අරුණළු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදා සඳුදාවක් විය. පසුදාට එළඹෙන්නේ පසළොස්වක පොහොය දිනයයි. මුළු පරිසරයම සුවදායක පහන් හැඟුමෙන් පිරී ඉතිරී ගියා සේය. ගෙවත්තේ වැට මායිම දිගේ දුවන මලින් බර ගැට පිච්ච වැල් දිගේ හමන ඉමිහිරි සුවඳ ගේ තුලට ද හමා ආවේය. චාන්දනී නෝනාට නම් සතුටේ බැරුවාය.එදින ඇගේ එකම දියණිය නෙත්මි මල්වර වී තිබුණි. කටයුතු එකලස් කිරීමට නැකැත් බලනු නියා චාන්දනී නෝනා ,දියණිය සිය මවවූ කිරි හාමිනේ භාරයේ තබා අසල්වැසි හිතවත් කතකවූ ශ්රියාලතා අක්කා කැටුව පන්සලේ හාමුදුරුවන් බැහැ දැකීම පිණිස ගියාය.
තල්වත්තේ පන්සලේ හාමුදුරුවන්ට බුලත් හුරුළු පිරිනැමූ බවලතුන් දෙදෙනා පැමිණි කාරණාව කියන්නටත් පෙර උන්වහන්සේ චාන්දනී නෝනා ගෙන් නෙත්මිගේ වේලාපත් කඩය ඉල්ලා ගත්තේ සිද්ධිය මුල සිටම අවබෝධවූ ලෙසිනි.ජ්යෙතිෂ්ය විශාරද පණ්ඩිත හිමිනමක් වන ලොකු හාමුදුරුවෝ කේන්දරය පිරික්සා බලා මුවඟට නඟා ගත් සිනා රැල්ලක්ද ඇතිව”බොහෝම හොඳ සුබ දිනෙක මල්වරය සිදුවී තිබෙනවා.පුර පක්ෂයේ සඳු ඉතා බලවත්ව සිටිනවා.නමුත් රාහු කාල හෝරාවේ වීම ටිකක් අශුභදායී වෙනවා.දවසක යෙදෙන රාහු කාලය අප පිළිගන්නේ සුබ කටයුතු වලට අසුබදායී ලෙසයි.එසේ නොවන්නට මෙම මල්වරයෙන් දැරියගේ ඉදිරි අනාගතය සුබපලදායී වනවා” යැයි පැවසූහ.
“මා පලාපල කඩදාසියක සටහන් කර දෙන්නම්.දැරිය නාවන්නත් ශුභ හෝරාවක් යොදා දෙන්නම්” යැයි වැඩිදුරටත් පැවසූහ . “එහෙමයි ,ලොකු හාමුදුරුවනේ” චාන්දනී නෝනා සතුටු සිතින් පිළිවදන් දුන්නාය.
“චාන්දනීගෙ කෙලී ලොකු ළමයෙක් වෙලාලු.
“කෙල්ල ඉගෙන ගන්නෙ සහශ්රා බාලිකා විද්යාලයේ නේද”
“හරි දක්ෂ, හුරු බුහුටි කෙල්ල”
“අනේ ,ඉතිං රාහු කාලය යෙදුන හැටි.”
“ඒක හොඳ නැතිලු “
“අනේ මන්දා කෙලීට මොනවැයින් මොනාවේවිද කියලා”
නෙත්මිගේ මල්වර නැකත ඔස්සේ ඇගේ අනාගතය ලියා තබන්නට ගම්වැසියෝ උත්සුක වෙද්දී මේ කිසිඳු ඕපා දූපයක් ඇසුන නෑසුන සේ හිඳින්නී, චාන්දනී නෝනා මහත්මිය දියණිය වෙනුවෙන් බැංකු ඉතිරි කිරීමේ පාස්පොතෙහි තමා එතෙක් සුරැකිව තබා ගත් මුදල් හදල් තැන්පත් කළාය. කිරි හාමිනේද ඈ සන්තකයේ තිබූ සියලුම රත්තරං ආභරණ මිනිපිරියට ලැබ දුන්නාය.පෞද්ගලික වෘතිකයෙක්වූ නෙත්මිගේ පියා සිරිලාල් මහතා හා ගෘහණියකවූ මව චාන්දනී නෝනා දියණිය වෙනුවෙන් කොටහළු සාද නොපවත්වන්නට ඈ උපන්දා සිට තීරණයකට එළඹ සිටියෝය. එපරිද්දෙන්ම එම තීරණය ක්රියාත්මක කළ ඔවුන් දෙපළ ළඟම ඥාතීන් කිහිපදෙනෙකු සහභාගී කරවා ගෙන දියණිය නැකතට නහවා අදාල චාරිත්ර සිදු කර පැමිණි සිටි ඥාති අතලොස්සට කිරිබත්, කැවුම් කෙසෙල් ගෙඩියෙන් සංග්රහ කර තුටු පහටු කර පිටත් කර හැරියෝය.
“චාන්දනී , කෙලීගේ උත්සවේ අහළ පහළ අපට කීවේවත් නෑ නෙව” ඇතමෙක් නොරිස්සුම් ස්වරූපයෙන් කියත්දී “බලමු, බලමු චාන්දනීට යන කලදසාව” යැයි කිහිප දෙනෙක් හඬ නැගූහ.
නගරයේ හොඳම බාලිකා විද්යාලය වන සහශ්රාවේ හත් වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන නෙත්මි දොලොස් හැවිරිදි දක්ෂ ශිෂ්යාවක වූවාය.ඕ මින් පෙර ගමේ පාසලෙන් ඉගෙනුම ලබා ශිෂ්යත්ව විභාගය සමත්ව සහශ්රා විද්යාලයට ඇතුලත්ව සිටියාය. කාලය දින සති මාස වලට පෙරළී වසරින් වසර පියඹා ගියේය. නෙත්මි දැන් ඉගෙනුම ලබන්නේ උසස් පෙළ පන්තියේය. සාමාන්ය පෙළ උසස් ලෙස සමත් ඈ විද්යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටියාය.
“චාන්දනීගෙ දුව හරි හැඩ වැඩයිනෙ.උසස් පෙළ ලියනවාලු මේ අවුරුදෙ. මං අපේ පුතාට කතා කරලා බලන්න කාරිය කල්පනා කළේ” දිනක් ගමේ තේ කඩයට අහම්බෙන් ගොඩ වැදුණු නගරයේ කඩ සාප්පු හිමි ගමේ මුල් පදිංචිකරුවන්වන සියදෝරිස් මුදලාලිගේ බිරිය කීවාය.
කඩය තුල විශාල කසුකුසුවක් ඇතිවී ” චාන්දනී මහ එක විදිහක් ,ඕවාට නම් මනාප නැති වේවි මයෙ හිතේ” යැයි අයෙකු පවසත්දීම “ඇයි අපේ මොන අඩු පාඩුද ? ඇරත් සල්ලි බාගෙ තියෙන තැන් වලට තමුන්ගෙ දූලව දෙන්න අද කාලෙ අම්මලා වලි කනවා” අවඥාවෙන් යුතුව කී සියදෝරිස් මුදලාලි බිරිය එකෙණෙහිම සද්දන්ත වාහනයක නැඟී පිටව ගියාය.
උසස් පෙළට මාස පහක් තිබියදී කිරි හාමිනේ අවසන් ගමන් ගියාය.
“දැන් නම් චාන්දනීගේ අත කැඩුනා වාගේ ඇයි ඔය වයසක උන්දෑ ලණු අඹරලා චාන්දනීට කොයි තරම් උපයලා දුන්නා නෙවෙද” අවමඟුලට සහභාගී වූවෝ පැවසූහ.
කිරි හාමිනේගේ තුන්මස දානමය පින්කම අහවර වී දින දෙකක් ගතවූවා පමණි සිරිලාල් මහතා රැකියාවට යන අතරතුර බස් රථයෙන් වැටී අනතුරට පත් විය. එක පිට ආ කරදර හේතුවෙන් චාන්දනී නෝනා කලබලයට හා වික්ෂිප්තයට පත්ව සිටියාය. ගෙදර කරදර නිසාවෙන් නෙත්මිට හරිහැටි පාඩමට හිත එකලස් කරගත නොහැකි වුවත් ඈ හැකි පමණ ගෙදරටත් උදවුවී පාඩම් වැඩ කටයුතු කරගෙන ගියාය.
“පව් , චාන්දනී. ගෙදර දැන් අග හිඟකම් වැඩියිලු.
“සිරිලාල්ගෙ බේත් වලට හරියට වියපැහැදම්ලු . “
“කිරි හාමිනේ උන්දෑ මැරිලා ගිහින් සිරිලාල්ගෙ කකුලත් කැඩුනානේ”
“ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් සිද්ධ වුනේ”
“සියදෝරිස් මුදලාලිගේ පුතාට දුව දුන්නානම් ඔය ප්රශ්න ඔක්කොම අහවර වෙනවා”
ගම් මණ්ඩිය පුරා අතොරක් නැති කතා ඇතිවිය.
කෙතරම් අගහිඟකම් තිබුනද ඒ වෙනුවෙන් තම දියණිය බිලි නොදෙන්නට සිත දැඩි කරගත් චාන්දනී නෝනා සිය මවගේ ඇවෑමෙන් අතහැර දමා තිබූ ලණු ඇඹරීමේ ව්යාපාරය නැවත ආරම්භ කළාය. වෙනදාටත් වඩා දියණිය වෙනුවෙන් මඟ තොටදී රැකවරණය සැලසුවාය.උසස් පෙළ විභාගයට පෙනී සිටින්නී , නෙත්මි ඉන් පසුව ප්රතිඵල ලැබෙන තෙක් නිවසේ උපකාරක පන්ති මෙහෙයූවාය. මේ අතරවාරයේදී සියදෝරිස් මුදලාලි පුතු විදෙස් යුවතියක් විවාහ කරගෙන විදේශයක පදිංචියට ගියේය.
කල් නොයවාම උසස් පෙළ ප්රතිඵල නිකුත්විය. නෙත්මි වෛද්ය විද්යාලයට තේරී පත්වූ අතර ශිෂ්යාධාර සමඟ නේවාසිකව එහි ඉගෙනුම ලබන්නට ගියාය.කාලය තටු ගසා ඉගිලුනේය.කල් ගත වෙද්දී දැන හඳුනා ගන්නා වෛද්ය ශිෂ්යයෙකු වන ප්රභාත් සමඟ නෙත්මි විවාහ වන්නේ වෛද්යවරියක ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුවය. ඉන් පසු ගමේ නිවෙස හා ඉඩම , මව හා පියාගේ කැමැත්ත පිට විකුණා දමන ඈ ඔවුන් ද කැටුව අගනුවර සිය සැමියාගේ නිවසේ පදිංචියට ගියාය.
“චාන්දනීලාට ජයයි” “සිරිලාල්ගෙ කකුලත් දැන් සනීපයි” “දුවට දරුවෙකුත් ඉන්නවා” “මම කොළඹ ගිය වෙලේ දෑහින්ම දැක්කා නෙව” දිනක් ගමේ තේ කඩෙි මුදලාලි පවසත්දී එහි සිටි සියල්ලෝම දෑස් විසල් කර අසා සිටියෝය.
**********************************************
(ඡායාරූපය අන්තර්ජාලයෙනි )
උපුටා ගැනීම: Manoji De Silva

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!