අප්‍රාණවාචී ආදරය! (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මේ රබර් ගස් පොඩි කාලෙත් මට මතකයි”
හ්ම්!
“හැමදේම ඉක්මට වෙනස් වෙලා”
හ්ම්!
“ඔයාට මතකද අපි දෙන්නා රබර් ගස් අස්සෙන් සෙල්ලම් කරනවා දුවනවා. එතකොට මේවා පොඩි පැළ”
හ්ම්!
“එක දවසක් ඔයා දුවනකොට ගලක වැදිලා බිම වැටිලා ඇඬුවා. මාත් බයවෙලා කෑගැහුවා ඒත් වටේ කවුරුත් ඉදියේ නෑ. අන්තිමට ඔයාව මමමයි කරට අත දාගෙන අරගෙන ආවෙ”
හ්ම්!
“ඔලුව හැරුණ අතේ දුව දුව අපි දෙන්නා හැමදාම අවුරුදු ගානක් සෙල්ලම් කරා මතකද?”
හ්ම්!
“මං ඔයාට ආදරෙයි කියලා මුලින්ම කියද්දි මගේ වයස අවුරුදු 13යි. ආදරේ කියන වචනේ තේරුමවත් මං හරියට දන්නේ නෑ. ඒත් මං හිතන්නේ මං ඔයාට ආදරේ කලා. පට්ට බොළඳයි ඒ වුනාට ඒ කාලෙ මතක් වෙද්දි මාර රහයි. දැන් අවුරුදු 11ක් ගෙවිලා ගිහින් ඉවරයි.”
හ්ම්!
“එහෙම ආදරෙයි කිව්වෙත් මේ රබර් වත්තෙදිමයි”
හ්ම්!
ඔලුව උඩට හරෝගෙන අහස දිහා බලාගෙන ඉන්න එයාගෙ මූණ දිහා මං බැලුවා. කිසිම හැඟීමක් ඒ මූණෙ පේන්න තිබ්බෙ නෑ. ඇස් දෙක ලොකු වෙලා අහස දිහා බලන් ඉන්නවා. වේලිච්ච රබර් කොල දෙක තුනක් එයාගෙ කෙස් වල පැටලිලා. මං හෙමීට ඒ කොල දෙක තුන අරන් දැම්මා.
අව්ව බින්දුවක්වත් වැටිලා නොතිබ්බත් දාඩිය දාලා තිබ්බ එයාගේ බෙල්ල කොනක ඉඳලා මම සිපගත්තා. ඇස් කතාකරනවා නම් කොච්චර දේවල් කියයිද?
ආයෙමත් මම එයා දිහා බැලුවා. අවුරුදු ගානක් කාපු කට්ට විඳපු දුක මූණෙ පිරිලා තිබ්බා. ඇස් වල කඳුලු බිංදු දෙක තුනක් තිබ්බා.
“මෙතන සීතල වුනාට ඔයා ළඟ තාම රස්නෙයි. මං තව එයාට තුරුල් වුනා.”
එයා හිනා වෙනවා මට පේනවා. දුඹුරු පාට ගැහිලා තිබ්බ රබර් කොළ වල පාටටම හැරිලා තිබ්බ තොල් පෙති නටනවා මට පේනවා.
“මට ඔයා නැතුව පාලුයි. ළඟින් ඉන්න තියෙනවා නම් හැම ප්රශ්නයක්ම විසඳෙයි මට ඒක විශ්වාසයි.”
හ්ම්!
“මගෙ ඔලුව බරයි. සෑහෙන්න බරයි මට මෙතන නිදාගන්න ඕනි.”
මං එයාගෙ පපුව වටෙන් අතදාලා බදාගත්තා. එයා කිසිම දෙයක් කිව්වෙ නෑ. අඩුම ගානෙ හෙළවුනෙවත් නෑ. මෙතන හැරෙන්න වෙන තැනක මෙච්චර හොඳට මට නින්ද යයිද?
උඹ ගමෙන් ගියේ අවුරුදු 4 කට කලින්! තාත්තා බීලා ගෙට ඇවිල්ලා අම්මට ගහද්දි වේල් තුන තියා එක වේලක්වත් කන්න ගෙදර හාල් ඇටයක් නැති වෙද්දි උඹ ගමෙන් ගියේ කාසි හොයන්න. ගෙන්දගම් පොළවේ පයගහපු පළවෙනි පාරින් උඹ කියලා මොනවා හොයන්නද? උඹ ඒ ලෝකෙ පොඩි චරිතයක් විතරයි!
පළවෙනි පාර ගමට එද්දි මට උඹේ මූණ බලන්න බැරි වුනා. දෙවනි වතාවෙ උඹ ආවෙ අම්මගෙ මළගමට. කසිප්පු බීලා ගෙදර ඇවිල්ලා තාත්තා ගහපු මෝල්ගස් පාර අම්මව අවසන් ගමන් යවලා තිබ්බා. උඹ එදා ඇඬුවා සෑහෙන්න. මං නිකමෙක් වගේ බලන් ඉඳියා. මාංචු දාපු තාත්තව පොලීසියෙන් අරන් යද්දි 7 දවසෙ දානෙ ඉවර වුන ගමන් උඹ ආයෙම ගමෙන් ගියා.
එහෙ උඹට හොඳ කෙනෙක් හම්බුනා කියලා මට කනින් කොනින් ආරංචි ආවා. උඹ කවදාවත් මට ද්රෝහි වෙන එකක් නෑ. මගෙ හිතට දැනුනේ එච්චරයි. ඒත් මං බොන්න පුරුදු වුනා. උඹේ තාත්තා හවසට ලැගපු කසිප්පු පොළවල් වලම මාත් ලගින්න පුරුදු වුනා. දවස තිස්සේ පතල් ගිහින් එන ඇඟේ මහන්සිය කසිප්පු බීලා නැති කරගන්න මං පුරුදු වුනා.
අන්තිම පාරට අවුරුද්දකට කලින් ගමට ආපු උඹ මට කිව්වේ තවදුරටත් උඹට කරදර කරන්න එපා කියලා. උං කිව්වා හරි මං හිතුවා වැරදියි. උඹේ ලස්සන මැකිලා ගිහිල්ලා තිබ්බා. කෙල්ලෙක් නෙමෙයි දැන් මහ ගෑනියෙක්ගේ පෙනුම ඇවිල්ලා තිබ්බේ. මං ගිහින් ආයෙම බිව්වා. උඹ ගමට තව වතාවක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගත්තම මං ආවා. මට වෙන දෙයක් හිතුනේ නෑ.
මාව ගැස්සිලා ඇහැරුනා. ගොම්මන් වෙන්නත් ඇවිත්. කලබලේට කකුල සල බලං ගාපු සද්දෙට බලද්දි බීලා ඉවර කරපු කසිප්පු බාගේ රබර් කොල අස්සේ තියෙනවා. මට වෙච්ච දෙයක් තාමත් හරියට මතකයක් නෑ.
ඒත් හැමදේම චිත්රපටයක් වගේ මගේ ඇස් දෙක ඉස්සරහම තියෙනවා. උඹ ඇඳන් ඉන්න කහ පාට චීත්ත ගවුමේ වම් තනේ ළඟින් ඇතුළට කපාගෙන ගිහින් නතරවෙලා තියෙන මාලු මන්නේ හැම කතාවක්ම මට මුල ඉඳලා කියනවා. මුලු පපුව පුරාම පාරවල් දහ පහළොවකින් කැපුන මන්න පාරවල් වලින් ගලපු ලේ රතු පාටට පොළව දිගේ ගලාගෙන ගිහින් රබර් කොළ අස්සෙන් දුඹුරු පාට වැළි පොළොව රතු පාට කරලා.
තාමත් ඇස් දෙක ඇරගෙන මූණෙ හිනා පොදක් පුරෝගෙන අහස දිහා බලාගෙන ඉන්න උඹට මං ආදරේ කලාද? මං මොකක්ද මේ කලේ? ඔලුව කකුල් දෙක අස්සෙ ගහගෙන ඉඳපු මට කරන්න දෙයක් හිතාගන්න බැරි වුනා.
කාත් කවුරුවත් පේන්න නැති අක්කර ගානක රබර් කැලේ මැදට මන්නෙ ගලවලා විසි කරලා මම සරම කැහැපට ගහගෙන ඉක්මනට ලේ හෝදගන්න ඇළ පාර දිහාවට දිව්වා. ඔලුව රිදෙනවා ඇදුම් කනවා. උඹ ඔලුව ඇතුලේ ඉඳන් සද්දෙට හිනා වෙනවා ඇහෙනවා. කකුල් සීතල වෙලා පණ නැතුව යනවා මට තේරෙනවා. ගෙදර ගියත් මට සැනසීමක් තියෙයිද? ආයෙමත් උඹත් එක්කම කතා කරන්න ඕනි! මම ගොම්මන් කලුවර පැත්තකින් තියලා රබර් වත්ත දිහාවට හැරුනා.
උපුටා ගැනීම: Shaminda Jayarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!