අපේ ගෙදර ගැහැණු ළමයිම හතර දෙනෙක්. අපි අතර පරතරයත් අවුරුද්දක්, එක හමාරක් වගේ. ඉතින් පොඩි කාලෙ එක ගානම බටු ඇට සයිස් කෙල්ලෝ හතරක් එක්ක ඔට්ටු උන අපේ අම්මට සම්මාන පිට සම්මාන දුන්නත් මදි.
අම්මා හරිම සැරයි අපි පොඩි කාලෙ. අප්පච්චි හරි හොදයි. අපිත් එක්ක සෙල්ලම් කරනවා, සින්දු කියනවා. සමිති දානවා. අගට යද්දී මුලින් හිටිය එක කැරැක්ටර් එකක්වත් නැති දිග බොරු කතන්දර කියනවා ඔය වගේ. අපි ඉතින් අප්පච්චි ට ආදරෙයි අම්මට වඩා.
දවසක් අම්මා උයනවා. අප්පච්චි අපි හතර දෙනයි එක ඇදකට වෙලා , අප්පච්චි කියන බොරු කතන්දරයක් අහගෙන ඉන්නවා. බොරු කියල දන්නෙ අපි සීරියස් අහගෙන ඉදල කලින් උන දෙයක් ගැන ආයෙ අහද්දි අප්පච්චි ට මතක නැති නිසා. ටික වෙලාවකින් මේ වැඩේ බෝරින් වෙලා අප්පච්චි අළුත් සෙල්ලමක් කරමු කීවා. දැන් අප්පච්චි මැරිලා වගේ ඉන්නවා. අපි බොරුවට අඩන්න ඕන. අපිත් මළ ගෙවල් වල ගිහිල්ල අඩන හැටි දැකලා තියෙන නිසා එක එක විදියට විලාප තියලා අඩනවා. (බොරුවට). එදා අප්පච්චි ත් හොද බැනුමක් අහ ගත්තා අම්මාගෙන්.
අම්මා හැම වෙලාවෙම බනින ගහන නිසා අම්මාගෙ සැර අපි ගනන් ගන්නෙ නෑ. ඒත් ඉදලා හිටලා අප්පච්චි ට තරහා ගියාම , රැව්වත් අපිට චු යන සයිස්. ඉතින් ඔය දෙන්නාගෙ ඔය භූමිකා දෙක අරුම පුදුම විදියට වෙනස් උනා අපි ලොකු වෙද්දී. දැන් අම්මා අපිට ගොඩක් ලගයි. අප්පච්චි එක පාරටම හමුදාපති වගේ උනා. අපි කරන හැම දේටම දහසක් තහංචි. කොන්ඩෙ ඔහොම පීරන්න එපා. ඔය ඇදුම අදින්න එපා. ඔය පාට ඇදුම් අදින්න එපා, මේක් අප් එපා. හවසට පොත් චෙක් කරනවා. පාඩම් වැඩ වලටත් වඩා පොත් අස්සේ තියෙන්නේ මොනවද වගේ.
පිරිමි ලමයි එක්ක වැඩි කතා එපා. වැඩි නෙවෙයි අපි බලන්නෙවත් නෑ. අප්පච්චි ඉන්න වෙලාවට. අපි දිහා කොල්ලෙක් බලන් ඉන්නවා දැක්කොත් ඌට රවනවා ආයේ කෙල්ලෝ එපා වෙන්නම. ඉතින් අපිට දැන් ඕනවට වඩා තියෙන මේ තහංච් හෙන කරදරයක් වෙලා තිබුනේ.
ඔය තහංචි අතරෙ තිබුන එක දෙයක් තමා හින්දි චිත්රපටි බැලීම. අපි හතර දෙනාම ගියේ බාලිකා පාසලකට. හතර දෙනාගෙම පන්ති ත් අවුරුද්දෙන් අවුරුද්ද ට. ඉතින් අපි හතර දෙනා පොඩි කාලේ ගහ මරා ගත්තත් ලොකු වෙද්දි යාළුවෝ හතර දෙනෙක් වගේ . අපිට අවුල්.යාළුවෝ හැමදාම ෆිල්ම්ස් බලලා ඇවිත් විස්තර කියද්දි අපි බකංනිලාගෙන ඉන්න ඕන. අපිට ඉතින් දුකයි. අම්මට කුනු කුනු ගෑවට වැඩක් නෑ. අප්පච්චි ගේ නීති කඩන්නෙ නෑ අම්මා. (පුළුවන් උනත් එයත් සපෝට් ඕවට අපිට පෙන්නුවේ නැතිවට).
ඉතින් දවසක් අපි හතරදෙනා රහස් සාකච්ඡාවක් කරලා ප්ලෑනක් හදා ගත්තා ෆිල්ම් එකක් බලන්න. එදා තිබුනේ අපි ආසම අක්කෙකුයි අය්යෙකුයි ඉන්න ෆිල්ම් එකක්. ශාරුක් ඛාන් සහ ජුහී චව්ලා. අප්පච්චි ගේ දින චර්යාවක් තියෙනවා. රෑට කාලා ටිකක් වෙලා ඉදලා පොතකුත් අරගෙන ඇදට යනවා. පොත කියව කියව ඉද්දිම නින්ද යනවා.
ඉතින් ෆිල්ම් එක පටන් ගන්නේ රෑ 10ට. ඔය වෙලාවට ශූවර් අප්පච්චි ගොරවනවා. අම්මත් නිදි.අපි කලේ සවුන්ඩ් බින්දුවටම අඩු කරලා ලයිට් ඕෆ් කලා. දැන් හතර දෙනාම කලුවරේ බෙඩ් ශීට් එහෙම පොරවගෙන කකුල් පුටු උඩට අරගෙන උප සිරසි දාන එක්කෙනාට පින් දිදී ෆිල්ම් එක බලනවා. දැන් සින්දු යද්දි පිස්සු වගේ. ඒත් ඔය සින්දු ඊට පස්සෙ ලොතරැයි කූඩුවෙයි, ත්රී වීල් එකෙයි, ප්රයිවෙට් බස් එකෙයි අප්පිරියා වෙනකම් අහන්න පුලුවන් නේද කියලා හිත හදාගත්තා. දැන් හතර දෙනාම සතුටින් ෆිල්ම් එක බලනවා. හිනා යන සීන් තියෙද්දී අමාරුවෙන් හිනා වෙනවා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න.
ඔහොම ඉද්දී එක පාරටම අප්පච්චි උගුර පාදනවා වගේ ඇහුනා . හතර දෙනාම පැන්නා පුටු වලින් දිව්වා කාමර වලට දැන් නිදි. හතර දෙනාම. මට ටික වෙලාවකින් හීන් දාඩිය දාලා හාට් රේට් වැඩි වෙලා මතක් උනා යකඩෝ ට්වි එක ඔෆ් කලේ නෑ නේද කියලා. දැන් අප්පච්චිගෙ අඩි සද්දෙ ඇහෙනවා . ඒ සද්දෙ සාලෙ ට්වි එක තියෙන තැන නතර වෙනවා. දැන් සීතල හිරි වැටිල්ලක් මගේ පිට කොන්ද දිගෙන් දැනෙනවා. එක පාරටම හා ඇවිත් බලපල්ලා ඉතින් මෙතන නිකම් දාලා කරන්ට් පුච්චන්නෙ නැතිව කියලා සැරෙන් කියලා ගියා. ලැජ්ජාවේ බෑ.ෂුවර් එකටම අප්පච්චි ටත් හිනා යන්න ඇති. අපිත් අප්පච්චි කාමරේට යනකම් ඉදලා හිමීට රින්ගුවා සාලෙට හොර පූස් පැටව් වගේ. අපිටත් හෝ ගාලා හිනා ඊට පස්සේ. හැබැයි ෆිල්ම් එක බැලුවේ ඒ විදියටම තමා.
අපි ඒ ලෙවල් කරලා ඉවර උනාට පස්සේ අප්පච්චි ආයෙමත් කරුණාවන්ත, හොද , අපිට ඇහුම් කන් දෙන අප්පච්චි කෙනෙක් උනා. හැබැයි සමහර වෙලාවට තාමත් වසයි.
උපුටා ගැනීම: Chamila Perera