වතුර මල යටින් එළියට ආපු අනුරුද්ධ මේ දවස්වල හැමෝගේම හිතේ රැඳුන සිංදුවක් තාලයට මුමුණන ගමන් ඔලුව පිහිදාගන්න ගන්නවා.
නාන කාමරේ කණ්ණාඩිය වැහෙන්නම මීදුමක් තිබුනෙ උණු වතුරෙන් නාගත්ත නිසාවෙන්.
ටික වෙලාවකට කලින් ගිනිගන්නම ගිය ඇඟට හරිනං වැටෙන්න ඕනේ හීතල වතුර ටිකක් උනාට අනුරුද්ධ නාගත්තෙ උණුවතුරෙන්.
ඔලුව පිහිදගෙන එළියට බහිද්දි කේතලේ ඕෆ් වෙලා විහංගා කෝප්ප හෝදලා තේ හදන්නත් පටන් අරං.
“තේද කෝපිද, කෝපිද තේද ?”
විහංගා දෙපැත්තට ඔලුව වනවනා තාලෙට අහද්දි උරිස්සේ ගෑවෙන කැරළි කොණ්ඩේ ඒ ඒ පැත්තට ඒ තාලෙටම පැද්දෙනවා.
“කෝපි දාලා තේ එකක්.”
අනුරුද්ධගේ තේරීම් කොහොමත් අමුතු විත්තිය දන්න විහංගා කෝපි දාලා තේ හදන්න ගන්නවා.
ඇඳ විට්ටමට හේත්තු වෙලා සිගරට් එකක් පත්තු කරගන්න අනුරුද්ධ තේ හදන විහංගා දිහා බලාගෙන දුං වළලු පා කරන්න ගන්නවා.
“දුඹුරු සීනිද? සුදු සීනිද?”
ආයෙම විහංගගේ කොන්ඩෙ නැටුම් නටනවා.
” ඕනෙ එකක් විහා..කොයි සීනිත් අන්තිමේ එකම රහනේ.”
ජීවිතෙත් ඒ වගේමද මන්දා අනුරුද්ධට හිතෙනවා.හැමෝම එක එක පාරවල්වල දුවන්නෙ අන්තිමේ ජීවිතේ සැනසිල්ලක් බලාගෙන.ඒත් මොන සීනි දැම්මත් තේක බොන්න පුළුවන් උනාට කොයි පාරක දිව්වත් ජීවිතේ ඒ හොයන සැනසිල්ල හම්බෙනවද කියලා අනුරුද්ධ කල්පනා කරනවා.
ඒ වෙද්දි අනුරුද්ධලා පාරවල් කීයක නං දුවලද?ඉස්කෝලෙ යන කාලෙ විභාග පාස් වෙන්න දුවලා.ඊට පස්සෙ රස්සා හොයන්න දුවලා.රස්සාවල පඩියෙන් පඩිය උඩ නගින්න දුවලා, කසාද බැඳලා, ගෙවල් හදලා,ළමයි හදලා, වාහන අරගෙන.ඒත් මේ ඔක්කොම අස්සෙ තමන්ට මේ වගේ තත්පර දෙක තුනක්වත් විඳින්න නිදහසක් නැති කොට ඇත්තටම ඒ දුවන එකේ තේරුමක් තියෙනවද කියලා හිතලා අනුරුද්ධ හතිවැටෙන්න අරගෙන දැන් ටික කාලයක්.
අද මේ ඩිංගක් නිදහසේ ඉන්නත් හිතුවෙ ඒක නිසාමනේ.අනුරුද්ධ දුම් වළලු මැද්දෙන් බර හුස්මක් අත අරිනවා.
“ඔය දුං කෝච්චිය පැත්තක තියලා තේක බොන්න.”
විහංගා තේ කෝප්පෙ ඇඳ ළඟ තියන පොඩි කනප්පුව උඩින් තියලා එයාගෙ තේ එකත් අරං වේවැල් පුටුවෙ හරි බරි ගැහෙනවා.
කලින් ගිනිගත්ත වෙලාවෙ විසි වෙච්ච ගිනි පුපුරු පාරක් දෙකක් විහංගාගෙ බෙල්ල දිහාවෙ ලාවට දිලිසෙනවා පේනවා.
තේක බොන ගමන් විහංගා ෆෝන් එක දිග ඇරගන්නවා.අනුරුද්ධට ෆෝන් එක මතක් වෙන්නෙ එතකොට.කාර් එකේ වෙන්න ඇති.
සිගරට් එක නිවලා දාලා අනුරුද්ධ තේක බොන්න පටන් ගන්නවා.
විහංගගේ ෆෝන් එක සින්දු කියන්න ගන්නෙ ඒ අස්සෙ.
“හායි විශාකා.නෑ කෙල්ල…බිසී නෑ බං.අද ලීව් එකක් ගත්තා. මොකෝ අපිව මතක් උනේ.”
තමන්ගේ නොවෙන කතා බහ අහගෙන ඉන්න ඕනෙ නැති නිසා අනුරුද්ධ ටීවී රිමෝට් එක අතට ගන්නවා.
විහංගාගෙ කතාව අස්සෙ ලොකු වෙන ඇස්, උල් වෙන කට, රැළිවෙන නළල දිහා නොබලාම අනුරුද්ධගේ තේ එක හෙමිහිට ඉවරයක් වෙනවා.විහංගාගේ තේක නිවෙයි කියලා කියන්න දෙතුන් සැරයක් හිතුවත් විහංගා ඉන්නෙ හොඳ රස කතාවක ඇතුළට බැහැලා.
ටීවී එකේ යන්නෙ අනුරුද්ධ පොඩි කාලෙ කැමතිම ටීවී සීරිස් එකක්.කතාව ඉවර වෙලා ක්‍රෙඩිට්ස් වැටෙන වෙලාව වෙද්දි විහංගාගෙ කතාව යන්තං ඉවරයි.
” තේක නිවිලනේ.”
විහංගාව අත් දෙක මැද්දට එකතු කරගන්න ගමන් අනුරුද්ධ අහනවා.
“විශාකානෙ කතාකලේ .මොකක් හරි දඩ ඕපයක් හොයාගෙන තමයි ඉතින්.”
“ඔයාත් ඉතින් හූමිටි තිය තිය අහං හිටියා මිසක් එපා කිව්වෙ නෑනේ.”
“ඒවා ඉන්ටරෙස්ටිං නේ අනේ.”
විහංගා අනුරුද්ධගෙ නහයෙන් අල්ලගෙන දෙපැත්තට හොලවන ගමන් තාලෙට කියනවා.
කසාද බැඳපු ගෑනියෙක් උනාට විහංගගේ ඔය සෙල්ලක්කාර ගතිනං කවදාවත් අඩු වෙන් එකක් නෑ.ඒකනේ ඉතින් මමත් කැමති.කැරලි කොන්ඩෙ තැවරිච්ච අපූරු සුවඳ දිගේ නහය දුවවන ගමන් අනුරුද්ධ කල්පනා කරනවා.
“ඔයාට මං කිව්වනේ අර අපේ ඔෆිස් එකට ආපු නිශා?”
“ම්හු…මතක නෑ..”
“ඇයි අර මම ඔයාට පෙන්නුවේ ගිය සතියෙ දවසක ලන්ච්වලට ගිහින් එද්දි.අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු ගර්ල්?”
“හ්ම්.”
“අපේ බොසාගෙ කැබින් එකේ ඉඳලා බොස්ගෙ වයිෆ්ට අතටම මාට්ටු වෙලා.හොඳ වැඩේ.”
කොණ්ඩ කැරලි පස්සෙන් එළවන එක නතර කරලා අනුරුද්ධ විහංගාගෙ ඇස්වලට එබෙනවා.
” ඇයි හොඳ වැඩේ කියන්නෙ.ඒක පර්සනල් දෙයක් නේ?”
“පර්සනල්? අනේ නිකං ඉන්න අනුරුද්ධ.ඒ ගෑණි ඔෆිස් එකේ ඉන්නෙ නිකං හරියට දහයට ගැනගන්න බැරි පත්තිනි අම්මා මෝඩ් එකෙන්.ඒත් අපි දන්නවනේ ඔය ටයිප් උන්ගෙ හැටි.නියම වැඩේ අපේ බොසාටත්.”
තරහ ගිය වෙලාවට විහංගගේ ඇස් හීනි වෙන හැටි හරි අපුලයි කියලා කලින් තමන් නොදැක්කෙ ඇයි කියලා අනුරුද්ධ කල්පනා කරනවා.
“මිනිස්සුන්ගෙ ජීවිතවලට ඇඟිලි දික් කරන්න අපි කවුද විහංගා.අපිට බෑනේ අනිත් මිනිහගෙ කතාව නොදැන ජජ් කරන්න.”
විහංගාගෙ කෙහෙරැලි අතෑරලා අනුරුද්ධ ඇඳ විට්ටමට හේත්තු වෙනවා.
” අනේ මේ ඒපාර ඔයත් එනවද ඒ සක්කරවට්ටම සුද්ධ කරන්න? සීරියස්ලි පිරිමි ජාතිය නං ඔක්කොම එකයි.අර අපේ ඔෆිස් එකේ එවුන් ටිකත් ඉන්නෙම අනී එයා එහෙම නෑනී ගාගෙන.දැන් ඔය බඩුත් එක්කම අහු වෙලා තියෙන්නෙ.”
මූණ රතු කරගෙන කෑ ගහන විහංගා දිහා අනුරුද්ධ බලාගෙන ඉන්නෙ කවදාවත් නොදැක්ක අමුතු සතෙක් දිහා බලාගෙන ඉන්න ගානට.ඇත්තටම මේ මනුස්සයා ගැන තමන්ගෙ හිතේ කැමැත්තක් ඇති උනේ කොහොමද ?
කතාවක් නැතිවම අනුරුද්ධ ලැහැස්ති වෙන්න ගන්නවා.
“මොකද්ද ඔය කරන්නෙ දැන්?”
විහංගා කෑ ගහන්නෙ තවත් හයියෙන්.
“හෙලෝ..රූම් නම්බර් ෆෝට්‍රි ත්‍රී.අපි කලින් චෙක් අවුට් වෙනවා.බිල් එක ලෑස්ති කරන්න.”
අනුරුද්ධ රිසීවර් එක තියද්දි විහංගාගෙ තේ කෝප්පෙ සෑහෙන වේගෙකින් පොළව බදාගන්නවා.
“එනවනං එන්න මං ඔයාව ගෙදරට ඩ්‍රොප් කරන්නං.”
වාහනේට ගොඩ වෙලා ෆෝන් එක අතට ගනිද්දි අනුරුද්ධට තියෙන්නෙ එක මඟ ඇරුණ ඇමතුමක් විතරයි.
” මං ආපු වැඩේ කලින් ඉවර වුනා සුලාරි, දැන් පිටත් වෙනවා.රෑ වෙන්න කළින් ගෙදර එන්නං.”
ඉගිලෙන ලියමන්
උපුටා ගැනීම:Sanduni Sudarshana Perera