ඇද අසල කබඩය මත තබා තබා තිබූ දුරකථනය කම්පනය වන හඩට ගැස්සී ඇදෙන් නැගුණු සදුනිට තමන් සිටින්නේ නින්දට යන විට සිටියාටද වඩා වෙහෙසකින් බව පළමුව සිතිණි. නින්දත් නොනින්දත් අතර විප්රකාර සිහින දකිමින් ගෙවන මේ කාලය අවදි වී හඩ හඩා සිටින්නාටද වඩා වදයකි. ඇය මේ උදෑසන නිදාගත්තේ රැයෙහි එක් පැයක්වත් හරිහැටි නින්ද නොගිය නිසාය. සිතේද කුසේද ඇවිලෙන ගින්න අදුර වැටුණු වහා ඇගේ මනසේ වියවුල් මවමින් ඇය රැය පුරා අවදි කර තබයි.
ඇය දුරකථනය අතට ගත්තේ ඒ කපිල යැයි සිතාය. තමන් හොදින් දැයි බැලීමට පැයකට වරක්වත් කාර්යාලයේ සිට කතා කිරීම ඔහුගේ පුරුද්දය. තමන් කුමක් හෝ මෝඩ කමක් කරගනීදෝයි ඔහු බය ඇති බව ඇය සිතුවේ දුකිණි. සැබැවින්ම මේ මානසික වදය විදිමින් ඇය ජීවිතය තවත් තබාගන්නේ ඔහුට හා මව්පියන්ට දුකක් නොදිය යුතු නිසාමය.
දහසක් බලාපොරොත්තු තබාගෙන මෙවර ගෙවූ දෙමාසයද අවසන් වූයේ දින කිහිපයකට පෙර නාන කාමරයේ කොමෝඩයේ පුරුදු රතු ගුලියක් දැකීමෙනි. පිළියන්දළ වෙද නෝනාගේ උපදෙස් අකුරට පිළිපැද, අපත්ය ආහාරවලින් වැළකී කසාය බොමින් වසරක් පමණ ගත කළ බැවින්ද පිළී ආහාරවලින් වැළකී බෝධි පුජා ආදිය සති පතා තබමින් පේවී සිටි බැවින්ද මෙවර තම සිහිනය සැබෑ වන බවට ඇයට සැකයක් තිබුණේ නැත. නමුත් දෛවය මෙවරත් ඇයට සිනා වී තිබේ.
ලොව ඇතැම් ගැහැණුන්ට විසි කරන්නටද දරුවන් දෙන දෛවය තම කුසට එන කිරි කැටියෙකුට රැදෙන්නට දෙන්නේ නැත.
රැකියාවක, පවුලක ගැටළුවක් නම් ඒවායින් ඈත් වී වෙන රටකට හෝ නුවරකට ගොස් සැනසීම සොයාගන්නට තිබිණි. තම සිරුරෙහිම ඇති ගැටළුවක් බැවින් ඇයට යන්නට තැනක් නැත.
දුරකථන මුහුණතෙහි සටහන් වූයේ ඇගේ පාසල් මිතුරියක වූ පබෝධාගේ නමය. සදුනිලාට වඩා කලින් විවාහ වූ පබෝගේ ලොකු දුව දැන් පෙර පාසල් යයි. දග මල්ලක වැනි පොඩි පුතකුද ඇයට සිටියි.
කාටවත් කතා කරන්නට සිත නොදුන්නද කාර්යබහුල පබෝ හේතුවක් නැතුව කතා නොකරන බව සදුනි දනී. විවහ වී වසර සයක් ගියත් දරුවන් නැත්තේ ඇයිදැයි තමන්ගෙන් නෑසු සුළුතරයෙන් කෙනෙකි පබෝ. ඒ ගුණයට සැළකිය යුතු බැවින් ඇය දුරකථනය ගෙන බර හඩින් “හෙලෝ” කීවාය.
“අනේ සදූ උඹ ගෙදරද මම ලොකු උදව්වක් ඉල්ලන්න කතා කළේ. උඹ ගාව තද නිල් පාට සාරියක් ගන්න තියේවිද මට එක දවසකට?”
“ම්ම්ම් නිල් පාට දෙක තුනක් තිබුණා පබෝ මගේ කළින් ඔෆිස් එකේ නිල්මනේ අපි ඇන්දේ. උඹට හරියන එකක් තියෙයි. මගේ හැට්ටත් ඇති වෙයිනේ උඹට”
“අනේ එහෙනම් මම අද එන්නද සදූ? කෙල්ලගේ කොන්සර්ට් එක ලබන සෙනසුරාදා. ඊයෙ ටීචර් නෝට් එකක් එවලා අම්මලා හැමෝම තද නිල් ඇදලා එන්න කියලා. කොහොමද බං ඔහොම හදිස්සියේ කරගන්නේ?”
“හරි හරි වරෙන්කො. මේ තියන ඒවයින් ෂේප් කරගන්න පුලුවන් වෙයි.”
පාසලෙන් ඉවත් වූ කාලයේ සාරි වැඩ දැමීම සදුනි උමතුවකින් මෙන් කළ දෙයකි. නෑදෑ හිත මිතුරු බොහෝ දෙනෙකුට ඇය සාරි වැඩ දමා දුන්නේ වැය වන වියදම පමණක් ගෙනය. ඒ නිසා ඕනෑම වර්ණයක රෙදි කැබලි, තනි පාට සාරි, විවිධ වර්ණයේ පබලු, කෝඩ් පටි ආදිය සොයාගැනීමට බොහෝ මිතුරියන් තමවත් ඇයට කතා කරන්නේ පරණ පුරුද්දටය. ජීවිතය නීරස වූ කාලයේ ඒ සියළු කාර්යයන් අත් හැර දැමූ මුත් ඒ ගෙනා අඩුම කුඩුම තවමත් අමතර කාමරයේ කබඩයේ තිබේ.
පිළිවෙළ ගෙයි නූලක් වත් ඇද නොමැති බැවින් සදුනිට මිතුරිය පිළිගැනීමට ගේ අස් කිරීමට සිදුවූයේ නැත. මේ දිනවල රැය නිදි නොමැති බැවින් ඇයට පාන්දර නැගිට කපිලට දහවල් ආහාරය වත් සූදානම් කරදීමට පණක් නැති බැවින් දහවලට උයා තිබුනේ නැත ඇය වහ වහා බතක් හා මාලු පිණී සූදානම් කළේ පබෝට කටට රසට කන්නට වත් ලැබෙන්නේ දැයි සැක සහිත බැවිනි.
හිතුමනාපයට නොගැළපෙන පවුලක රස්තියාදුකාරයකු වූ උපුල් බැදගත් පබෝ විදින්නේ ලෙහෙසි පහසු කරදර නොවන බව මිතුරියන් අතර ප්රකට කරුණකි.
—————————————–
පැය දෙකකට පමණ පසු පැන්ට්රියේ වාඩිවී කේක් කා තේ බොමින් සිටින පබෝදා දෙස සදුනි බලා සිටියේ කම්පාවෙනි. ඇගේ කෙස් තුනී වී සමද ඇදීගොස් ඇති සෙයකි. තරුණ වියේ දුටුවන් නෙත් ඇදගන්නා රූමතියක වූ පබෝ දැන් ඇට ගැසී ඇත්තේ ජීවිතයේ දුක් ගැහැට හමුවේ විය යුතුය.
උපුල් කිසිදු රැකියාවක් එක දිගට නොකිරීමත් ඔහුගේ හෝ ඇයගේ පවුල් දෙකෙන්ම කිසිදු සහයක් නොලැබීමත් නිසා පබෝදා ඉන්නේ දැඩි සිත් තැවුලෙනි.
‘මගෙම මෝඩකම තමයි බං. හරියට ඉගනගැනිල්ල කළේ නෑ, හරියට රස්සාවක් කළේ නෑ, මගුල කරගන්නයි ළමයි හදාගන්නයි හදිසි උනා. දැන් ඉතින් මායි ළමයිනුයි ඔක්කොම විදවනවා ඒකෙන්.”
“ එහෙම හිතන්න එපා බං. බැදලා නොහිටියානම් හරිළමයි නොහිටියා නම් හරි උඹ ඔහොම කියන එකක් නෑ”
“සදූ, මං උඹට දෙයක් කියන්නද? උඹ මගේ සහෝදරියක් වගේ. මම කියන ඒවට උඹට දුක හිතුණත් මම කියන්නේ හිත රිද්දන්න නෙවෙයි කියලා උඹ දන්නවනේ”
“කියපං, උඹ කියන ඒවට රිදෙන්නෑ බං. මේ වෙනකොට තමන්ගේ එවුන්, පිට එවුන් ඔක්කොම මට රිදෙන්න පුලුවන් ඔක්කොම කතා කියලා තියෙන්නේ”
“සදූ, උඹට අද හිතෙනවා ඇති ළමයෙක් නැති එක තමයි ලෝකෙ තියෙන ලොකු ම ප්රශ්නෙ. ළමයෙක් හිටියා නං අනිත්වා කෝකත් ඉවසතෑකි කියලා. එහෙම නෑ බං. ළමයෙක්ට ලෙඩ වෙලා අඩනකොට, උන්ට හොද තැනකින් බේත් අරන් දෙන්න බැරි උනාම, උන් උණෙන් වෙව්ලද්දි බයිසිකලේ හුළං වැදි වැදී අරන් යනකොට, හොද කෑමක් ඉල්ලද්දි අරන් දෙන්න බැරි උනාම, උන් අපේම අයගේ හරි අතපල්ලෙන් වැටෙනවා බලන එක තමයි අමාරුම. මට ඇත්තටම වෙලාවකට හිතෙනවා මොකට මම දුර දිග නොබලා මේ නරාවලට මේ පොඩි එවුන් ගෙනාවද කියලා” පබෝගේ කටහඩ බිදුණේ ඒ වැකියත් සමගය. සදුනිගේ සිතේ මැවුණේ පබෝගේ මුහුණු පොතේ ප්රොෆයිලගේ ඉන්නා කිරි කැටියන් දෙදෙනාගේ හුරතල් මුහුණු පොඩි දෙකය.
“බදින උන්ගෙන් දහයෙන් නමයකටම බබාල හම්බෙනවා බං. උඹටත් අනිවාර්යෙන් ඉක්මනටම ලැබෙයි. එතකං ඒ ගැනම දුක් වෙවී ඉන්න එපා. කවදහරි බබා හම්බුණාම පුතේ මං ඔයා එනකං මේකයි කලේ කියලා පෙන්නන්න දෙයක් හදලා තියාගනිං. අනේ පුතේ ඔයා එනකම්ම මං අඩ අඩා හිටියා කියන්න තියාගන්න එපා. ඒ හැම සතේම, තනියෙම ඉන්න කාලේ ගෙවෙන හැම තත්පරේම වටිනාකම උඹට තේරෙයි ළමයෙක් ඉන්න කාලෙක. මාවම බලපංකෝ. පොඩි එකාට එකහමාරෙ ඉන්ජෙක්ෂන් එක ගහන්න සල්ලි නෑ, කෙල්ලගේ කොන්සර්ට් එකට සල්ලි දුන්නේ උපුල්ගේ අයියාගෙන් ඉල්ලගෙන. ඒත් මට තාම රස්සාවක් කරනවා තියා ටොයිලට් එකට වත් ඕනි වෙලාවට යන්න බෑ පොඩ්ඩා නිසා. අද යන්තම් අම්මා ආව නිසා මම මෙහෙම වත් එළියට පැනගත්තේ. උඹට කොච්චර දේවල් පුලුවන්ද බං. එක එකා කියන කතා අහ අහ රස්සාවට යන්න බෑ කියලනේ උඹ නැවතුණේ . එහෙමනම් ගෙදර ඉදන් හරි මොකක් හරි කරපං. උඹ ඔය ගැනම හිත හිතා ඉන්නැතුව හිතත් නිදහස් වෙනකොට දෙයියනේ කියලා ඔක්කොම ප්රශ්න විසදෙයි.”
කෙල්ල පෙර පාසලෙන් ගන්නා වෙලාව අල්ලා පබෝ එළියට බැස්සේ සාරියක්ද, පොඩි උන්ට කියා සදුනි දුන් බොහෝ දෑ පිරුණු බර මල්ලක්ද ඔසවාගෙනය. ඇය ඈත වංගුවෙන් නොපෙනී යන්නට පෙර හැරී බලා අත වනන තුරුම සදුනි පොඩි දැරියක මෙන් දොරකඩට වී බලා උන්නාය. ඇය දින කිහිපයක් තිස්සේ අඹ කොළ වැටී හැඩිවී තිබූ මිදුල අතුගාන්නට ගත්තේ ඉන්පසුවය.
——————————————————————
බ්රහස්පතින්දා තුනට පමණ ඇනෙක්සිය පැත්තේ පොඩි ගේට්ටුව ඇරෙනු ඇසුණු පෙරේරා නෝනා ජනේලයෙන් එබී බැලුවාය. තමන් නැති වේලාවට සදුනි ගැන ටිකක් බලන්නැයි කපිල ඇයට හොර රහසේ කියා ඇත්තේ බොහෝ කලකට පෙරය. ඒ නිසා ඇය වහා එළියට ගියාය. කොහොමත් පැය දෙක තුනක් ඇනෙක්සියෙන් සද්දයක් නැත්නම් බිස්කට් දෙකක් හෝ පීරිසියක තබා ගෙන ගොස් සදුනිට කතා කර හොදින් ඉන්නේ දැයි බැලීම පෙරේරා නෝනාගේ පුරුද්දකි.
“දුව බඩු ගේන්න යන්නද?”
“ඔව් ඇන්ටි, කොටුවට ටිකක් යනවා පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. ඇන්ටිට මොනවහරි ගේන්න තියේද?”
“අනේ නෑ දුව, පරිස්සමින් ගිහින් එන්න එහෙනම්. කොටුවේ යද්දි පර්ස් එහෙම බලාගෙන”
————————————————————————–
එදා රෑ කපිල නිවසට එන විට කෑම මේසය මත තද නිල් සිල්ක් රෙද්දක් එළා තිබිණි. ඒ මත ඇදි මෝස්තරයක ෆැබ්රික් ග්ලූ තිත් තබමින් සදුනි සීරුවෙන් පබළු එකින් එක ගෙන ඒ මත අලවයි. සදුනිගේ හැඩුම්ද දුකද අසා ඇගේ සිත සැනසීමට යමක් කියන්නට සැරසී නිවසට එන ඔහු මෙවැනි සිත සනසන දසුනක් දුටුවේ බොහෝ කලකිනි.
“ෂහ්, අද ගෙනාපුවද? මරුනේ”
“හොදයිද? අපේ පබෝගේ දුවගේ කොන්සර්ට් එකට සාරියක් ඉල්ලගන්න ආවනේ පෙරේදා. මම තිබුණු පරණ එකක් දීලා යැව්වා. ඒත් මගේ හිතට හරි නෑ වගේ . මේ සාරියට මොණර පිළ් ඩිසයින් එක දාලා හදලා දෙනවා. පබෝ සුදු නිසා නිළිය වගේ ඉදී.”
“හ්ම් හ්ම්. මේ අනිත් ඒවා ගොඩක් ගෙනාවේ මොකටද?”
“මම ආයෙ සාරි වර්ක් කරන්න හිතුවේ. මම කළින් කරපු සාරි ටිකක ෆොටෝ පෙන්නුවාම කොටුවේ තැන් දෙකකින්ම සාම්පල් ගේන්න කිව්වා. එතකොට අපේ දුව ලොකු වෙනකොට එයටෙ සාරි බිස්නස් එකකුත් තියනවානේ” සදුනි සිනාවෙමින් කිව්වද කපිලගේ සිනහවේ එළිය මදක් අඩුවූ බව හැරී බැලූ ඇයට පෙනුණි.
“මම විහිළුවට කිව්වෙ සුදූ. දුවෙක් හම්බුණොත් එහෙමයි. නැත්නම් මම දරුවෙක් වගේ සාරි බිස්නස් එකක් හරි බලාගන්නවා. ඔයා දුක්වෙන්න එපා.”
උපුටා ගැනීම: පවිත්රා අභයවර්ධන