මා වැනි ක්රිකට් පිස්සකු නොවූවත් මගේ පියාද ක්රිකට් ලෝලියෙකි. ප්රවෘත්තිත්, ආගමික වැඩසටහනුත්, දේශපාලන සංවාදත් හැරුනු විට ඊළඟට ඔහු වැඩියෙන්ම ප්රිය කරන්නේ ක්රිකට් වලටය. කොතරම් මැච් බැලුවද ක්රිකට් සම්බන්ධයෙන් ඔහුගේ දැනුම නම් මාව කලකිරවන සහ විටෙක මල පන්නන සුළුය.
නිල් ජර්සිය හැඳ ශ්රී ලංකා කන්ඩායම ක්රීඩා කරන විට,
“හෝම්ස්, මේක ටෙස් මැච් එකක් ද” යැයි අසයි.
“ටෙස් ගහනවද නිල් පාට ජර්සිය ඇඳන් ?” මම මල අතට ගෙන අසමි.
“ආ නැද්ද, ඉස්සර ඉතිං ඔක්කොම ගැහුවේ සුදු පාට ඇඳගෙනනේ. දැන්නේ මේ අළුත් සුකුරුත්තං” ඔහු කියයි.
එතනින් එහාට මම කතා කරන්නේ නැත. කීවාට ඵලක් නැත.
ඔහුට තරඟය පෙනුනද ඇස් පෙනීම අඩු බැවින් ලකුණු සංඛ්යාව පෙනෙන්නේ නැත. ලකුණු ගණන කීය දැයි මගෙන් ඇසීම මදිකමක් යැයි සිතන නිසාදෝ ඔහු එය බැලීමට රූපවාහිනිය ආසන්නයටම යයි. එය ඉදිරිපිට සිටගෙන රූපවාහිනියට එබී ලකුණු සංඛ්යාව පරීක්ෂා කරයි. එයටද සෑහෙන වෙලාවක් ගත වෙයි.
“අයිං වෙන්නකෝ. වීදුරු නෙවෙයිනේ. මට පේන්නෙත් නෑ” මම කීවෙමි.
“මේ ලකුණු ගාන බැලුවේ”
“මගෙන් ඇහුව නම් කියනවනේ”
“කාාගන්වත් අහන්නේ මොකටද, මම ඕක බලන්ට දන්නැතුවයැ”
හැට පැන්නද වඳුරා බිම යන්නේ නැත. පන්ඩිතකම ඉහටත් උඩිනි. එවරද මුවින් නොබැන නිහඬ වීමි.
රූපවාහිනියේ ක්රීඩා පුවත් විකාශය වෙයි.
“71 වන වරට පැවැත්වෙන ඓතිහාසික අළු බඳුන ක්රිකට් තරඟාවලිය හෙට දින ආරම්භ වේ” නිවේදක කියයි.
“ඕක ලංකාවේ නේද ගහන්නේ ?”
“ඕස්ට්රේලියාවයි, එංගලන්තෙයි එයාලගේ මැච් ගහන්න ලංකාවට එන්නේ එහෙ පිට්ටනි නැතුවද” මම ඇසීමි.
“ඇයි ඕකේ ලංකාව නැද්ද ?”
අවුරුදු එකසිය ගණනක් පැරණි අළු බඳුන තරඟාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයත්, ඕස්ට්රේලියාවත් අතර පමණක් බව මම තේරුම් කර දුනිමි. එසේ වුවද පසු දිනද නැවත එම ප්රශ්ණයම ආපසු ඇසුවද පුදුමයක් නැත.
හොඳම සිදුවීම සිදු වී දැන් ටික කලක් ගත වී ඇත. එදින ශ්රී ලංකාව සහ පකිස්තානය අතර දිවා රාත්රී විස්සයි විස්ස තරඟයක් පැවැත්වීමට නියමිත දිනයකි. මැච් එකක් ඇති දිනට මාද කාර්යාලයේ සිට නිවසට පැමිණෙන්නේ කුරුල්ලෙක් පරිද්දෙනි. කඩිමුඩියේ නිවසට එන විට අප්පච්චි ද සාලයේ සිට තරඟය නරඹමින් සිටියි.
“කොහොමද මැච් එකේ තත්වේ” අසාගෙන මම පුටුවක වාඩි වුනෙමි.
“අද නම් නියම ගැහිල්ලක් ගහනවා, දාන දාන එකට හයයි, නැත්තං හතරයි” ඔහු කීය.
යකෝ කාලෙකිං සුපිරි මැච් එකක් බලන්න පුළුවන් යැයි සිතා වුවමනාවෙන් රූපවාහිනිය දෙස බැලුවේ එවේලේය. පාකිස්තානය ජර්සියේ පාට වෙනස් කලාවත් දැයි හැඟීම පහළ වුයේ එවේලේය. සුපුරුදු කොළ පැහැය වෙනුවට ඇත්තේ රතු පැහැති ඇඳුමක් ය.
ඒ මදිවට ශ්රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටියේ උපුල් තරංග සමග ඒ වන විට විශ්රාම ගොස් සිටි තිලකරත්න ඩිල්ශාන් ය.
කරුණු අවබෝධ වෙමින් තිබියදීම මම රූපවාහිනිය දෙස තවත් හොඳින් බැලුවෙමි.
Sl vs Pak 1 st T 20 : start delayed due to rain
අනේ අපොයි. ලොකු තැන උඩ දාගෙන බලන්නේ 2011 ශ්රී ලංකාව සිම්බාබ්වේ පිලට පන්න පන්නා පහර දුන් තරඟයක හයිලයිට් ය. එවැන්නක දිගට හරහට හයේ හතරේ පහර එල්ල වීම පුදුමයක් ද..
මොනවා වුවත් පියා ගන්නා ආතල් එක කැඩීමට මට සිත් නොවීය.
“මමත් ඉක්මනට නාගෙන එන්නම්කෝ” යැයි පවසා ගෙට ගියෙමි.
එදා තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවාය. පියා සිතා සිටින්නේ පාකිස්ථානයට එරෙහි පළමු විස්සයි විස්ස තරඟය ලංකාව ජයග්රහණය කලා යැයි කියාය.
උපුටා ගැනීම: හෝම්ස්