මට මතක ඇති කාලයේ පටන් අපේ අප්පච්චීට තිබුණේ සපත්තු කුට්ටම් දෙකකි. එකල බොහෝ කාර්යාල නිලධාරීන් දැමූ මාදිලියේ හමින් කළ සපත්තු යුගලයකි. දිනපතාම අප්පච්චී ගෙදර ආ පසු රාත්රියට සපත්තු දෙක පොලිෂ් කරයි. පසුදින උදේ දිලිසෙන සපත්තු දෙක දමාගෙන , ඔෆිස් බෑගයත් ෆයිල් වලින් පුරවාගෙන අම්මා ඔතා දෙන බත් මුලත් එහි දමාගෙන පාන්දර බසයේ වැඩට යයි. මුළු සතියේම , මාසයේම අවුරුද්ද පුරාම අප්පච්චී එසේ ඔෆිස් යන එනු දකිනු මිස නිවාඩු ගත් දින නම් මා දැක නැති තරම්ය. මාස කිහිපයකට වරක් නගරයේ සපත්තු සාදන තැනට ගොස් ඔහුගේ කබල් සපත්තු දෙක ගැලවී ගිය තැන් නොපෙනෙන සේ මසාගනී . එහි අඩිය ගෙවී ඇත්නම් අළුත් අඩියක් අලවාගෙන එයි. නඩත්තු කරගෙන වත් පාවිච්චි කරන්නට බැරි වුණ බැවින් අනූවේ දශකයේ අවසන් කාලයේ අප්පච්චී අළුත් සපත්තු දෙකක් ගෙනාවා මට මතකය. ඔහු සේවයෙන් විශ්රාම යන දිනය වන තුරු ඒ සපත්තු දෙක ඔහුගේ පා යුගලට සවියක් විය. ඒ වන විටත් ගෙදර අපි සියලුදෙනාම පාසැල් අවධියේ පසු වූවෙමු. සපත්තු, ඇඳුම් ,පොත්, බෑග් ආදී කිසිවකින් අපට අඩුපාඩුවක් තිබුණේ නැත. එක් දිනක් මගේ පාසැල් සපත්තුවක අඩියේ කුඩා සිදුරක් තිබෙනු දැක , එදින සවසම මට අළුත් සපත්තු යුගලක් ගෙනා අයුරු මට මතකය. ඒ කොහෙන් කොහොම ගෙනාවාදැයි අදටත් දන්නේ අප්පච්චී පමණි. අප්පච්චී ගේ ඔෆිස් බෑගය පිළිබඳ මට ඇති මතකයත් එසේම ය. සතියකට වරක් වත් ඉරිදා ට එය අවුවේ තබා හොඳින් පොලිෂ් කර අළුත් කරගනී. එහි සුවඳ මට තවම මතකය. හවසට අප්පච්චී වැඩ ඇරී එන විට ඒ බෑගයේ විස්කිරිඤ්ඤා පැකට්ටුවක් හෝ රැගෙන එයි. සමහර දවසට එය බොහෝ බරසාරය. ඒ බෑගයත් රැගෙන කොළඹ රැස්වීම් වලට ගොස් එන දාට එයින් හමන ඇපල් දොඩම් සුවඳට මුසු වූ ගුණසේන පොත් සාප්පුවෙන් ගත් කතාන්දර පොත් සුවඳ මට තවමත් මතකය. අප්පච්චී ගේ ඔෆිස් ගමන අවසන් වන තුරු අපට ගෙනා රස කෑම ආදී සියල්ල ගෙදර ආවේ ඒ බෑගය තුලිනි. මා මේ ලියන මොහොතේ අපේ අප්පච්චී මේ ලෝකයේ නැත. එහෙත් ඔහු ඒ කබල් ගැසී ගිය සපත්තු ජෝඩුවෙනුත්, ආණ්ඩුවෙන් ලබා දුන් ඒ බෑගයෙනුත් ගොඩනැඟූ ලෝකය තුළ ,අපි අදටත් හිනැහෙමින් සිටිමු.
උපුටා ගැනීම: Piumika Chandrasena