මේක අපේ ගෙදර කතාවක් ඒ කියන්නේ.මගේ පොඩි කාලේ කතාවක්.
පුංචි කාලේ.ඒ කියන්නේ ඉස්කෝලේ එකේ ,දෙකේ පන්ති වල ඉන්න කාලෙ ඉඳලා මට තිබුනා අතට අහුවෙච්ච පොත් පත්තර කියවන පුරුද්දක්.
ඒ කාලේ ඉතින් දැන් වගේ එක ශ්රේණියේ ලමයට චූටි බබා එක,
දෙක ශ්රේණියේ ලමයට චූටි බබා දෙක.කිය කිය පත්තර තිබුනේ නෑ නේ.
ඉස්කෝලේ ට බාර දුන්න දවසේ ඉඳලා ම අම්මා ගෙනත් දුන්නේ
මිහිර පත්තරේ විතරයි.තව ඉතින් අම්මා ගෙ හැම පඩි දවසකම ගෙනත් දීලා එකතු වෙච්චි මහ කතන්දර පොත් ගොඩකුත් තිබුනා.
කොහොම හරි දැන් ලමයි කියවන්න ඉගෙන ගන්න වයසේදි.මට හොඳටම අකුරු කියවන්න හැකියාව තිබුනා.ඉතින් තේරුම්ගන්න බැරි උනත් අතට අහුවෙන අකුරු තියෙන ඕනෙම පොතක් පත්තර කෑල්ලක් කියවන්න මම පුරුදු වෙලා හිටියා.
ගෙදර ට කරවල ඔතාගෙන ආව පත්තර කොලේ පවා අක්කා ගෙ පොත් මේසේ උඩ තියාගෙන කියවලා ටොකුත් කාලා තියෙනවා ඉතින්
ඔය කාලේ අපේ අක්කා.අම්මට හොරෙන් පාඩම් පොත් අස්සේ හංගගෙන නවල්ස් කියවන කාලේ.
ඇඳේ වාඩි වෙලා කොට්ටයක් උකුල උඩ තියාගෙන.ඒක උඩ කතා පොත තියාගෙන.ලස්සනට කියවන හැටිත් අම්මා එනකොට ඩෝං ගාලා පාඩම් පොත ඒකට උඩට ගන්න හැටිත් මැවිලා පේනවා
අම්මා ඉතින් හිතාගෙන හිටියේ.ලොකු දුව නිදි මරාගෙන පාඩම් කරනවා කියලා
කොහොම හරි ඉතින් ඒ දවස්වල මටත් ආසයි මෙයා මේ හංගගෙන කියවන පොත් මොනවද කියල බලන්න
ඒත් ඉතින් එයා කවදාවත් ඕවා මට අහුවෙන තැන් වල තිබ්බෙ නෑ.එයා වැඩියෙන් ම උනන්දු උනේ.අම්මා ට අහුවෙනවට වඩා ඒ පොත් මට අහු නොවි තියන්න.
ඒ දවස්වල අපේ ගෙදර පොතක් තිබුනා.මම ඒ දවස්වල හිතාගෙන හිටියේ ඒක මහ භයානක පොතක් කියලා.
බැරි වෙලාවත් මම ඔය පොත අතට ගත්තොත් අපේ අක්කා කොහෙන් හරි මතු වෙලා.
මෙහෙ දෙනවා ඕක,ඔයාට කියවන්න හොඳ පොතක් නෙවෙයි,කියලා උදුරා ගන්න වා .ඉතින් මම හිතුවේම ඒක භයානක කතා තියෙන එකක් කියලා
අක්කා ඉතින් දවස ගානේ ඔය පොත තියෙන තැන වෙනස් කරනවා.අද අල්මාරිය ඇතුළේ නම්හෙට අල්මාරිය උඩඅනිද්දා රෙදි ගොඩක් යට…නැත්නම් මෙට්ටයක් යට,ඔය වගේ
පොතට නිතරම ස්ථාන මාරු ලැබුනා.
හැබැයි ගෙදර කවුරුත් නැති වෙලාවට මට තිබුන එකම රාජකාරියි.
මේ භයානක පොත සෙවීම .
අක්කා ගෙදර නැති හැම වෙලේම මම පොත සෙවීමේ මෙහෙයුම දියත් කලා.
එයා ඕක කොහේ හැංගුවත් මම කොහොම හරි හොයාගෙන කියෙව්වා.හැබැයි ඉතින් කියන්න සන්තෝසයි.ඒකේ තිබුන මෙලෝ මල දානයක් මට තේරුනේ නෑ.අකුරු විතරයි.
අපරාදේ ඉතින් අක්කා ගෙ මහන්සිය.
මම හොරෙන් කියවලා ආයෙත් එයා තියපු තැන ම තියලා නොකර සද්ද ඉන්න වා.
ඊට සෑහෙන කාලෙකට පස්සේ මම ඒ පොත කියවලා බලද්දි ඉතින්. ඒක ලස්සන කතාවක් කියලා මට තේරුනා.
නිරූපිකාවකගේ ජීවිත කතාව.
හරිම ලස්සනයි.
පොතේ අන්තර්ගතය හොඳටම තේරෙන වයසට ආවට පස්සේ ඒක කියවනකොට මම කල්පනා කලේ අපේ අක්කා මේ පොත කොට්ට අස්සෙයි මෙට්ට අස්සෙයි හංගන්න දැඟලුවේ මොන කෙහෙල්මලක් නිසා ද කියලා.
ඒක ඒ හැටි භයානක කතාවක් නෙවෙයි මට නම්.
එයාට බය හිතුනද දන්නේ නෑ.
ඒක කියවලා මම නරක් වෙයි කියලා.
කොහොම උනත් දැන් ඒ පොත තියෙන්නේ මගේ ලඟ.
ඒත් මම ඒක හංගලා නෑ.
මොකද අපේ ලමයි පොත් කියෙව්වට මං වගේ මෙලෝ විචාරයක් නැතුව පොත් කියවන අය නෙවෙයි.
එයාලට ඉතින් කතාව මොනවා උනත්.පොතේ කවරේ ලස්සන ට තියෙන්න ඕනේ.පොත අලුත් වෙන්න ඕනේ.පරන පොත් කියවන්නෙ නෑ.
ඒ නිසා මම බය නැතුව පොත හංගන්නෙ නැතුව තියලා තියෙනවා.
අද හදිසියේ පොත අතට අහු උන නිසා ඉතින් මේ කතාව ලියන්න හිතුනා.
පුරඟන