කැරපොතු භීත සීන් වලට නොදෙවෙනි ඒ ළඟින් යන සීන් එකක් වෙද්දී මා හිටියේ 6 වසරේ විය යුතුය. එදවස අපේ විෂය නිර්දේශයට අනුව දළඹුවාගේ ජීවන චක්රය අප විසින් ප්රැක්ටිකලි නිරීක්ෂණය කළ යුතු විය. ඒ සඳහා දළඹුවන් අල්ලා බෝතල්ගත කර ඌ විසූ ගසේ දළු කොළ හූර හූරා ඌට වමනෙට එනතුරු බෝතලේට දැම්මා ඔබට මතක ඇතැයි සිතමි. අන්තිමේ දාපු කොළ කාගන්න බැරුව, දවස ගානේ ඌ දිහා බල බලා නටන නෙයියාඩගං ඉවසාගන්න බැරුව ඌ කෝෂයක් සාදාගෙන දළඹු දිවියෙන් සමුගත් හැටිද මට මෙන්ම ඔබටද මතක ඇතුවාට සැක නැත.
මේ සීන් එකේ ආතල්ම කොටස තිබ්බේ ඊට පස්සේය. දකින්නත් අජූව අරකා ටික දොහකින් අළු හලා, තටු ගසා කලර්ෆුල් වී වෙනස්ම එකෙක් හෙවත් සලමනයෙක්..සමාවෙන්න..සමනලයෙක් වෙන වැඩේ, පුංචි මගේ සිඟිති හිතට අල්ලලාම ගිය නිසා එක දළඹුවෙක් අල්ලා ඌට සමනල් ලයිෆ් එකක් ලබා දී හිත හදාගෙන පස්ස බලන්නට මගේ ළමා මානසිකත්වය මට ඉඩ දුන්නේ නැත. ඉන් පස්සේ මම දකින දකින දළඹුවන් පුරුක් පණුවන් අල්ල අල්ලා බෝතල්ගත කර “මහා සමනල ව්යාපෘතියක්” දියත් කළේ වැඩේ පට්ටම ආතල් කේස් එකක් වූ නිසාය. අනෙක් අතට නා නා වර්ගවල දළඹුවන් මොන මොනාකාර කලර් එකේ බටර්ෆ්ලයිස්ලා අවුට්පුට් ලෙස දේ දැයි බලා ඉඳීම, ත්රාසය භීතිය නැතත් කුතුහලය සපිරි සිරා සීන් එකක් වූ නිසාය. අච්චර අජූව එකාව අල්ලා හොල්ලා සමනලයෙක් බවට කන්වර්ට් කර උගේ ලයිෆ් එක ෆුල් මාවලස් කරන එක මගේ පරම යුතුකම විතරක් නොවේය හෙනම පිං අතේ වැඩක්ය කියා හිතූ අම්මාත් මගේ මේ “සමනල ප්රොජෙක්ට්” එකට, දකින දකින කඳන් පණුවන් කීඩෑවන් අල්ලා දීමෙන් අත හිත දුන්නාය. මතක හැටියට මගේත් අම්මාගේත් රෙඩාර් වලට අහුනොවී ගැලවෙන්නට පින තිබුණේ ගැඩවිලුන්ට විතරය.
පවර්කට් එකක් තිබු ඒ හිරිගඩු පිපෙන අවාසනාවන්ත රාත්රියේ මගේ සමනල ප්රොජෙක්ට් එකට කණකොකා ඇඬූහැටි මට අද වාගේ මතකය. ඒ මෙහෙමය:
පුරුදු පරිදි අම්මා මල් පැලත් එක්ක හරි හරියට ඔට්ටු වෙවී උන් හවසක, මල් ගහකින් අහුලා ගත් සද්දන්ත පණුවෙක් /දළඹුවෙක් වැනි දෙකටම නැති අමුතු එකෙක් මට දී මේකා මොකෙන් මොකෙක් වී නතරවෙනු ඇද්දැයි බලන්නට මගේ “සමනල එක්ස්පෙරිමන්ට් ප්රොජෙක්ට්” එකේ ලියාපදිංචි කළාය. මේ තඩි බතලයා ඇමේසන් වල ඉන්නාකාරයේ කුරුල්ලෙක් සයිස් සමනල් රාජයෙක් වෙනු ඇතැයි සිතා, “සිහින ලොවක් දුටුවා මතකයි…”කියා පස්වනක් ප්රීතියෙන් පිනා ගියෙමි. ඒකා එහෙම එකෙක් වූ දාක හොදට අත් තටු දිගහැර හිරි අරින්නත් ඉඩක් ඕනෑ නොවේද හිතා ලොකු පරණ තීන්ත බකට් එකක් උගේ වාසස්ථානය ලෙස තෝරා ඒකාව ඒකේ අනවසරයෙන් පදිංචි කළෙමි.
තඩි බතලයා තඩි කෝෂයක් සාදාගත් පසු උගේ නෙක්ස්ට් ස්ටෙප් එක සුභ මොහොතින් කවදා කොහොම තියනු ඇද්දැයි අම්මාත් මාත් හිටියේ ටෝච් එක ගහගෙනය. (ඒ කියන්නේ ෆුල් ඇලර්ට් එකේය) ඌ ඒ භයානක ස්ටෙප් එක තියන්නට තෝරා ගත්තේ මොනා උනත් මරුම දවසේය.
ඒ අමාවක පවර්කට් රාත්රියේ පරණ තීන්ත බකට් එක පැත්තෙන් ලාවට “සර” “සර” සවුන්ඩ් එකක් ඇසී බලද්දී අම්මා දැක ඇත්තේ ඩයල් එක කළඑළි බහින්නට දතකන හැටිය. මා වැනි බිළින්ඳා අහළ පහළක නොසිටි නිසා කළුවරේම ටෝච් එක ගසා කළ සුළු සෝදිසියෙන්ම තව නොබෝ වේලාවකින් සිදුවෙන්නට නියමිත මහා භීෂණය ඉවෙන් මෙන් වටහාගත් අම්මා තීන්ත බකට් එක කළුවරේම එළියෙන් තියා ඇත්තේ, මේ කට්ට කරුවලේ එහෙම කරන එක සරීර සෞඛ්යට ගුණ බව හැඟී ගිය නිසා විය යුතුය. ඉන් පස්සේ එයැයි, “සමනල ව්යාපෘති” නිර්මාතෘ හෙවත් “ප්රොජෙක්ට් ඕනර්” වූ මාව කෝකටත් දැනුවත් කළේ මගේ ඇමේසන් සමනලයා ගැන මම අම්බානට හෝප්ස් තියාගෙන හිටි නිසා විය යුතුය. අනිත් අතට නොකිව්වොත්,
“නොකියාම එදා….මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා”…කියා මා සෝකයෙන් මෙව්වා වී නඩුවක් වන නිසාත්ය.
ඇමේසන් යානය ගුවන්ගත වෙන්නට ආසන්න බව මා දැනුවත් කළ අම්මා, කළුවරේම ටෝච් එක අතට දී එළියේ ඇති බකට් එක වැඩි කලබලයක් නොකර බලා එන ලෙස කී විදිය මට එච්චරම දිරෙව්වේ නැත. ඒ කිව් විදියෙන් මොකක් නමුත් මහා ව්යසනයක පෙරනිමිති පෙනුනු නිසා “දුරින් හිද ඔබ දෙස බලන්නම්..”කියා මා දුර ඉදන් ටෝච් එක එල්ල කර බකට් එකට ලාවට එබී බැලුවේ කෝකටත් රෙඩි පිට, දුවන්න සූදානම් සරීරයෙන්ය.
ටෝච් එළියෙන් මා දුටු ලොමුදැහැගැන්වෙන දර්සනය, මා වැනි කැරපොතු භීතිකාවක් ඇත්තෙක් සිහිනෙන්වත් නොපැතිය යුතු, නොදැකිය යුතු දසුනක්මය මා මිත්රවරුනි…ඇමේසන් සමනල රාජයා ගැන “මා සිත මියුරු කල්පනා…එක්ස් ෆයිල්ස් වලට පෙරළුණා..” කිව්වොත් සත්තම සත්තය..නිවැරදිය.. ඒක ඇතුලේ හිටියේ පිටසක්වල වර්ශන් එකේ හෙවත් “ප්රිඩේටර්” ෆිල්ම් එකේ හිටි පිටසක්වල ජීවියාගේ ලඟම ඥාතියෙකැයි කිව හැකි ආකාරයේ බිහිසුණු පෙණුමැති, අඬුපඬු දිග මදිවාට පියාපත් දෙකකුත් සහිත, කලින් හිටි දළඹුවාටත් වඩා අජූව අද්භූත සත්වයෙකි. (අන්තර්ජාලයෙන් සොයා ගත් ඉහත පින්තූරයේ එකාට ලාවට සමානය)
ගුවන්ගත වෙන්නට සූදානමෙන් උන් ඒ බිහිසුණු කෘමියා දුටු මතින්, ටෝච් එක අල්ලන් හිටි මගේ අත වෙව්ලා, ඇඟේ මයිල් ඉස්මයිල් වී, පිට දිගේ අයිස් කැටයක් ලිස්සා යනවා වාගේ දැනෙද්දී මම ගෙට පැන දොර වසා ගත්තේ පණ එපා කියා කළුවරේම පසු නොබලා දුවලාය. උඩට ඇල්ලූ හුස්ම මා යාන්තම් පහළ දාගත්තේත් ජනේල සේරෝම තදකර වසා ඇති බවට සැක හැර ගත්තාට පසුවය…ඒ කට්ට කළුවරේ මම “සර බර” සද්දයක් ඇහෙන හැම වාරයක් පාසා ඇඟේ ලේ පයින්ට් ගණන් ලෝභ නැතුව පුච්චා ගත්තේ අරකා මොන දීපංකරෙන් හෝ ඇවිත් මගේ ඇඟේ ලෑන්ඩ් කරාවිය කියා හිතෙද්දීත් පණ ඩිංග ඔන්න ගියා මෙන්න ගියා වගේ වූ නිසාය.
එතැන් පටන් අපේ වත්ත හතර මායිමේ විසූ සියලුම දළඹුවන් පුරුක් පණුවන් ආදී සියලූම “ආසයි මං පියාඹන්න” ගණයේ ජීවී විශේෂ සියල්ලෝ නිදහසේ සතුටින් දිවි ගෙව්වෝය. අන්ත අසරණ දළඹුවන් සිය ගණනකට සුඛ විහරණය, සෙත සැලසූ මගේ සමනල දිවිය…සමාවෙන්න..මගේ “සමනල ව්යාපෘතිය” සුනේ සුං හෙවත් එතැනින් සමාප්තයි මිත්රවරුනි…
උපුටා ගැනීම: – ඉරේෂා ගමගේ –