අරුම පුදුම ප්රනාන්දු රාළහාමි මට මුණගැසුණේ 1970 දශකයේ මැද භාගයේ මඩකලපුව පොලිසියේදී ය. ඔහු අනිකුත් පොලිස් නිලධාරීන්ට වඩා හාත්පසින්ම වෙනස් වර්ගයේ ක්රියාවන් වල යෙදුනු අයෙකි. ඔහුගේ ක්රියාකාරකම් එවකට සිටි පොලිස් නිලධාරීන්ගේ මතකයෙන් කිසිදා අමතක නොවන හැසිරීම් රටාවකි.
දිවා කාලයේදී නිළ ඇඳුමෙන් සැරසී පැමිණිලි විභාග වලට යන ඔහු යම් පිරිසක් මඩකළපුව කළපුවේ මාළු බානවා දුටුවහොත් රාජකාරි ගමන ටික වෙලාවකට අමතක කර එහි සිටි එක් අයෙකුගෙන් බිලී පිත්තක් ඉල්ලා නිල ඇදුම පිටින්ම මාළු බෑමේ යෙදෙයි.
තවත් දිනක පස් හය දෙනෙක් මුදල් ඔට්ටුවට බොරු ගහනවා දුටුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීම පසෙක තබා බූරු ක්රීඩාවට ඔහු සහභාගි වෙයි. ඔහු ඒ අන්දමේ අමුතු චරිතයකි
ඔහු මඩකලපුවට ස්ථාන මාරුවක් ලබා ගැනීමට පෙර ඔහුගේ රාජකාරි කර පොලොන්නරුව ස්ථානාධිපතිතුමා මඩකලපු ස්ථානාධිපති තුමාට දුරකථනයෙන් අමතා කිව්වෙ ” .. ඔන්න ලොකු තුවාලයක් ඔයාලට එනවා. ඒ ප්රනාන්දු රාළහාමි… කලොත් කරන්නේ බෙල්ල ගහලා යන වැඩ.. ඔයා පරිස්සමින්..” යනුවෙන් කීවා මතකය.
ඔහු ළඟ ටෙලිග්රෑම් කොළ ඒවාට අවශ්ය මුද්රා ආදිය සූදානම් ව තබා ගනී. දිනක් ඔහු ටෙලිග්රෑම් කොලයක් ගෙන එහි ස්ථානාධිපති ළඟට පැමිණ “… අම්මට අන්තිමයි කියලා ටෙලිග්රෑම් එකක් ආවා.. මම විතරයි ළමයෙකුට ඉන්නේ..” කියා නිවාඩු ඉල්ලීය. මොහු ගැන දන්නා ස්ථානාධිපතිතුමා පොලිස් අධිකාරීතුමාගේ නිවාඩු ලබා ගන්නා ලෙස දැන්වීය. ස්ථානාධිපතිතුමා පොලිසියෙන් ගිය පසු ප්රනාන්දු පොලිසිය ප්රධාන සටහන් පොත ගෙන අම්මට අන්තිමයි, නිවාඩු දුන්නේ නැහැ මම ගෙදර යනවා.. යැයි ලියා අතුරුදහන් විය. දින කීපයකට පසුව ඔහුගෙන් පිළිතුරක් නොවූයෙන් ස්ථානාධිපති තුමාගේ නියෝග පරිදි සේවය අතහැර ගියා සේ සලකන ගොනුව සකස් කෙරිණි.
සතියකට පසු මුල්ලේරියා පොලිසියෙන් මඩකලපුව පොලිසියට රාජකාරි පණිවිඩයක් ලැබිණි. එහි සඳහන් වූයේ ඔබ ස්ථානයට අනුයුක්ත කොස්තාපල් ප්රනාන්දු මානසික ආබාධයකින් ප්රතිකාර ලබා ගැනීමට මුල්ලේරියාව මානසික රෝහලට ඇතුළත් වී ගිය බවය. මාසයකට පමණ පසු නැවත සේවයට වාර්තා කළ ප්රනාන්දු අපට කියා සිටියේ …” මල්ලි මගේ කෙස් ගහකටවත් හානි කරන්න පොලීසියේ ලොක්කන්ට බැහැ ..” කියාය ඔහුගේ තවත් සිදුවීම් පසුව ඔබට හෙළි කරමි.
උපුටා ගැනීම: Terry Jayarathne