මං ටික කාලයක් නැවතිලා හිටියා රාජගිරිය කිට්ටුව. අපි උන්නේ ගෙදරක උඩ තට්ටුවේ. යට කෑල්ල මොකද්දෝ කොම්පැණියක ඉස්ටෝරුවක් විදියට පාවිච්චියට ගන්නවා. ඒ ගෙදරට අල්ලපු වැටේ තිබුනේ හරි අපූරුවට ලෑන්ඩ්ස්කේපින් කරපු, බොහොම පිලිවෙලට ලස්සනට නඩත්තු කරපු තරමක් විසාල ගෙදරක්. හරියට කොන්ක්‍රීට් වනාන්තරයක පිපුණ මලක් වගේ ඒ ගෙවත්ත හරි සිරියාවයි, හිත නිවනවා. ඒ විතරක් නම් මදෑ “පදිපං ගවේසත” නොහොත් ” ෆලෝ ද ලයිට් ” කියන උදාන වැකිය තියන ඉස්කෝලේ යන කෙල්ලො දෙන්නෙකුත් ඒ ගෙදර හිටියා. ඒ හින්දා ඒ ගෙවත්ත නිවාඩු දාට හරි සිරියාවයි. අපිටත් නිවාඩු දාල ගෙවතු වගාවේ යෙදෙන්න හිතුනට අනුන්ගේ වතුවටල පැනලා ගුටි කන්න වෙන නිසා අපි මායිමෙන් එහා ඉඳන් බලා ඉන්නවා.
ඒ කොහොම උනත් ඒ ගෙදර ගෘහමුලික ජෝඩුව නම් හරිම අහංකාර උද්දච්ච මොකද්දො මහා විසාල සමාජ තත්වයක් නඩත්තු කරාපු යුවලක්. කාලයක් ව්දෙස් රටක ජීවත් වෙලා නිසා වෙන්න ඕන ඔවුනට අනික් සෑම ලාංකිකයන් සහ ඊට අදාල දේ පෙනුනෙම නුහුරට, හිරිකිතට. වතාවක් අපි හවස තේ බොන්න චූන් පාන් බයිසිකලයක් නතර කරවගෙන බනිස් ගන්නකොට ඒ මනුස්සය අපට බැන්නේ අපි බනිස් ගන්න මුවාවෙන් කුඩු ,ගන්ජා අරගන්නව කියලා. හැබයි චූං පාං අයියා , ඔබේසේකරපුර දිහාවේ එකෙක් හින්දා වෙන්න ඇති මිනිහා එයා යනකන් ඉදලා තමා අපට බැන්නේ.
ඒ මනුස්සයා හූනා වගේ කෙට්ටුම කෙට්ටු උනාට එයාගේ නෝනා නම් බුදු අම්මේ අප්‍රිකානු අලියෙක් ගේ හරස්කඩක් වගේ. ඇවිදින්නෙත් හෙමීට හෙමීට හරියට අර නොරොච්චෝලෙට හුලං පෙති ගෙනියන ලොරි දණ්ඩක් හෙමීට යනවා වගේ. හැබයි උන්දෑ ඇඳලා ඉන්නේ ලෙගින් කලිසම් හෝ ට්‍රැක් බොටම් , සපත්තු දාලා. අපි ඒ දවස් වල විහිලුවට කියන කතාවක් තමා ඒ මිනිහට නෝනාව බදාගන්න ඕන උනාම තව කුලියට මිනිස්සු තුන්දෙනෙක් වත් ඕන වෙන බව. ඇයි යකඩෝ මාරගහක් විතර සයිස් නේ. පොඩි උන් කිරිකිරි බෝලේ කරන තාලෙට අත් පටලන් තමා බදාගන්න වෙන්නෙ.
කොහොම හරි මේ ජෝඩුව අපිට විතරක් නෙමෙයි අසල්වාසින්ට, පාරෙ යන අයට කොටින්ම ගස්වල වහල ඉන්න කපුටන්ට පවා මල වාතයක් වෙලා හිටියෙ. රෙදි කොච්චර මිල අඩුවට දුන්නත් බල්ල හෙළුවෙං කියලා කියනවා වගේ මේ ජෝඩුව මාසෙකට වතාවක් කාගෙන් හරි කුණුහරුප වරුසාවක් අහනවා. මං හිතන්නේ වැලිකඩ පොලිසියට මෙයාල ගෙන් තමා වැඩිම ටෙලිපෝන් කෝල් යන්න ඇත්තේ. එක ආයතනය පිරිතක කියද්දිත් පොලිසියට කෝල් කරවලා ගෙන්නලා තිබුණා සද්දේ වැඩී කියලා . ජීප් එක පුරවලා ආපු පොලිස් රාලාමිලා ටික තේ බීලා බත්කාලා පොලොසියේ ලකප් එකෙයි රිසව් ඉන්න අයටයි ඔතාගෙනත් බත් අරන් යන්න ගියා.
ඒ නිසා මේ ගේ අස්සේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ගහ ගත්තත් එකෙක් නෙමේ ඇහැක් ඇරලා බලන්නෙ. ඔහොම කල් ගෙවෙද්දි අපි වැඩකරපු තැන තිබ්බ ඉවෙන්ට් එකක් අවසානයේ කේටරින් එක කරපු මනුස්සයා අපි එයාට බිස්නස් එක දුන්න එකට සංතෝසමක් හැටියට බියර් කේස් එකක් දීලා යනවා. අපි ඕක ශේප් එකේ බෝඩිමට සැපත් කරවලා හෙමීට බැල්කනිය උඩ ස්ටෙලා වෙනවා. රෑ දහයට විතර අල්ලපු ගෙදර අමුතු ජෝඩුවෙන් මනුස්සයා විතරක් එලියට එනවා.
ඒ ඇවිල්ලා මිනිහා හෙන කලබලයෙන් වගේ ගේ අයිනක තියන ගරාජයේ ලට්ට ලොට්ට අවුස්සනවා… ආයේ ගෙට දුවනවා… ආයේ එනවා.. කොටින්ම සෑහෙන කලබලයෙන්. ටිකකින් මිනිහා වීල්බැරෝ එකක් තල්ලු කරන් ගේ වටෙන් පිලිකන්න පැත්තට යනවා..
” මේහ්… අර යකා ගෑණි මරලා වලදාන්න යනවද බං?”
අපි එහෙම කතා වෙනවා මොකද පොර හෙමින් සීරුවේ හොරගල් අහුලන ගමන් , සද්ද නැතුව මේ සේරම කරන්නේ. ආයේ ටිකකින් මූ ඇවිල්ලා නයිලෝන් ලණු කැරැල්ලක් , එස්ලෝන් බට, උදළු මිටක් අරන් යනව… ඒ එක්කම වගේ මාර වේගෙන් ආයෙමත් ගෙට දුවන් යනවා.. ඒ ගමන අරන් යන්නේ කුෂන් පුටුවල ලොකු කොට්ට දෙක තුනක්… අපිත් ශේප් එකේ බලාගෙන ඉන්නවා.
ඒ ගිහින් මිනිහා විනාඩි දහයක් විතර යනකන් මිසින්. අපි ඒ විනාඩි ගාණය මනුස්සය ගෑණිව මරලා වලත් දාලා ඉවර කරපු ගාණට ස්ටෝරිය හදලා ඉවරයි. ඒ එක්කම දඩස් ගාලා මිනිහා ආයේ එලියට එනවා. ඒ ගමන ගේට්ටුව ඇරන් මහ පාරටම එනවා. පාරේ යන ත්‍රීවීලර්, කාර් බාර් වලට අත දාම් දෝ නොදාම් දෝ ගාණට මනුස්සයා වැනි වැනි ඉඳලා ආයෙමත් අස්සට යනවා. ඒ ගිහින් විනාඩි කීපයකින් කෙලින්ම එලියට බැහැලා එන්නේ අපේ බෝඩිම ලඟට.
” පුටාලා …. අනේ ප්ලීස් ඔවාලා අප් ස්ටෙයාස් වල ඉන්නවද කවිරු හරි?”
වෙනදට අයිසේ, ඕයී, බෝයී තමුසේ… දැන් පුටාලා වෙලා. දෙතුන් පාරක් කතා කරාම එකෙක් යන්තං ඔලුව දාලා
“ඇයි ?”
කියලා ඇහුව. ඒ ගමන මිනිහා හෙමීට පඩිපෙල නැඟල උඩට එනවා. අපි බය උනා මොකද මූ ඇත්තටම වයිෆ්ව මරලා නම් , අපිත් අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වෙනවනෙ. මිනිහා ලඟට එන්න කලින්ම අපිට තේරුනා පොර කුණුවෙන්න බීලා ඉන්න වග.
“අනේ එක්ස්ට්‍රීම්ලි ෂොරි පුටාලා ඩිස්ටර්බ් කලාට. වයිෆ් පොඩ්ඩක් බිම වැටිලා පිටිපස්සෙ ගාඩන් එකේ… ඔවාලට බැරිද මට එයාව ගේ අස්සට ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න…?” ප්ලීස්…. “
අපි දෙතුන් පාරක් එහෙට මෙහෙය ඇඳලා යම්දෝ නොයම්දෝ කියලා ලතවෙලා එක්කො කමක් නැ… උන්නත් දාහයි මලත් දාහයි ඉස්පිරිතාලේ ගියොත් තුන්දාහයි කියලා හිතාගෙන මිනිහා එක්ක ඒ ගෙදර අස්සට ගියා. පොර සුරුස් ගාලා අපිව එක්කරන් පිටුපස්සෙ තණකොල වවලා තිබ්බ කොටසට එක්කරන් ගියා.
හප්පටසිරි …. ඒ ගෑණු මනුස්සයා බිම දපලා දොයි මොකුත් නෑ සේදවත්තේ ලීමෝලේ වගේ ගොරෝන සද්දෙට. එතනම පොඩි ටීපො එකක් උඩ බෝතල් තුනක්, බයිට් ,,සැන්ඩි වීදුරු … අපිට වැඩේ මීටර් උනා… නැන්දයි මාමයි අඩියක් ගසලා. ඒකෙනුත් නැන්දා ගසලා කනේ මයිල් බිම ගෑවෙන්නම. දැන් ආයේ කතා කරලා වතුර ගහලා එයා ඇහැරවනා බොරු…ඒ මදිවට පත්තන්දෝරු තාප්ප මෝල වගේ නිසා අර කැහුට්ටට මේක උස්සනව තියා හිතන්නවත් බෑ. අපිට මැරෙන්න හිනා. හිනාව කාගෙනම එකෙක් ඇහුවා
“මෙයා මාර බීමක් නේ බීලා තියෙන්නේ?”
පොරත් නෝන්ඩිය කාගෙනම අහක බලාහෙනම..
“නෑ මේ පුංචි ශොට් එකක් ගත්තේ. හුරු නෑනේ පුටා… ඒකයි”
” අනේ යන්න අංකල් බයිලා නොගහා එහෙනං ඒ ශොට් එක දාන්න ඇත්තේ කල ගෙඩියකට පුරෝලා වෙන්න ඇති.
මිනිහත් ගජමෑන් වගේ කෙසඟ බාලාජි කෙනෙක් උනාට ට්‍රයි එක අතෑරලා නෑ. වීල්බැරෝ ගෙනලල වයිෆ් ඒකට පටව ගන්න සෑහෙන ට්‍රයි එකක් දීලා තිබ්බ. ඒ උනාට බඩඑලිය ගිහිපු අලියෙක් වගේ ඒ මනුස්සයා දපලා හිටි ආකාරයට හනුමා එන්නම ඕන උස්සලා එකේලි කරන්න.
“වෙන කවුරුවත් ගෙදර නැද්ද? “
“බබාලා ස්ටඩීස් වලට යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා “
” අංකලුත් නිකන් ඉදලා නෑන්රෙ… සෑහෙන ට්‍රයි එකක් දීලා නේද උස්සලා කෙලින් කරගන්න”
ඒ සේරම අස්සෙ අපි මිනිහවත් හවුල් කරගෙන මනුස්සයව උස්සල ගේ අස්සට ගෙනල්ලා සාලේ මැද්දෙන් හාන්සි කරවලා පොරට කියලා දෙහි බෑවකුත් ඔලුවේ අතුල්ලවලා එන්න ආවා. දවස් දෙකක් යනකන් උන් නෙමේ එලියට බැහැලා අපි ඉන්න පලාතකට වත් පේන්න ආවේ.
ඒත් හතරවෙනි දවසේ හවස හතරට විතර ඒ අංකල් කාරයා අපිව හොයාගෙන ආවා.
” එදා කරපු උදව්වට අපි අද ඔයාලට ඩිනර් එක රෙඩි කරනවා. එහෙනම් හතර දෙනාම එන්න. හොඳද”
අපි ඉතින් නොගිහින් බැරිකමට ගියා. රට බීම බෝතලයකුත් ඇරලා,හොඳට කාලා අපි ආපහු එන්න හදද්දි ඒ දෙන්නම මෙහෙම කිව්වා.
අපි අපි මේක දැනගත්තම ඇති පුටාලා…. දන්නවනේ.. මිස්ටේක්ස් ඩූ හැපන් නෝ… අපි අතරම තියාගනු හොඳෙ…
අදටත් ඒ පොරොන්දුව අපි කඩ කලේ නෑ. මොකද කාටවත් කියන්න එපා කියලා කිව්ව කාටවත් ලියන්න එපා කියලා කියලා තිබ්බේ නෑනේ…
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්‍රේමසිරි