ආප්ප (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි ඉස්සර පන්ති ගිහින් එන්නෙ කලුබෝවිල හන්සුරා එක ඉස්සරහින්. හැමදාම හන්සුරා එකේ ආප්ප හදන තැන දුඹුරු පාටට නවල අඩුක් කරපු පැණි ආප්පත් තියෙනවා ආප්ප වලට අමතරව. එතනින් හවසට එනකොට දැනෙන්නෙත් පැණි කර වෙලා හැදෙන කටට කෙල උනන ආප්ප වල සුවද. පන්ති ඇරිල පයින් ආපු දවසට මගෙ යාලුවා කොහොම හරි පැණි ආප්ප ගන්න ඇන්ටිව පොලඹව ගන්නවමයි. ඇන්ටි ඉතින් මහා පැණි ආප්ප පාර්සලයක් ගන්නවා බෝඩිමේ අපි ඔක්කොටම එක්ක. ඒ පැණි ආප්ප වලට ගහන්නනම් තාම මම පැණි ආප්ප කාලම නෑ.
අපි පුංචි කාලෙ අම්මා ආප්ප හදන්න ඕන උනාම උදේට කැකුලු හාල් දියේ දාල හවසට ගෙදර තිබ්බ ගල් වංගෙඩියෙ පිටි කොටනවා. ආච්චි ඉන්නවනම් දෙමෝලෙ පිටි කොටනවා නැත්නම් අම්මා තනියම පිටි කොටනවා. පිටි කෙටිල්ලත් හරියට භාවනාවක් වගේ සම වැදිල රිද්මයකට තමයි අම්මා ඒ වැඩේ කරන්නෙ. නිතරම වංගෙඩිය වටේ රැදිල තියෙන නොකෙටුනු හාල් ඇට ඇතුලට දා ගනිමින් ආයිත් ආයිත් කොටනවා. අන්තිමට පෙනේරෙන් හලල කප්පි ටික ආයිත් කොටනවා . වංගෙඩිය අඩියෙ රැදුනු පිටි ගන්නෙ කොස් කොලයක් අරං ඒකෙ ආධාරයෙන්.
අම්මා හලාගත්ත පිටි ඒදගන්නෙ රා මණ්ඩි දාල. ඒ දවස්වල රා, කිතුල් පැණි අපේ පැත්තෙ අග හිගයක් නෑ. උදේට ආප්ප හදනව නම් අම්මා පොල් කොල හොයල ලිප ලගට අඩුක්කර ගන්නවා. උදේට ආයිත් පොල් කිරි , ලුණු එහෙම පදමට දාල ආයිත් මිශ්රණය හදා ගන්නවා. පොල් කුඩු පොඩ්ඩක් මැදට දාගත්ත පොඩි රෙදි පාංකඩ පොට්ටනියක් එක්ක පොල් තෙල් පොඩ්ඩක් දාපු තැටිල්ලකුත් ලගට ගන්නව ආප්ප හදනකොට.
තාච්චිය ලිප තියල හොදට රත් උනාම පොට්ටනියෙන් තාච්චිය ඇතුලෙ තෙල් ගාල ආප්ප මිශ්රණය තාච්චියට දාල වටේට කර කවල තව වලදකින් වහනවා. ඒ වලදෙ තියෙන්නෙත් පත්තු වෙන පොල් ලෙලි වගෙයි මට මතක.
උඩිනුත් ගින්දර
යටිනුත් ගින්දර
මැද්දෙ සවුන්දර කියන තේරවිල්ල හැදිල තියෙන්නෙ මේ නිසා වෙන්න ඇති. ආප්ප ගැලවෙන්නෙ නැත්නම් බිත්තරයක් කලවම් කරාම ආප්ප ගැලවෙන බව අම්මා කියනවා. ඒ වගේම වාටි කරවෙන්න කියල සීනි ඇබිත්තකුත් එකතු කරනවා.
දැන් නම් මෝලෙ කොටා ගත්ත සුදු හාල් පිටි වලට මාරි බිස්කට්, පොල් වතුර , බිස්කට් කුඩු, හුලං විස්කෝතු ඒ වගේ එක එක දවසට ගෙදර තියෙන ජාතියක් දාල අම්මා ආප්ප ඒදනවා. අපේ ගෙවල් ලග කඩේ නැන්දා නම් ආප්ප ඒදන්නේ පෙරදා ආප්ප පිටි මිශ්රණයෙන් ටිකක් යොදා ගනිමිනුයි.
අම්මගෙ ආප්ප සමහර දවසට රීප්ප වගේ බවත් කොච්චර කැවිලි හැදුවත් අම්මාට අපේ පුංචි අම්මල දෙන්න එක්ක ආප්ප හදන්න තියා හැරෙන්නවත් බැරි බව තාත්තා කියනවා . එතකොට අම්මා කියන්නෙ උන් දෙන්න හොදට ආප්ප හදන්නෙ ආප්ප සෝඩා ගොඩ කිරීමෙන් බවයි. ගෙදර අයට ගෑස්ටික් වැඩි වන බව පවසමින් අම්මා ආප්ප සෝඩා ගොඩ නොකරන බවයි ඇය පවසන්නේ.
ආප්ප කන්නට අපේ ගෙදර හදන්නේ ලුණු මිරිස් හෝ සීනි සම්බෝලයි. ඊට අමතරව ඇඹුල් කෙසෙල්, හකුරු , මාලු අඹුල් තියල්, චිකන් කරි කොයි දේ එක්කත් ආප්ප පංකාදුයි. ගෙදර සාමාජිකයින්ගෙන් අම්මා හැර අනෙක් සියලු දෙනා වෙනුවෙන් බිත්තර ආප්පය බැගින්ද සාදනවා. මම කැමති ගම්මිරිස් නොයෙදූ බිත්තර ආප්ප වලටයි.
පුංචිම කාලෙ මම ඉස්කෝලෙ යනකොට හන්දියෙ පොඩි සීයලගෙ කඩෙන් සමහරදාට ආප්ප අරගෙන යනව රුපියලක. කුස්සියටම ගිය විට ඒ ආච්චි ආප්ප හදන තැනින්ම ආප්ප ටික කොලේක ඔතල කෑම පෙට්ටියටම දාලා දෙනවා. රුපියලට ආප්ප තුනයි හකුරු කෑල්ලයි. ඉස්කෝලෙට යනකොට හකුරු කෑල්ල දිය වෙලා.
මට ලොකු පුතා ලැබෙන්න ඉන්න කාලෙ බෙහෙත් ගන්න ගිය වෙලාවෙ ඉස්පිරිතාලෙ කැන්ටිමේ එල්ලල තිබ්බ සීනි සම්බෝල දමාපු ආප්ප පීරිසියක ෆොටෝ එක මගේ දොල දුක ඇවිස්සුවා. තැන ඉස්පිරිතාලෙ කියලවත් නිච්චියක් නැතුව මට නොකා ඉන්නම හිත හදාගෙන ඉන්න බැරි බව මම ගෙදර එක්කෙනාට කිව්වා. එතනින් ආප්ප කෑමේ ආදීනව පවසල දීර්ඝ වෙලාවක නාහෙන් ඇඩීමේ ප්රතිඵලයක් මත ආප්ප තුනක් අරන් දුන්නා. ඒකෙ රස නම් කියල වැඩක් නෑ.
අපි කසාද බැදපු මුල් දවස් වල නුවර ගමනකදි මට ගෙදර එක්කෙනාගෙ ආප්ප කෑම දැකල සිහි නැති උන ටික විතරයි. අපි උදේට කන්න නැවතුනේ අඹේපුස්සෙ. එතන සෙනගත් ටිකක් හිටියා. මුල්ම වටේට ආප්ප දෙකක් එක්ක බිත්තර ආප්පයක් බෙදන් ඇවිල්ලා කෑවා. ඊලගට ඒක මදි කියල ගිහින් තව බිත්තර ආප්පයක් ගෙනත් කෑවා. හරිම රසයි තව එකක් කන්න ඕන කියල තව එකක් ගේන්න ලෑස්ති උනේ. මට මාර ලැජ්ජ හිතුනා. බදින්න ඉස්සල්ල නම් බොහොම ශාන්තව කාපු බීපු මනුස්සයානෙ. තව එකක් කන්න යන්න හදනකොට අනේ වදින්නම් මම ගෙනත් දෙන්නම් කියල මම ඉදිරිපත් වෙලා තව බිත්තර ආප්පයක් ගෙනත් දුන්නා. මට හිතුනෙ මුලු රෙස්ටූරන්ට් එකේම සෙනග අපි දිහා බලන් ඉන්නවා වගේ.
” මොකට ලැජ්ජ වෙනවද, සල්ලි නොදී කනවද, අනෙක ගෙවන ගානට කන්නත් එපැයි. මගෙ නෑනෙ ඔය අරව මේවා කෑවෙ නෑ කියල පස්සෙ කෙදිරි ගෑවිලි. පුලුවන් වෙලාවෙ කෑවා.” දැනුත් ගෙදර ආප්ප හැදුවම දෙයියනේ කියල බිත්තර ආප්ප තුනකටවත් වග කියනවා.
දැන් නම් අපි තාච්චි පදම් නොකරම නන්ස්ටික් තාච්චියෙ ආප්ප හදනවා. අපෙ අම්මා නම් කියන්නෙ කැවුම් තාච්චියෙ ආප්ප හොදින් ගැලවෙන බවයි. සමහරෙක් පදම් කිරීමට තම්බපු ගොරක තාච්චියේ අතුල්ලන බවත් මා අසා තිබෙනවා. ඒ ගැන නම් මට ලොකු දැනුමක් නෑ.
ආප්ප යනු ලංකාවෙ ඉතිහාසය යම් පමනක් වෙනස් කිරීමට සමත් වුනු ලොකු කුඩා කොයි කවුරුත් එකසේ ප්රිය කරන කෑමක්. දැන් ඉදහිට ඇන්ඩර්සන් පාර අසලින් යන විටත් ඒ පැණි ආප්ප සිහියට නැගෙනවා. කොච්චර ආප්ප හැදුවත් පැණි ආප්ප ගෙදර සාදන්නට සුදුසු රෙසිපියක් තාම හමුවෙලා නැහැ. ඔබ කවුරුන් හෝ ලග තිබෙන අනර්ඝ පැනි ආප්ප රෙසිපියක් ලබා දෙනවා නම් ආප්ප පිනට දුන්නාසේ මහා පිනක් අයිති වෙනවා නිසැකයි.
පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි .
උපුටා ගැනීම:  Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!