පහළ ඌවට ධාරානිපාත වැසි වැටෙන සමය ට හේනක ජීවිතය ඉතා අසීරුය. මල ආරවල් ජලයෙන් පිර්රි පණ ලබා ඇති නිසා ඇතැම් විට හේන්වල වැඩට පැමිණි විට ගමට යාමටද අසීරු ය.
රම්මල්හාමි සිය බිරිඳවන එතනාත් සමග එදා හේනටකොටු වූයේ නොසිතූ විටෙක ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් පිටකන්ද ආර දෙගොඩතලා යාමට වූ බැවිනි.
කෑමට කිසිම හාල් දුරු මිරිසක් හේනේ පැලේ නැත. පෙර දිනෙක ගැලවූ බතල අල කීපයක් පමණක් මැස්සේ තිබුණු බව මතක්විය.
එතනා බතල කෑමට රුසියෙකි.
හනි හනිකට බතල අල කීපය තැම්බුවේ කුසගින්න දැඩිව මෝදු වෙද්දිය.
තැම්බෙන බතල වල සුවඳ ඇගේ නාස් පුඩු අතරින් රිංගා යද්දි ඇය වතුර පෙරා බතල ටික පිගානකට හැලුවා ය.
බැලූ බැල්මට ඒ ටික දෙදෙනෙකුට මදි බව එතනාට හැඟුනි. ඇය තනිව බතල කෑමට උපායක් සිහිපත් කළාය.
ඈ.. රම්මල් අයියේ උඹල අප්පා මැරුනෙ කොහොමදැයි….
ඇය රම්මල්හාමිව කතාවට පෙලඹුවා ය.
අනේ අප්පේ.. අපේ අපුච්චා එදා හොඳට නාලා ඉඳලා අන්තිම මොහොතේ හුස්ම ඇදලා ඇදලා ..ඇදලා ..ඇදලා..
රම්මල්හාමි විස්සෝපෙන් කතාව පටන් ගත්තේය…
කතාවට හූමිටි තබමින් එතනා හෙමින් හෙමින් බතල අල වලට වැඩේ දුන්නාය.
රම්මල්හාමි කඳුළු පෙරමින් තම අප්පුච්චා මියගිය හැටි කියා අවසන් කරන විට එතනා බතල පිගාන අහවර කිරීමට ආසන්නය.
ඔන්න ඔහොමයි මැරුනේ..
කියා බතල පිගාන දෙස බැලු රම්මල් හාමිට දැක ගත හැකි වුයේ එක බතල කෑල්ලක් පමණක් පිගානේ ඉතිරිව ඉතිරි ටික එතනා අනුභව කර ඇති බවයි .
තමන් එතනාගේ උගුලට අසුවූ බව වටහාගත් රම්මල්හාමි ඉතිරි කෑල්ල වත් කෑමේ අපේක්ෂාවෙන්
ඉතින් මටත් කියාපන්කෝ උඹලගෙ අප්පාත් මැරුනෙ කොහොමද කියලා ..
එතනා ගෙන් විමසීය.
එතනාගේ කපටි මොලේ තැම්බීමට රම්මල්හාමිගේ ලුණු ගොරකා මදිය.
අපේ අපුච්චාද.. එතනහාමි කතාව පටන් ගත්තේය.
රම් මල්හාමි හූමිටි තැබීමට සැරසුණේය.
ඕන්න අපේ අප්පොච්චි මල දවසෙ රෑ ගෙදර බතල තම්බලායි තිබුනෙ .
එදා රෑ උන්දෑ මෙන්න මෙහෙම බතල කෑල්ලක් කටට දා ගත්තා …
සුටුස් ගාලා හුස්ම ගියා කියමින් ඇය ඉතිරි බතල කෑල්ලද කටේ රුවා ගත්තාය….
උපුටා ගැනීම: Saliya Ratnayaka