අපේක්ෂාවේ කතා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොළොම්පුරයට ඇඳිරියේ නීතිය වැටිලා ය.
කොළොම්පුරයට ඇඳිරිය වැටුනාට අපේක්ෂාවට නිවනක් නැති ය.අපේක්ෂාවට යන එන්නන්ට ඇඳිරිනීතිය අස්සේ ඉසිඹු ගන්නට පිළිකා හෙවනැලි ඉඩ දෙන්නේ නැතිය.
ඒත් වෙනදාට වඩා සායනවල ඔළු ගෙඩි ගණන අඩු ය.වෙනදා තරමටම කොරිඩෝවල පාවෙන ජීවිත අඩු ය.
සායනය අහවර වී වාට්ටුවට යන්නට එන මට බඩගිනි ය.තෙහෙට්ටු ය.
සැරත් නැති සැර නැත්තේ මත් නැති අවු රැල්ල පිට මැදට වැටෙද්දී මම වාට්ටුව පැත්තට හැරෙන්නේ සුපුරුදු පරිදි ජංගමයාට එබී ගෙනම ය.
“කෝ ඕක මට දෙන්නකෝ.”
පොඩ්ඩෙක් ගේ තදබල ඇවිටිල්ලක් ය.
සීමාවාසිකය පොඩ්ඩන්ගේ වාට්ටුවේ ගත කිරීමෙන් ලැබූ මතක පිළිකා රෝහලේ ළමා වාට්ටු පැත්තෙන් මා හැකිතරම් ඈත් කර තබනවා ය.පේරාදෙණියේ වකුගඩු රෝග වාට්ටුවේ වාගේම අපේක්ෂාවේත් ඉන්නා පොඩිත්තන් බොහොමයක් වැඩිහිටි අපට වඩා ජීවිතේ අත්දැකීමෙන්ම දැක බලා ගත් උදවිය ය.
උන්දැලාට මොනවා හරි ඕනෑ වුනාම වැඩිහිටි අපිට උන්දැලා එක්කලා ඔට්ටු වෙනවා බොරු ය.
“ඔයාට ඕක ගෙනියන්න බෑ.”
“මේ ගෙනියන්නේ .මට පුළුවන් “
අම්මා ගේ තඩි බෑගය කරේ එල්ලාගෙන විකිරණ ඒකකය පැත්තේ හිට පාර දිහාටඋඩ පැන පැන යන්නේ පාට කලිසම කමිසය නොතිබුනානම් පොඩි හාමුදුරු පැටියෙක් යැයි හිතෙනා බෝල හිස් පොඩියක් තියෙනා කොලු ගැටයෙකි.
අම්මා ඒ පස්සෙන් ය
“ඕක බරයි පුතේ.ඔයාට හයිය නෑනේ.ඔයා කාලත් නෑ.”
“මට පුළුවන් .මං හයියයි.”
මාස්ක් එක පිටිපස්සෙන් මං හිනාවෙන බව දැකලාදෝ කොලූගේ ඇසුත් විරිත්තන පාට ය.
අපේක්ෂාවේ ගේට්ටුවෙන් ඈත පාර මිනිස් පුළුටක් නොපෙනෙන පාළු පාට ය.
කොලූත් අම්මාත් කොහේ යනවාද කොහොම යනවාද බලන්නට නවතින්නට මට ඉසිඹුවක් නැති ය.
ඇහෙන් කඳුළක් නොහෙලා තමන්ගේ මුළු ජීවිතේම බර දරනා අම්මාගේ ගමන් මල්ලේ බර පොඩි කොලූ පුලුවන් තාක් දුර දරාගෙන යනු ඇතැයි අද දවසේ මගේ පැතුම ය.
ඉගිලෙන ලියමන්
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!