිස් පොඩි පොලිතීන් බෑග් එකක දාපු කොළපාට පොල්ටොෆි වගයක් මගෙ අතට දුන්නා. මට ඒක ආපහු මිස්ගෙ අතටම දෙන්න හිතුණා. ඒත් කොහොමද එහෙම කරන්නෙ?
” රුවන් ආසයිද පොල් ටොෆි කන්න? ” අනුලා මිස් එහෙම ඇහුවා.
” අනේ මිස් ඇත්තම කීවොත් මම පොල්ටොෆි කන්න කැමති නෑ. කමක් නෑ මම පංතියෙ අනිත් අයට දෙන්නම්. ” ඒ වෙලාවෙ මම ඒ වගේ කතාවක් කීවෙ හිතාමතාම මිස්ගෙ හිත රිද්දන්න වෙන්න ඇති. මම එහෙම කීවම මිස් මොනවත්ම කීවෙ නෑ. ආයෙ ටික වෙලාවක් මගෙ දිහා බලන් හිටියා.
” මේ ඇහිබැම දෙක එකට හා වෙලා තියෙන්නෙ ඉස්සර ඉඳන්මද? ගෙදර අනිත් අයගෙත් එහෙමද? ” මිස් මගෙන් එහෙම ඇහුවා.
” ඒකනම් මතක නෑ මිස්. අපේ ගෙදර වෙන කාගෙවත් මෙහෙම නෑ. මගෙ තමයි මෙහෙම තියෙන්නෙ මිස්. “
” දුඹුරු පාට බළල් ඇස් දෙකත් එක්ක ඔය ඇහිබැමි දෙක මූණට ආවම රුවන්ට හරි ලස්සනයි… නැද්ද ජීවන්ත සර්… ” මිස් එහෙම කියල හයියෙන් හිනාවුණා. ජීවන්ත සර් ඒ වෙලාවෙ ජනේලෙ ළඟින් එබිලා මගෙ දිහා බලලා හිනත් වුණා.
මගෙ හිතේ ටික දවසකට කලින් ඉඳන් පැල වෙවී තිබුණ සැකේ ටික ටික තහවුරු වෙන්න පටන් ගත්තා. අනුලා මිස් මගෙ ගැන හිතන විදිය පිළිබඳව මහා හිරිකිතක් දැනෙන්න පටන් ගත්තා. හිතින් හිත හිත වද වෙවී හිටියා මිසක මේ ප්රශ්නෙ ගැන හසන්තිකාටවත් චාමරටවත් කියන්න තරම් මට උවමනාවක් තිබුණෙ නෑ. ඒ වගේ දෙයක් කොහොමද මම තව කෙනෙක් එක්ක කියන්නෙ. මිස්ට අවුරුදු හතළිස් පහක් විතර ඇති. එහෙම කෙනෙක් ඇයි මේ විදියෙ දේවල් වලට පෙළඹෙන්නෙ ? මගෙ දුඹුරු ඇස් දෙකයි , එකට හා වුණ ඇහි බැමි දෙකයි නිසාද? ඒවගෙන් ඒතරමට මට කඩවසම් ගතියක් පේනවද? මම මගෙන්ම ප්රශ්න කරන්න පටන් ගත්තා. කාලෙකට කලින් හසන්තිකා මගෙ ඇහිබැමි දෙකට වගේම දුඹුරු ඇස් දෙකට හරි කැමතියි කියපු බවකුත් මට ඒ වෙලාවෙ මතක් වුණා.
එදා මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියෙ බොහොම අමාරුවෙන් තීරණයක් අරගෙන. පහුවෙනිදා උදේ ඉස්කෝලෙට ගියාම හසන්තිකා කලබලෙන් වගේ මගෙ ගාවට ආවා. කෙල්ල වික්ෂිප්ත වෙලා වගේ මගෙ මූණ දිහා බැලුවෙ.
” රුවන්… අනේ මේ මොකද වුණේ….? ” කෙල්ලගෙ වචනවල ලොකු දුකක් ගැබ්වෙලා තියෙනවා කියලා මට හොඳටම තේරුණා.
” රබර් කිරි වැටුණා හසී…. මොනවත් කරන්න බැරි වුණා. මම මැද ටික රේසරෙන් ගාලා දැම්මා. ” මම එහෙම කියනකොට කෙල්ලගෙ ඇස් දෙක ළාවට තෙත් වෙලා තිබ්බා.
” ආයෙ වැවෙයිද? “
” මම දන්නෙ නෑ…. ලොකු අවුලක් නෑනෙ ඉතින් මැද ටික විතරනෙ අයින් කළේ…”
කෙල්ල මොකුත් නොකියා එතනින් ගියා. එදා අනුලා මිස් පංතියට ආව ගමන් පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.
” මොකද වුණේ රුවන්…? “
මම හසන්තිකාට කීව කතාවම ඊට වඩා පොඩි සතුටක් එක්ක අනුලා මිස්ට කිව්වෙ.
” කමක් නෑ… ආයෙ වැවෙනවා ඕක ඉක්මනට… ” මිස් එහෙම කිව්වා. මම සෑහෙන අකමැත්තෙන් වුණත් කරපු දෙයින් හිතපු තරම් බලපෑමක් නොවුණ එක ගැන පොඩි පසුතැවීමක් හිතේ ඇතිවුණා.
මම කොච්චර උත්සහ කළත් අනුලා මිස් මගෙ දිහා බලන එකවත් , අනිත් ළමයින්ට වඩා මට විශේෂ සැලකිලි දක්වන එකවත් නවත්වන්න පුළුවන් වුණේ නෑ. සමහර දවස්වල මම මිස්ගෙ හිත රිදෙන විදියෙ දේවල් පවා කළා. මට මතකයි දවසක් අනුලා මිස් මට කන්නයි කියලා දීපු වැලිතලප වගයක් මිස්ට පේන්නම කාණුවට විසි කළා. පහුවදා මගෙන් ‘ රුවන් වැලිතලප කන්න අකමැතිද ? ‘ කියලා ඇහුවා මිසක ඒ කරපු දේ ගැන කියලා මට දොස් කියන්න ආවෙ නෑ.
ඔය විදියට කාලෙ ගතවෙලා ගියා. අපි ඉස්කෝලෙ යන අන්තිම දවස උදාවුණා. එදා හැම ගුරුවරයෙක්ම හම්බෙලා අපි බුලත් දීලා වැන්දා. අනිත් ළමයි අනුලා මිස් ගාවට ගිය වෙලේ මම පංතියට වෙලා හිටියා. මිස්ට වඳින්න යන්න තරම් හිතක් තිබුණෙ නෑ මට. ඒත් මොකක්දෝ අවාසනාවකට එදා ඉස්කෝලෙ ඇරිලා යනකොට පාරෙදි මිස්ව මට මුණට හම්බුණා.
” විභාගෙ හොඳට කරන්න රුවන්. සුභ අනාගතයක්…! “
ඒ මම අනුලා මිස්ගෙ කටහඬින් ඇහුව අන්තිම වචන ටික. ඊට පස්සෙ මට අනුලා මිස්ව හම්බුණේ නෑ. අපි උසස්පෙළ ලිව්වා. පළවෙනි වතාවෙ මට තිබුණෙ සාමාන්ය සාමාර්ථ තුනක් විතරයි. ඒත් දෙවෙනි වතාවෙ මම සෑහෙන්න මහන්සි වුණා. මට ඉන්ජිනේරු පීඨෙට යන්න බැරි වුණත් කැම්පස් යන්න තරම් වාසනාවක් තිබුණා. අවුරුදු තුනකට පස්සෙ උපාධිය ඉවර කරලා මම ශිෂ්යත්වයක් ලැබිලා උසස් අධ්යාපනයට ඕස්ට්රේලියාවෙ ගියා. හරියටම අවුරුද්දකට පස්සෙ ආයෙමත් ලංකාවට ආවෙ මම. ඒ කාලෙ රස්සාවක් හොයන ගමන් ගෙදර ඉන්නකොට දවසක් මට චාමරගෙන් කෝල් එකක් ආවා.
” රුවන්… උඹ ගෙදර නේද ඉන්නෙ මේ ටිකේ..? “
” ඔව් චාමරයා…. මොකෝ කේස් එක? ” මම ඇහුවා.
” උඹට අනුලා මිස් මතකද? ” චාමර ඇහුවා.
මට කොහොම අමතක වෙන්නද. හැබැයි මිස් ගැන හොඳ විදියෙ මතකයක් නෙවේ මට තිබුණෙ.
” ඔව් බං. මතකයි. “
” මිස් නැතිවෙලා බං ඊයෙ හවස. කෑන්සර් එකක් හැදිලා පහු ගිය කාලෙ අමාරුවෙලා ඉඳලා තියෙන්නෙ. මළගෙදර යමං අද රෑ. අපේ උං යනවා. “
චාමරගෙ වචන එක්ක මොකක්දෝ නොතේරෙන දුකක් මගෙ හිතට දැනෙන්න පටන් ගත්තා. මොන විදියෙ නරක මතකයක් අනුලා මිස් ගැන මගෙ හිතේ පැලපදියම් වෙලා තිබුණත් ඒක ලොකු මතකයක්…. ඒ විදියට අපේ හිත් ඇතුළෙ මතක ගොඩගහපු මිනිස්සු ආයෙ නොයෙන්නම ගියපු බව දැන්ගන්න ලැබුණම පුදුමාකාර දුකක් දැනෙන්නෙ.
මම හවස්වෙලා කොල්ලෙකුයත් අඬගහන් චාමරයා හයර් දුවන ත්රීවීල් එකේ මළගෙදර ගියා. අපි හිතුවට වඩා දුරක ඉඳන් තමයි මිස් ඒ කාලෙ ඉස්කෝලෙට ඇවිත් තියෙන්නෙ. මිස්ගෙ ගමට යන්න තිබ්බ පාරත් සෑහෙන්න අබලන් වෙලා තිබුණෙ. අතරමගදි පාරෙ තිබුණ වලවල් වලට ගල් තිය තිය බොහොම අමාරුවෙන් අපි ගියෙ. මළගෙදර කිට්ටු වුණාම පාර අයිනෙ තිබුණ පොල් ගහක මිස්ගෙ මරණ පෝස්ටරේ ගහලා තියෙනවා මට පෙණුනා. පින්තූරෙනම් ඒ තරම් පැහැදිලි නෑ. ඒත් ඉස්කෝලෙ කාලෙ මගෙ දිහා නිතර බලන් හිටපු ඒ මුණ අඳුරගන්න මට බැරිකමක් තිබුණෙ නෑ.
අපි මළගෙදරට ගොඩවෙනකොට හසන්තිකාත් ඇවිත් හිටියා. තනියෙන් නෙවේ. බඳින්න ඉන්න පිරිමි ළමයත් එක්ක. කෙල්ල මගෙ ළඟට ඇවිත් කතා කළා. මම ලොකු කතා බහකට නොයා මිස්ගෙ මිනිය බලන්න ගියා. ඉස්සරට වඩා සෑහෙන වෙනස්වෙලා. මිස්ව අඳුරගන්නවත් බෑ මිනිය බලලා. අවසන් ගෞරව දක්වලා මම චාමරත් එක්ක මිදුලෙ තිබුණ පුටුවක වාඩි වුණා. චාමරත් එක්ක ආගිය විස්තර කතා කර ඉන්නකොට වයසක ගැහැණු කෙනෙක් අපි ගාවට ඇවිත් තේ එකක් දුන්නා.
” පුතා අනුලා නංගිගෙ ඥාති කෙනෙක්ද? ” ඒ ගෑණූ කෙනා ඇහුවා.
” අනේ නෑ නැන්දෙ…. අපි කාලයක් මිස්ගෙන් ඉගෙනගත්තා. ” මම කීවෙ තේ උගුරක් බොන ගමන්. අතීතෙ යළි යළි සිද්දවෙනවා කියන කතාව මට මතක් කරවන ගමන් අර ගැහැණු කෙනා අනුලා මිස් ඒ කාලෙ මගෙ දිහා බලපු විදියටම පොඩි වෙලාවක් බලන් හිටියා.
” අ…. මේ… ඇයි නැන්දේ මොකක්හරි ප්රශ්නයක්ද..? “
” නෑ නෑ… පුතා ගෝලයෙක් කීවම මට පුදුම හිතුණා. මම හිතුවෙම අනුලා නංගිගෙ නෑදෑ වෙන ළමයෙක් කියලා. පුතාගෙ හැඩරුවත් හරියට අසේල පුතා වගේමයි. “
” කවුද නැන්දෙ අසේල කියන්නෙ ? ” කුතහලේ වැඩිකමට මම පෙරලා ඇහුවා.
” පුතාලා දන්නෙ නැතුව ඇති. අසේල කියන්නෙ අනුලා නංගිගෙ පුතා. දරුවෙක්ට කියලා හිටියෙ එච්චරයි. මේ හැඩරුවමයි. අනික බළල් ඇස්මයි ඒ ළමයට තිබ්බෙත්. ඇහි බැමි දෙකත් ඔය විදියටම එකට මූට්ටු වෙලා තිබ්බෙ. ඒ නිසා මං හිතුවෙම මේ ළමයා ඥාතියෙක් කියලා. “
” කෝ දැන් අසේල…? ” එහෙම ඇහුවෙ චාමර.
” අනේ පුතේ…. වයස අවුරුදු දාහතේදි තමා අසේල පුතා නැතිවුණේ. ට්රක් එකකට යට වුණානෙ. අනුලා නංගිට සෑහෙන්න බලපෑවා පුතාගෙ මරණෙ. ඒ සිද්ධ්යෙන් පස්සෙ වැඩිය කතා බහක් තිබ්බෙ නෑ කා එක්කවත්. මූණෙ හිනාවක් තිබ්බෙත් බොහොම කලාතුරකින් තමා. හැබැයි ඔය ඈත ඉස්කෝලෙක මාසා ගාණක් වැඩ කළානෙ. ඒ කාලෙනම් පොඩ්ඩක් සන්තෝසෙන් හිටියා. හේතුවක් දන්නෙ නෑ අපි. අනේ ඉතිං දරු දුකෙන් විඳවලා විඳවලා අන්තිමට අසනීපෙනුත් විඳවලා ඒ ගෑණි මැරිලා ගියා. හ්ම්…. “
එක නිමේෂයකදි ඒ ඇහුණ වචන ටිකෙන් මගෙ හිත ඇතුළෙ කාලෙක ඉඳන් ගොඩනැගිලා තිබුණ මනෝ ලෝකයක් එකපාරටම කැඩිලා බිඳිලා සුන් වෙලා ගියා. ඒත් එක්කම මං ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා. අනුලා මිස් ගැන ඒ කාලෙ මගෙ හිතේ තිබුණ අප්රසන්න බව මට මං ගැනම ඇතිවුණා. මම මොනතරම් පටු විදියටද හිතුවෙ. අම්මා කෙනෙක් වගේ මනුස්සයෙක්ගෙ හැඟීම් තමයි මම වැරදියට තේරුම් ගත්තෙ. මගෙ ඇස්වලින් කඳුළු එන එක නවත්තන්න බැරිවුණා. අඬන්නෙ ඇයි ඇහුවම මම චාමර එක්ක සම්පූර්ණ කතාවම කිව්වා. ඒත් එහෙම කිව්වයි කියලා මගෙ හිතේ තිබුණ දුක තුනීවුණේ නෑ. පසුතැවීම අඩු වුණේ නෑ.
කවදාහරි ආයෙම අනුලා මිස්ගෙ මුණ බලාගෙන ” මිස් මම පොල් ටොෆි කන්න ආසයි. ” කියලා කිව්ව දාකට , මිස්ගෙ ඇස් දෙක ඉස්සරහම එදා කාණුවට විසිකරපු වැලිතලප කෑල්ල ආපහු අහුලන් රස කර කර කන්න පුළුවන් වුණ දවසක මගෙ හිතේ තියෙන පසුතැවීම නැතිවෙලා යයි.
නිමි.
උපුටා ගැනීම: Dinesh Madhushan