ආරක්කු නවයේ පාලම හදපු අප්පුහාමි (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

නුවර බදුල්ල කෝච්චියේ යනවිට අපි ආසම කරන තැකක් වශයෙන් ආරක්කු නවයේ පාලම හඳුන්වන්න පුලුවන්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනා ගන්නා මේ මනරම් ස්ථානයේ අසිරිය විඳගන්නේ නැතුව නම් කිසි කෙනෙක් මෙය පසු කර යන්නේ නැහැ.

Nine Arch Bridge

ඉංග්‍රීසි සමයේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ දී ඔවුන් විසින් සිදුකරන ලද සුවිශේෂී මෙන්ම විශ්මිත නිර්මාණයන් රැසක් උඩරට දුම්රිය මාර්ගයේ අදටත් දැකගන්න පුලුවන්. ඉන් එක් සුප්‍රකට නිර්මාණයක් ලෙස ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දෙමෝදර ආරුක්කු පාලම කාගෙත් සිත්දිනා ගන්නා ස්ථානයක්. දුම්රිය මාර්ගයේ කවාකාර වංගුවක මේ පාලම ඉදිකර ඇත්තේ ආරුක්කු නවයකින් යුක්ත වන ලෙස නිසා සිංහලයෙන් ආරුක්කු නවයේ පාලම ලෙසද ඉංගිරිසියෙන් “නයින් ආර්ච්”ලෙසද හඳුන්වනු ලබනවා.

Nine arch bridge in Sri Lanka

වර්ෂ 1864 දී කොළසිට අදියර කිහිපයක් යටතේ මහනුවර දක්වාත් බදුල්ල දක්වාත් මේ දුම්රිය මාර්ගය ඉදිවූ අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඉදිකිරීම නිම කර විවෘත කරනු ලැබුවේ 1924 අප්‍රේල් මස 05 වනදා යි. මේ අනුව උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල තෙක් සමස්ත මාර්ගයේ ඉදිකිරීම් සඳහා වසර 60 ක් පමණ ගත වී ඇත. ඉතිහාසගත වාර්තාවන්ට අනුව මෙම පාලම ඉදිකරනු ලැබ ඇත්තේ  පළමුවන ලෝක යුද්ධය සමයේය. දෙමෝදර පාලමේ කතන්දර ගැන බොහෝමයක් ඇත්තේ සත්‍යයට වඩා අතිශෝක්තියකි. ඊට හේතුව මෙහි ඇති සුන්දරත්වයයි

සුදු ජාතික ඉංජිනේරුවන් පිරිසක් විසින් උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා ඉදිකරගෙන යනවිට ඇල්ල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක දී ඔවුහු නොසිතූ නොවිරූ ගැටලුවකට ඇතිව තිබිණි. එනම් මාර්ගය ඉදිරියට ඉදිකළ යුතු එක්තරා ස්ථානයක තිබි ඇති භූ විෂමතා තත්ත්වයක් මත එතැනින් එහාට දුම්රිය මාර්ගය ඉදිකිරීමට වැඩබිම් සහ මාර්ග අංශ භාරව එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවන් අ‍පොහොසත් වීමයි.

මාර්ගය එතැනින් එහාට ඉදිකර ගැනීමට නොහැකි වීම නිසා එහි වැඩ භාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවරයාගේ රැකියාව පවා අහිමි වී යාමට සිදුවිය. බැරෑරුම් තත්ත්වය දුටු එම ප්‍රදේශයේම ගැමියෙකු තම නිර්මාණශීලීත්වය උපයෝගී කරගනිමින් මෙම ගැටලුව විසඳීමේ අභියෝගය තනිවම බාර ගෙන තිබෙනවා. තමන් විසින්ම තෝරාගත් ශක්තිමත් මිනිසුන් පිරිසකගේ සහායෙන් එම ප්‍රදේශයෙන්ම සපයා ගන්නා ලද විශාල කළුගල් කුට්ටි පමණක් උපයෝගී කරගනිමින් ආරුක්කු නවයකින් යුතු දැවැන්ත පාලමක් මෙම ස්ථානයේ ඔහු නිර්මාණය කරන ලද්දේ ඉංජිනේරුවන් පවා මවිත කරවමිනි. අනතුරුව ඔහු තමා නිමැවූ පාලම යටට වී එය මතින් දුම්රිය ධාවනය කරවනතෙක් පාලම යට නිදාගෙන සිටින්නේ තමාගේ නිර්මාණයේ විශ්වසනීයත්වය ජීවිතය පරදුවට තබා වුවද ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය නිසායි. මේ සුවිශේෂී පුද්ගලයාව හැඳින්වෙන්නේ “අප්පුහාමි බාස්” ලෙසටයි.

ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ම පස් පිඩැල්ල කැපුවේ 1858 වසරේදීය. 1867 වන විට කොළඹ සිට මහනුවර දක්වා අති දුෂ්කර ගිරි දුර්ග පසු කරමින් දුම්රිය මාර්ගය ඉදිකරන ලද අතර 1918 වසර වන විට උඩරට දුම්රිය මාර්ගය ඇල්ල දක්වාම ඉදිකොට අවසන් කරන ලදී. කොළඹ සිට ඇල්ල දක්වා සැතපුම් 168 ක දුර ඉදිකිරීමට ගත වූ කාලය අඩ සියවසකටත් වඩා වැඩිය. දුම්රිය මාර්ගයේ එම කොටස තුළ බිම් ගෙවල් ගණන 39 කි. ඉදිකරන ලද පාලම් සහ බෝක්කු ප්‍රමාණය සිය ගණනක් ඉක්මවයි.

දෙමෝදර ආරක්කු නවයකින් යුත් පාලමෙහි ඉංජිනේරුමය සැලැස්ම එවකට ලංකා දුම්රිය සේවයේ ඉදිකිරීම් භාර ඉංජිනේරුවරයා වූ “හැරල්ඩ් මාර්වූඩ්” මහතා විසින් නිර්මාණය කර තිබෙනවා. පාලමෙහි ඉදිකිරීම් ඇරඹූ සමයේ දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයට පමණක් සිදුවිය. පාලම සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි සිට සැතපුම් දෙකක් පමණ දුරට රැගෙන යා යුතු වූ අතර ඒ සඳහා එකල එම ප්‍රදේශයේ තිබුණ එකම ප්‍රවාහන මාධ්‍යය වූයේ බර කරත්ත පමණි.

පළමු ලෝක යුද්ධය හේතුවෙන් පාලමට අවශ්‍ය යකඩ එංගලන්තයෙන් ගෙන්වා ගැනීමේ යම් දුෂ්කරතාවයක්ද ඇතිවී තිබුණි. නමුත් ඊටත් වඩා බරපතළම ගැටලුව වී ඇත්තේ එවන් යකඩ පාලමකට අවශ්‍ය යකඩ කොටස් කෙසේ හෝ සපයාගෙන ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන්ම ප්‍රවාහනය කරගැනීමේ හැකියාව තිබුණත් එතැනින් එහාට පාලම ඉදිකරන තැන දක්වා ඒවා ගෙනයාමට ක්‍රමයක් නැති වීමයි. එකල දෙමෝදර ප්‍රදේශයේ තිබූ එකම ප්‍රවාහනය මාධ්‍ය වූයේ බරකරත්තයි. ටොන් ගණනාවක් බර අඩි සිය ගණනක් දිගින් යුත් පාලමකට අවශ්‍ය යකඩ කොටස් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට පාලම ඉදිකරන තැන දක්වා බර කරත්ත වලින් ඒවා රැගෙන යාම කිසිදා කළ නොහැකි දෙයක් බැවින් අවසානයේ පාලම කළුගල් කුට්ටි සහ කොන්ක්‍රීට් පමණක් යොදාගෙන ඉදිකිරීමට දුම්රිය මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කළ ඉංජිනේරුවරුන් විසින් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දෙමෝදර පාලම සම්බන්ධ ජනප්‍රවාදයන්හි කියැවෙන අප්පුහාමි මහතාත් ඉංජිනේරු සැලැස්ම නිර්මාණය කරාවු හැරල්ඩ් මහතාත් යන දෙදෙනාගේම සංකල්පයෙන් සෑදු මෙම පාලම, ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය වඩ වඩාත් ලස්සන කරන අනර්ඝ නිමැවුමක් ලෙස දක්වන්න පුලුවන්.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!