අපි මිනිසුන් විදියට ඉපදෙන්න, අපි පෙර ආත්මවල ගොඩක් පින් කරලා තියෙනවා .. ඒ වුණත් අපි අතින් පව්ත් සිදු වෙලා තියෙන නිසා සහ ප්රායෝගිකව ලෝකේ ස්වභාවයත් එක්ක, අපි කාගෙවත් ජීවිත perfect නැහැ ..
කොහේ හෝ කොතැන හෝ හිස්තැන් – අඩුපාඩු -අතෘප්තියට පත්වීම්- කඩාවැටීම් තියෙනවා .. ජීවිතේ එකම විදියට ගලාගෙන යන්නේ නෑ.. බලාපොරොත්තු කඩවීම් – නොසිතූ සිදුවීම් අපි කාගෙත් ජීවිත වල අඩු – වැඩි වශයෙන් තියෙනවා …
හිතන්න… අපි ගොඩක් අඩු වයසින් දෙමව්පියන් අහිමිවීම්, දරුවන් , කලත්රයා අහිමිවීම් , වෙන්වීම් , දික්කසාද , ආර්ථික කඩාවැටීම්, නොකල වරදකට පවා දඩුවම් ලැබීම්… ඔය වගේ ජීවිතේ වෙන්න පුළුවන් දේවල් කොයිතරම් තියෙනවා ද..
ඒ වගේ වෙලාවක යම් කෙනෙක් තමන්ගේ සමීපතයින්ට ඒ පිළිබඳව පැවසීම, එහෙමත් නැත්නම් මනෝ උපදේශන සේවාවන් ලබා ගැනීම ඇත්තටම අවශ්ය දෙයක් කියලා තමයි මම හිතන්නේ…. විෂාදය වගේ මානසික රෝගීන්ට ගොදුරු වීම , සමහරවිට සියදිවි නසාගැනීම වගේ දෙයක් වුණත් වැලකෙන්න ඒ පියවර අතිශයින්ම වැදගත් ..
ඒත් ඒ අවස්ථාවෙන් බාහිරව, යම් කෙනෙක් ගේ යම් දෙයක් ආරංචි වෙලා, ඒ ආරංචි විපරම් කිරීම – අගතියට පත් කෙනාගේ කුමක් හෝ කඩාවැටුණු අවස්ථාව පිළිබඳව හාරා අවුස්සමින් ඔහු හෝ ඇයවත් මොහොතකට හෝ පීඩාවට පත් කරලා, උපදෙස් දෙන්න – තමන් කොයිතරම් කම්පනයට පත්වුණා ද කියලා පෙන්වන්න – මූණට අනුකම්පාව දැක්වීම හා නැති තැන මාතෘකාවක් කර ගැනීම ලංකාවේ සංස්කෘතියේ කොටසක් ද කියලා හිතෙන තරමට මිනිස් හැසිරීම් අතර හරිම සුලබ දෙයක් බවට පත්ව තිබීම හරිම කණගාටුදායකයි …
මම අහලා තියෙනවා තමන්ගේ වැටුප කාටවත් කියන්න එපා කියලා කියමනක්.. විශ්වාස කරන්න – ගොඩක් අය නැතත්, කීපදෙනෙක් මම නොකියන තැන ඔවුන්ම එය අසා තිබෙනවා, ලගම මිතුරන්වත් නෙවෙයි , සාමාන්ය මිතුරන් යැයි පවසන අය.. එවැනි ප්රශ්නයක් ඇසීම ගැන ඔවුනට කිසිම ලැජ්ජාවක් තිබුණේ නෑ.. ඔවුන් උගත් සහ සමාජයේ පිළිගත් පිරිමි චරිත වීමත් මට හිතාගන්න බැරි වුණා … ඇත්තටම මට ඔවුන් ගැන ලැජ්ජාවක් ඇති වුණා …
(ඔවුනට නෙවෙයි, මාගේ ලගම අයට, මම ම කියලා තියෙනවා, ඒ ඔවුන් අහලා නෙවෙයි, අවශ්ය යැයි හිතුණ නිසා මා විසින්ම…!! එය වෙනත් කතාවක්)
මම ඒක කිව්වෙ සමහරුන් එතරම් අවිනීතයි.. අනුන්ගේ තොරතුරු දැන ගැනීමට කෑදරයි.. ගැහැණු ගතිය කියා ව්යතිරේක සැපයීම සාධාරණ නැති වුණත්, ගැහැණියක් නම් , ගෑනු ගතිය කියලා හරි හිතෙයි, ඒත් මගෙන් නම් එහෙම ඇහුවේ මගෙ වයසෙම වගේ පිරිමි පුද්ගලයින්.. මගෙන් එය විමසීම නෙවෙයි, ඒ තරම්ම අනුන්ගේ පුද්ගලිකත්වයට එබීමට තරම් අවිනීත සංස්කෘතියක් අපට හැදුණේ කොහොමද .. ඒක කොච්චර නම් ශෝචනීය ද..
ගැහැණියක් වුණත් පිරිමියෙක් වුණත් ඔවුන්ගේ පෞද්ගලික දේවල් කියන්නේ නැත්නම් හාරා අවුස්සන්න එක නම් ඇත්තටම හරිම නුසුදුසු දෙයක් .. එහෙම අය ඒ ගැන කියන්නේ , මනුස්සකමට ඇහුවේ, හොයලා බලන්න ඇහුවේ කියලා .. ඒත් ඇත්ත ඒක නෙවෙයි නේද .. මනුස්සකමට අපි කරන්නේ එකිනෙකාට අවශ්ය සහයෝගය ලබා දීම මිස අනෙක් කෙනා පෑරීම නෙවෙයි…
යම් කෙනෙක් තමන්ගේ ගැටලුවක් කියන්න ඔබව තෝරාගෙන නම් ඉන්නේ, ඔවුන් ම එය කියනවා.. ඒක මම දන්නේ අත්දැකීමෙන් .. මා එවැනි ගැටලු ඕනෑ තරම් අසා තියෙනවා .. ඔවුන්ට කියන්න ඉඩ දෙනවා ඇරෙන්න , ඔවුන්ගේ කෝණයෙන් එය දකිමින් ඔවුනට නොපෙනෙන යම් ධනාත්මක පැත්තකින් විසදුමක් ගන්න උදව් කරනවා හැරෙන්න, පස්සේ ඔවුන් නිකමට කතා කරත්දීවත් “දැන් කොහොමද ” කියා හෝ මම නොඅසනා තරම්..
ඒ, මිනිස්සුන්ගේ ප්රශ්න අතරින් මිනිස්සු දිහා බලන පුරුද්දක් මට නැති නිසා.. මම මිනිසුන් දිහා බලන්නේ ඔවුන්ගේ සුන්දර ගතිගුණ හා බැදීම් අතරින් විතරයි ..
කදුලු ගලන්නේ නැති ඇස් වලට, කෝටුවකින් ඇනලා කදුලු අරගෙන ඒ කදුලු පිහින කෙනෙක් වෙන්න එපා කවදාවත් .. කෙනෙක් අඩනවා දැක්කොත් ඇයි කියලා අහන්න.. මොකුත් නෑ කියනවා නම් ඒ ගැන දැන ගැනීමේ කුතුහලයෙන් මිදෙන්න.. සැලකිල්ලෙන් හිටියට කමක් නැහැ.. නමුත් ඔබේ සැලකිල්ල ප්රදර්ශනය කරන්න ඕන නෑ..
අසම්පූර්ණ ජීවිත දරාගෙන අනෙකාගේ අසම්පූර්ණත්වයට ඇගිල්ල දික්කරමින් සතුටු වෙන කුහක ආකල්ප වලින් මිදෙන්න..
තමන් සම්පූර්ණ යැයි සිතමින් ඔබ ගෙවන ජීවිතේට වඩා බොහෝ සතුටින් ඔවුන් ජීවිතේ ගතකරනවා වෙන්න පුළුවන් .. සහකම්පනය දක්වන්න බැරි නම් ඔබ පසෙකට වන්න..
ගැටලු වලට වැඩිපුර මුහුණ දෙන මිනිසුන් හදවතින් බොහෝ පරිණතයි, සවිමත්.. ඔවුන් ජීවිතය බෝහෝ දුරට තේරුම් ගත් අය.. ඔවුන්ගේ නැති කදුලු වලට අනුකම්පා කිරීම ඔබේ ගැටලුවක් .. එවිට ඇත්තටම අනුකම්පා කලයුතු පුද්ගලයා වන්නේ ඔබමයි..
උදව් නොඉල්ලන තනිවූ යෙහෙළියගේ නැති කදුලු පිසීමට පෙර, ඔබගේ බිරිඳ හෝ සැමියා දෙස මොහොතක් සැලකිල්ලෙන් බලන්න , ඔබ නොදුටු කදුලු ඔවුන්ගේ ඇස් වල තියෙන්න පුළුවන් .. තමන්ගේ පවුලට ආදරේ කරන්න .. ඔවුන් සමග ජීවිතේ විදින්න.. සමාජය වඩා සුවදායි තැනක් කිරීමේ මූලිකම යුතුකම හා වගකීම එතැනයි.. ඔබ සැවොම එසේ කරනවා නම්, ආරංචි පස්සේ ගිහින් උදව් කරන්න මිතුරන් හෝ මිතුරියන් මේ සමාජයේ ඉතිරි වෙන්නේ නැහැ… !!
උපුටා ගැනීම: Anjana C. Mapa